ශ්‍රී ලංකාවේ රේගු පරීක්ෂා: CID සහ රේගුව කඹ ඇදිල්ලක ද?

කොළඹ වරාය Image copyright Getty Images
Image caption කොළඹ වරාය

"සේනා දළඹුවා කොහොම ද රටට ආවේ? ඒ වගේ ම ආක්‍රමණික ශාක... භාණ්ඩ හා සේවා දෙක ම නිසි ලෙස අධීක්ෂණය නොකිරීමේ ප්‍රතිවිපාක තමයි ඒ,"

රජරට විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම බීබීසී සිංහල සේවය සමග එසේ පැවසුවේ, රේගු පරීක්ෂා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මීට දින දෙකකට පෙර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක යෙදෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කළ කරුණු දැක්වීමට අදාළව බීබීසී සිංහල සේවය කළ අදහස් විමසීමකදීය.

ඒ විමසීමට පදනම් වූයේ, ගුවන් තොටුපළ සහ වරාය ආශ්‍රිතව නිසි පරීක්ෂාවල යෙදී නිසි ලෙස දඩ මුදල් අය කර ගන්නේ නම් ශ්‍රී ලංකාවේ අයවැය පරතරයෙන් සියයට 75ක් පියවා ගත හැකි බව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ජූලි 24 වන දා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ කළ සඳහනකි.

"ඇත්තට ම මේ රටට එන්න ඕන ආදායම මං හිතන්නෙ, අයවැය පරතරය පියවන්න පුළුවන් සීයට හැත්තෑපහකින් වරායයි, එයාපෝර්ට් එකයි ක්‍රියාත්මක වෙනවා නම්. අපි පහුගිය කාලෙ ඩිටෙක්ට් කරල තියෙනවා, රත්තරං කිලෝ දහයක්. කස්ටම් එකෙන් චෙක් කරල ආවට පස්සෙ අපි ඇල්ලුවේ. ඇඟේ තිබුණේ. බෑග් එකේ නෙවෙයි. ඩිටෙක්ෂන් 40ක් 50ක් කරල තියෙනවා. රත්තරං ගේනවා. හෙරොයින් ගේනවා," අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පැවසීය.

ඔහු එහිදී අනාවරණය කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන වැටලීම්වලට ශ්‍රී ලංකා රේගුව සහය නොදෙන බවකි.

"සමහර තැන් තියෙනවා, කස්ටම් එකේ ඒරියා එකට ඇක්සස් (ප්‍රවේශය) දෙන්නෙ නැහැ සීසීටීවී එකේ වත්.... අපි ඩිටෙක්ෂන් එකක් ගෙනිච්චත් උදේ හයට ගෙනිච්චොත් මොක ද ආවෙ කියලා අහන්නේ හැන්දෑවෙ හයෙන් පස්සේ. එක අවස්ථාවක මට සිද්ධ වුණා ගරු නීතිපතිතුමාගෙන් නිර්ණායකයක් ගන්න, අපිට කොහෙ ද ඩිටෙක්ෂන් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සමහර ඒරියාස් තියෙනවා, අපට ඩිටෙක්ට් කරන්න බැහැ කියලා. ඉතින් එතන ප්‍රශ්න ඇති වුණා ඒ හිටපු ඕ අයි සී එක්ක කස්ටම් එකේ. ඊට පස්සේ මම ලිඛිතව ලිව්ව, නීතිපතිතුමාට මේ ගැන උපදෙසක් දෙන්න කියලා. නීතිපතිතුමා පැහැදිලිව ම කිව්වා එහෙම පොලිස් නිලධාරීන්ට ඩිටෙක්ෂන්ස් ගන්න ඒරියා එකක් නැහැ කියලා."

Image copyright Facebook
Image caption පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර

පරීක්ෂා කිරීම් මගින් නීතිවිරෝධී භාණ්ඩ සොයා ගත් පසු එම භාණ්ඩවලට අදාළව අය කර ගත යුතු දඩ මුදල් ද නිසිපරිදි අය කර නොගන්නා බවට ද ශානි අබේසේකර මෙහිදී චෝදනා කළේය.

"සමහර අල්ලපු රෙදි ගෙනාපුවා, ගහලා තියෙන්නෙ රුපියල් 20000 නම් ෆයින් එක, ඒකෙන් ලක්ෂ දෙක හමාරක් ෆයින් එක ගන්න ඕන."

එහිදී ප්‍රශ්නයක් යොමු කරමින් කාරක සභා සාමාජික මහාචාර්ය ආශු මාරසිංහ විමසුවේ, ශ්‍රී ලංකාවට ගෙන ආ පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණ පිළිබඳ දත්ත අවශ්‍ය වුවහොත් එම වාර්තා ලබා ගැනීමට රේගු දත්ත ගබඩාවලට (database) පිවිසීමට හැකියාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තිබේ ද? යනුවෙනි.

"එහෙම අපට ඇක්සස් නෑ ඒකට සම්බන්ධ වෙන්න. අඩු ම තරමින් අයිඩෙන්ටිටි කාඩ් ඔෆිස් එකේවත් අපිට ඩිරෙක්ට් ඇක්සස් එකක් නැහැ සී අයි ඩී එකට. ඇත්තට ම කනගාටුයි එහෙම කියන්න. ඉමිග්‍රේෂන් එකේ (ආගමන විගමන දෙපාර්තමේන්තුව) කවදාවත් අපට ඇක්සස් දෙන්නෙ නෑ. සීසීටීවී හයි කරලා තියෙන එකේවත් ඇක්සස් දෙන්නෙ නෑ අපට බලන්න," පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පැවසීය.

