ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ට දී ඇති තැන ගැන උලමා සභාවට විවේචන

Image caption මුස්ලිම් කාන්තාවන්ට සාධරණය ඉටුකරන ලෙස පසුගිය වසරේ පැවැත්වූ විරෝධතාවක්

"මැලේසියානු අගවිනිසුරුවරිය මුස්ලිම් කාන්තාවක්...

සිංගප්පූරුවේ වර්තමාන ජනාධිපතිවරිය මුස්ලිම් කාන්තාවක්...

බංගලාදේශය වසර 20කට අධික කාලයක් මෙහෙයවනු ලැබුවේ අගමැතිවරියන් විසින්...

මෙවන් තත්වයක් උඩ උලමා සභාව ක්වාසි උසාවි සඳහා කාන්තාවන් පත්කිරීමට විරුද්ධ වෙනවා , මෝඩ වඳ පෙති චෝදනා හා මෙවන් විකාර ආකල්ප අතර වෙනසක් තිබේද?"

ජනාධිපති නීතිඥ අලි සබ්රි සිය ෆේස්බුක් අඩවියේ මෙම සටහන තබා තිබුණේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමේ තවත් උත්සාහයකට එල්ලවී ඇති බාධාවලට සිය විරෝධය පළකිරීමක් ලෙසිනි.

ළමා විවාහවලට මග පාදන මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කරන මෙන් මුස්ලිම් ක්‍රියාකාරිනියන් සටන් කරන්නේ දශක ගණනාවක සිටය.

සමස්ත ලංකා ජමියතුල් උලමා සහ තව්හීඩ් ජමාආත් (ජමාත්) වැනි මුස්ලිම් ආගමික සංවිධාන සහ ගතානුගතික මුස්ලිම් නායකයන් මෙම නීතිය සංශෝධනය කිරීමට කලක සිට දැඩි විරෝධයක් පළකර තිබිණි.

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුවට වසර දහයකට ආසන්න කාලයක් සිය නිර්දේශ පවා ඉදිරිපත්කිරීමට නොහැකිවූයේ මේ සම්බන්ධයෙන් එල්ලවූ විවිධ බාධා හේතුවෙනි.

Image copyright Mohamed Ali Sabry/facebook
Image caption ජනාධිපති නීතිඥ අලි සබ්රි තැබූ ෆේස්බුක් සටහන

මුස්ලිම් ළමා විවාහ නිසා පීඩාවට පත්වූවන් ගැන පසුගිය කාලයේ විවිධ හෙළිදරව් කිරීම් සිදුවූ අතර බීබීසී සිංහල සේවය ද මේ පිළිබඳව 2017 වසරේ වාර්තා කළේය.

කෙසේ නමුත් මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් පාස්කු ඉරිදා එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් පසු රට තුළ නැවතත් මේ සම්බන්ධයෙන් ද අවධානය යොමුවන්නට විය.

මෙම මස මුලදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් එක්ව මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම පිළිබඳව එකගතාවක් ඇතිකර ගෙන තිබු අතර ඒ පිළිබඳව කරුණු ඇතුළත් යෝජනාවලියක් ඔවුන් සකස් කර තිබුණි.

මුස්ලිම් ළමා විවාහ අහෝසිකිරිම ඇතුළු කරුණු 11ක යෝජනාවලියක් මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් පිළියෙළ කරනු ලැබිණි. පහත දැක්වෙන්නේ එම යෝජනාවලියේ ඇතුළත් වූ ප්‍රධාන කරුණු කිහිපයකි.

  • මුස්ලිම් විවාහයකදී කාන්තාව හා පිරිමි පුද්ගලයාගේ වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩිකිරීම.
  • විවාහ ලියාපදිංචියේ කාන්තාවගේ අත්සන අනිවාර්ය කිරීම.
  • ක්වාසි අධිකරණ සඳහා කාන්තා නියෝජනය ඇතුළත් කිරීම.
  • ක්වාසි අධිකරණයට පත්වීම සඳහා නීතිවේදී සුදුසකම් අවශ්‍ය වීම.

මුස්‌ලිම් විවාහ දික්‌කසාද ගැටලු ක්වාසි අධිකරණ නමින් හැඳින්වෙන අධිකරණ පද්ධතියකින් විසඳන අතර මුස්‌ලිම් ජනයා අතර විවාහ හා දික්‌කසාද තීරණය කිරීම සඳහා පත්කර ඇති පුද්ගලයන් කාතිවරුන් ලෙස හැඳින්වේ.

