පාස්කු දින ප්‍රහාරය: "දැනුවත් කළා නම් මේ ප්‍රහාරය සිද්ධ වෙන්න දෙන්නේ නෑ" - ලතීෆ්

නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් Image copyright facebook

අප්‍රේල් මස 21 වන දින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාරයට අදාළ තොරතුරු ඊට පෙර දින හෝ තමන්ට දැනුම් දීමක් කළා නම් එම ප්‍රහාරය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකිව තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ප්‍රකාශය කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ බ්‍රහස්පතින්දා (ජූලි 25) සාක්ෂි දෙමිනි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා ලෙස පාස්කු ප්‍රහාරයට පෙර ආරක්ෂක කවුන්සිලයේ කිසිදු රැස්වීමකට තමා නොකැඳවූ බවත් ඔහු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ අනාවරණය කළේය.

"රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකාය ප්‍රබල ආයතනයක් කියලා සැලකුවා නම් අපිව කවුන්සිල් එකට කැඳවන්න තිබුණා. අපව ආරක්ෂක කවුන්සිලයට ඇතුළත් කළ යුතුව තිබුණා," ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් පැවසීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා "ඔබ තුමාට ප්‍රහාරය සම්බන්ධයෙන් යම් නියෝගයක් ලැබුණා නම් මොකද කරන්නේ?" යනුවෙන් විමසීමක් කළේය.

"අනිවාර්යයෙන් ම අපට හුඟක් දේවල් කරන්න තිබුණා. (බෝම්බකරුවන්) හය දෙනා ගැන විස්තර අපට දුන්නා නම් ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියා වළක්වන්න තිබුණා. ඔවුන් පසුපස හඹා යන බව ඔවුන් දැනගත්තා නම් ඒ ගොල්ලෝ ප්‍රහාර එල්ල කරන්න සැලසුම් කරන්නේ නැහැ."

එම අදාළ තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් නොකළේ කුමක් නිසාදැයි නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ "මට හිතාගන්න බෑ" යනුවෙනි.

"මේ ප්‍රහාරය ගැන ප්‍රබල පුද්ගලයන් දැනගෙන හිටියා. හැබැයි මට කිසි ම දැනුම් දීමක් කළේ නැහැ. එහෙම කළේ නැත්තේ ඇයි කියලා මට හිතා ගන්න බැහැ. එහෙම දැනුවත් කළා නම් හෝටල්, පල්ලි වෙනුවෙන් ආරක්ෂක සැලසුමක් වහා ම ක්‍රියාත්මක කරන්න තිබුණා. සෝදිසි කිරීම් කරන්න තිබුණා. සිද්ධිය වුණාට පස්සේ තොරතුරු ගලාගෙන ආවා. විසි වෙනිදා (20) ලැබුණ තොරතුරුවත් මට කිව්වේ නැහැ. මට තියෙන ප්‍රශ්නය තමයි, ඇයි ඒවා මට කළින් නොකිව්වේ කියන එක," ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පිළිතුර විය.

අප්‍රේල් නව වනදා තමන්ට ලැබුණු ලිපියක ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉලක්කයක් බවට නිශ්චිතව සඳහන්ව තිබූ බැවින් අප්‍රේල් 10 වනදා ම එයට ආරක්ෂාව යෙදවූ බව ඔහු පැවසීය.

"ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයට මම ආරක්ෂාව දැම්මා. හේතුව තමයි ලියුමේ ඒ ගැන විශේෂයෙන් සඳහන් කරලා තිබුණා. පල්ලි ගැන සඳහන් කරල තිබුණේ 'ඉම්පෝටන්ට් චර්චස්' කියලා. නිශ්චිතව ලියලා තිබුණේ නැහැ."

විශේෂ කාර්ය බළකායේ වැඩිදෙනෙක් ප්‍රභූන්ගේ ආරක්ෂාවට

මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ද විශේෂ කරුණු අනාවරණය විය.

කොළඹ සිටින විශේෂ කාර්ය බළකා සාමාජිකයින් 3137 දෙනාගෙන් 2245 දෙනෙකු ම යොදවා ඇත්තේ, ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් බවත් පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේ හෙළිවිණි.

කෙසේ වෙතත්, ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් පොරොත්තු රාජකාරිවල යෙදී සිටින හෙයින් අවශ්‍යතාවකදී ඔවුන් සේවයේ යෙදවිය හැකි බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් පැවසීය.

එම අවස්ථාවේ අමාත්‍ය සරත් ෆොන්සේකා විමසා සිටියේ, ප්‍රභූ ආරක්ෂකයන් ලෙස ක්‍රියා කරන විශේෂ කාර්ය බළකා සාමාජිකයන් 2245 දෙනාගෙන් 99%ක් පුද්ගලයින් තුන් දෙනෙකුගේ ආරක්ෂාවට යොදවා තිබෙනවා නේද? යනුවෙනි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා එය පිළිගත්තේය.

"දියුණු රටවල නම් නායකයන් ආරක්ෂා කරන්න රටේ තියෙන සියලු සම්පත් යොදවන්නේ නෑ. ඇමෙරිකාවේ පවා මෙතරම් ආරක්ෂාවක් දෙන්නේ නෑ. පිරිහිච්ච රටවල තමයි නායකයෝ ආරක්ෂා කරන්න රටේ තියෙන සියලු සම්පත් යොදවන්නේ," අමාත්‍ය සරත් ෆොන්සේකා පැවසීය.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස විමසීමක් කරමින් "මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාස්කු ප්‍රහාරය අතර යම් සම්බන්ධයක් පවතින බවක් පෙනී ගොස් තිබේදැයි" ප්‍රශ්න කළේය.

"එහෙම සම්බන්ධයක් ගැන නම් තොරතුරු ලැබිලා නැහැ. ඒත් අප්‍රේල් 23 වෙනි දා ඊබ්‍රාහිම්ලාගේ 'මහවිල ගාඩ්න්ස්' වටලෑමේ දී ඔහුගේ සොහොයුරෙක් අත්අඩංගුවට ගත්තා. ඒ, හෙරොයින් සහ ඩිජිටල් තරාදියක් එක්ක. ඩිජිටල් තරාදි තියෙන්නේ ජාවාරම්කාරයන් ළඟ. ඒ ඇරෙන්න ඊබ්‍රාහිම්ගේ ඥාති සොහොයුරෙක් අත්අඩංගුවට ගත්තා - ටෙමඩෝල් පෙති තොගයක් එක්ක. මත්ද්‍රව්‍ය වැටලීම් නිසා ප්‍රහාරයක් ආව බවට වාර්තා වෙලා නෑ."