රේගුවේ ප්‍රතිචාරය

"රේගුවේ කටයුතුවලට සෘජුව මැදිහත් වීමට ගොඩක් අය උත්සහ කරනවා"

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා කළ චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමේදී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

"සී අයි ඩී එක කියන විදිහට අපිට හැම කෙනෙක් ම හැම පාර්සලයක් ම සම්පූර්ණයෙන් සෝදිසි කරන්න බැහැ. අපි වැඩ කරන්නේ ජාත්‍යන්තර නීතිරීතිවලට අනුකූලව. හැම මගියෙක් ම පරීක්ෂා කරන්න ගියොත් රටට සංචාරකයෝ එන එක අඩු වෙයි. හැම පාර්සලයක් ම නැවක් ම පරීක්ෂා කරන්න ගියොත් එක නැවක්වත් ලංකාවට එන එකක් නැහැ. අපි ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ෆැසිලිටේෂන් ගිවිසුම අනුව වැඩ කරන්න ඕන." යැයි අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න පැවසීය.

  • සෝදිසි කිරීම් සඳහා නව තාක්ෂණික ක්‍රම භාවිත කරන්න බැරි ද?

"මගීන් ගත්තා ම මෙහෙට එන සීයට අනූනවක් ම හොඳ අය. ඒ නිසා ඔවුන්ට පීඩාවක් වෙන විදිහට පරීක්ෂා කරන්න ගියොත් ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි ස්කෑන් කිරීම් ආදී නව තාක්ෂණික ක්‍රමවලින් සෝදිසි කිරීම් කරනවා. ඒ සියල්ල හොඳින් සිදුවෙනවා. හැබැයි ලෝකේ හොඳ ම තාක්ෂණය තියෙන ඇමෙරිකාවෙත් හෙරොයින් ජාවාරම සිදුවෙනවා. මේ ප්‍රශ්නය දිහා රටක් විදිහට තනියෙන් බලන්න බැහැ," රේගු ප්‍රකාශකවරයාගේ ප්‍රතිචාරය විණි.

  • නිසි පරිදි දඩ අය කරනවා ද?

ඔහු තවදුරටත් පැවසුවේ, දඩ නියම කිරීමේදී මානුෂික තත්ත්වය ද සැලකිල්ලට ගන්න බවය."සමහර පුද්ගලයින් සුළු මුදලක් වෙනුවෙන් ඇතැම් නීතිවිරෝධී දේවල් රටට ගේනවා. එවැනි අවස්ථාවල එම පුද්ගලයා ඒ සම්බන්ධයෙන් දැන සිටියා ද? දඩ මුදල් ගෙවීමට හැකියාවක් තියෙනවා ද? පෙර වැරදි තියෙනවා ද? ආදී කාරණා සැලකිල්ලට අරගෙනයි දඩය නියම කරන්නේ. එතැනදි යම් මානුෂික තත්ත්වයන් ගැන හිතන්න වෙනවා."

"ප්‍රාථමික ප්‍රකාශයක්"

කෙසේවෙතත්, රේගුව ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අනුව ක්‍රියාත්මක වුව ද පරීක්ෂා කිරීම් නිසි ලෙස ක්‍රියාත්මක නොවුණහොත් එය සමස්ට රටට ම හානිදායක විය හැකි බව රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම සඳහන් කළාය.

Image copyright Rajarata University
Image caption මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම

"ජාත්‍යන්තර වෙළෙඳාම සමග රේගුව සෘජුව සම්බන්ධ නිසා ජාත්‍යන්තර පිළිගැනීම අනුව එය ක්‍රියාත්මක විය යුතුයි. ඒත් සියලු භාණ්ඩ සහ මගීන් අධීක්ෂණය කරන්න බැහැ කියනවා නම් ඒක ප්‍රාථමික ප්‍රකාශයක්. රටට එන දේවල් අධීක්ෂණය නොවෙනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. සියලු දේවල් අධීක්ෂණය කළ යුතුයි. එහෙම නොකළොත් හානිය රටට ම බලපානවා. උදාහරණයක් විදිහට සේනා දළඹුවා කොහොම ද රටට ආවේ? ඒ වගේ ම ආක්‍රමණික ශාක. භාණ්ඩ හා සේවා දෙක ම නිසි ලෙස අධීක්ෂණය නොකිරීමේ ප්‍රතිවිපාක තමයි ඒ," මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම පෙන්වා දුන්නාය.

රේගුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ආදායම

2018 වසරේ ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අනුව එම වසරේ රේගු බදු ආදායම රු. බිලියන 919.05කි.

එම වර්ෂයේ සමස්ත රාජ්‍ය ආදායම රු. බිලියන 1712.31ක් වූ අතර සමස්ත රාජ්‍ය ආදායමෙන් 53.7%ක ප්‍රතිශතයක් ලැබී ඇත්තේ රේගු බදු ආදායමෙනි.

2018 වසරේ රේගු බදු ආදායම් උපයා ගත් ආකාරය පහත දැක්වේ.

Image copyright Sri Lanka Customs

තවදුරටත් කියවන්න.