ශ්‍රී ලංකාවට ගෙනා අපද්‍රව්‍ය: "මිනිස් ශරීර කොටස් ඇති බවට තහවුරු වී නැහැ"

BBC

එක්සත් රාජධානියේ සිට අපද්‍රව්‍ය සහිත බහලුම් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ආර්ථික ආංශික කාරක සභාව බදාදා (ජුලි 24) තොරතුරු සොයා බැලීය.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනවල නිලධාරීන් පාර්ලිමේන්තුවේ ආර්ථික ආංශික කාරක සභාව හමුවට කැඳවා තිබිණි.

බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවේ කොළඹ වරාය පරිශ්‍රයේ රඳවා ඇති බහාලුම්වල මිනිස් ශරීර කොටස් ඇති බවක් තවමත් පරීක්ෂණවලින් තහවුරුවී නොමැති යැයි පාර්ලිමේන්තු ආර්ථික ආංශික කාරක සභාව හමුවේ ප්‍රකාශ වූ බවය.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න ද බීබීසි සිංහල සේවයට පැවසුවේ බහාලුම් තුළ මිනිස් ශරීර කොටස් ඇති බව මෙතෙක් තහවුරු වී නොමැති බවකි. නමුත් එම බහලුම් තුළින් හමන දුගඳ හේතුවෙන් එවන් සැකයක් ඇතිවී තිබෙන බව ඔහු කියා සිටියේය.

භාවිත කරන ලද මෙට්ට ලෙස හඳුන්වා ප්‍රතිඅපනයනය කිරීම සඳහා යැයි පවසමින් එක්සත් රාජධානියේ සිට බහාලුම් 241ක් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.

ඉන් බහාලුම් 130ක් වරායෙන් නිෂ්කාෂණය කොට කටුනායක පිහිටි හේලීස් ෆ්‍රී සෝන් ආයතන පරිශ්‍රයට ගෙන ගොස් තිබිණි. ඉතිරි බහාලුම් 111 කොළඹ වරායේ අංගන තුනක තවමත් වසරකට වැඩි කාලයක් පුරා රඳවා තිබේ.

හේලීස් ෆ්‍රී සෝන් ආයතනයේ නිලධාරින්ද තොරතුරු විමසීම සඳහා පාර්ලිමේන්තුවට කැඳවා තිබිණි.

ඔවුන් සතුව ඇති බහාලුම් වහා ප්‍රතිඅපනයනයට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවේ ආර්ථික ආංශික කාරක සභාව නියෝග කළ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා කියා සිටියේය.

කොළඹ වරායේ රඳවා තිබෙන බහාලුම් ද වහා නැවත රැගෙන යන ලෙස ආනයන සමාගමට දැන්වීමට කටයුතු යොදා ඇති බව රේගුව පාර්ලිමේන්තු කමිටුවට දැනුම් දුන් බව ද හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එක්සත් රාජධානියේ සිට මෙම අපද්‍රව්‍ය සහිත බහලුම් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත්තේ සිලෝන් මෙටල් ප්‍රොසෙසිං කොර්පරේෂන් නම් සමාගම බවට ශ්‍රී ලංකා රේගුව හඳුනාගෙන තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න බීබීසී සිංහල සේවයට තහවුරු කළේය.

දැනට කොළඹ වරායේ නිෂ්කාශනය නොකොට රඳවා ඇති බහාලුම් එක්සත් රාජධානියේ ෆීලික්ස්ටෝ නම් වරායෙන් නැව්ගත කර තිබෙන බවද ඔහු පැවසීය.

ඒවා භාවිත කරන ලද මෙට්ට ලෙස දක්වා ඇත.

"එක්සත් රාජධානිය රටක් ලෙස කුණු එව්වා කියන්න බැහැ. ශ්‍රී ලංකාවේ කුණු දාන්න ඕනේ කියන එක ඔවුන්ගේ රටේ තීරණයක් කියල කියන්න බැහැ. මේක සමාගම් දෙකක් අතර වෙච්ච ව්‍යාපාරික ගණුදෙනුවක්. ඔවුන් තමයි මේ ක්‍රියාවලිය මුල්‍ය අරමුණු මත සිදුකරලා තියෙන්නේ. එම සමාගම් වලට එරෙහිව නීතිමය පියවර ගන්න කියන නිර්දේශය අපි සිදුකළා," හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Image caption කටුනායක අපනයන සැකසුම් කලාපයේ තබා ඇති "ආනයනික අපද්‍රව්‍ය"

මේ අතර, එක්සත් රාජධානියෙන් ආනයනය කර ඇති අපද්‍රව්‍ය සහිත බහාලුම් යළිත් එරටට යැවීමට නියෝග කරන ලෙස හා ඉදිරියේ දී කිසිදු විදෙස් රටකින් කැළි කසළ මෙරටට ආනයනය කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සමක් බ්‍රහස්පතින්දා (ජුලි 25) අභියාචනාධිකරණය හමුවේ සළකා බැලිනි.

කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන එම අපද්‍රව්‍ය සහිත බහාලුම් එම ස්ථානයන්හි පරිසරයට හානියක් නොවන ලෙස පවතින ආකාරයෙන්ම තබා ගන්නා බවට එහිදී රජය වෙනුවෙන් නීතිපතිවරයා එකඟතාවය පළ කළේය.

පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම බහාලුම් පරිසරයට මුදා හරිනු ලැබූවොත් එයින් විශාල පරිසර හානියක් සිදුවිය හැකි බවය.

එම නිසා අදාළ බහාලුම් විවෘත කර ඒවායේ අඩංගු අපද්‍රව්‍ය වෙනත් ස්ථානවලට රැගෙන යාම වැළැක්වීමට කටයුතු කරන ලෙසද පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා, අදාළ බහලුම් තුළ අන්තර්ගත බව කියන ද්‍රව්‍ය වෙනත් ස්ථානවලට රැගෙන යාමට අනුමැතිය නොදෙන බවට අධිකරණය හමුවේ එකඟතාවය පළකර තිබේ.

මෙම පෙත්සම ලබන සඳුදා (ජූලි 29) යළි කැඳවීම නියමිතය.