මෙම පනතට එක් කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ ප්‍රධානම ආගමික වියතුන්ගේ සංවිධානය වන සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සමග පසුගිය සතියේ පැවැත්වූ සාකච්ඡාව අසාර්ථක වුවක් බව බීබීසී සිංහල සේවයට වාර්තාවිණි.

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය මෙම යෝජනාවලියේ ඇතැම් කරුණු වලට විරෝධය දැක්වීම ඊට හේතුවී තිබේ. එහිදී මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජමියතුල් උලමා සංවිධානය දැඩි ලෙස විවේචනය කරමින් අදහස් දක්වා තිබෙන බවද වාර්තා විය.

පසුගිය බදාදා (23) පැවති එම සාකච්ඡාව අවසන්වී තිබුණේ මේ ගැන වැඩිදුර සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන්ගේ කමිටුවක් පත්කිරීමෙන් අනතුරුවය.

තත්වය මෙසේ තිබියදී පසුගිය සිකුරාදා (ජූලි 26) කොළඹදී රැස්වූ මුස්ලිම් කාන්තා නියෝජිත පිරිසක් රජයට දැඩි ලෙස අවධාරණය කළේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනතට අවශ්‍ය සංශෝධන වහාම ගෙන එන ලෙසය.

Image caption මුස්ලිම් කාන්තා නියෝජිත සංවිධාන මාධ්‍ය හමුවක

"මේක සංශෝධනය කරන්න 1972 කමිටුවක් තිබුණා, 1976 තවත් කමිටුවක් තිබිලා තියෙනවා. ඒවායේ සංශෝධන ඇවිල්ලයි කියලා ඉදිරියට ඇවිල්ල තියෙද්දිත් මොනවහරි අවාසනාවන්ත හේතුන් නිසා මේක අපිට සංශෝධනය කරන්න බැරිවෙලා තියෙනවා. දිගින් දිගටම මුස්ලිම් කාන්තාවන් මේ ගැන කතාකරලා තියෙනවා, නමුත් සංශෝධන වෙලා නැහැ" මාධ්‍ය හමුවට එක්වූ හිටපු අමාත්‍යවරියක වන ෆේරියල් අෂ්රෆ් කියා සිටියාය.

'කාන්තාවන් විදිහට රටේ නොයෙකුත් පළාත් වලින් අද ඇවිල්ල අපි ඉල්ලන්නේ තවත් මේක පහුකරන්න එපා කියලා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා අපි මේ වෙනස් කරන්න කියන්නේ දෙවියන් වහන්සේ කියනදේ ද කියලා. නැහැ . අපි කියන්නේ දෙවියන් වහන්සේගේ දයාවයි කරුණාවයි ඇතුළත් කරලා මේ සංශෝධන සිදුකරන්න කියලා" ෆේරියල් අෂ්රෆ් හිටපු අමාත්‍යවරිය සඳහන් කළාය.

මුස්ලිම් පවුල් නීතීය ආදරය, දයානුකම්පාව, ගෞරවය, සාදාචාරය සහ යුක්ති සහගතභාවය මත පදනම් විය යුතු බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

1951දී නීතිගතවූ වර්තමාන මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියට අනුව මුස්ලිම් පුරුෂයෙකුට විවාහ 4ට එළැඹිය හැකි අතර, ඒ සදහා කාතිවරයාගේ අවසරය අවශ්‍ය වේ. තමා විවාහ වන සියලු භාර්යාවන්ට සමව සැළකිය හැකි නම් පමණක් එම අවස්ථාවට ඉඩ සැලසේ. මුස්ලිම් කාන්තාවකට මෙවැනි අවස්ථාවක් නොලැබේ. මේ ගැනද මුස්ලිම් කාන්තා නියෝජිත සංවිධානය කැඳවූ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් පළවිය.

'කාන්තාවන් මේ ගැන අදහස් දෙකක් ප්‍රකාශ කරලා තියෙනවා. එක පිරිසක් කියනවා බහු විවාහය ලංකාවේ නැතුව තියෙන්න ඕනේ කියලා. සමහරු කියනවා මේක නැතිකරන්න බැරිනම් බහු විවාහයකට ඇතුළත් වෙන්න කොන්දේසි ඇතුළත් කරන්න ඕනේ විවාහ වෙලා ඉන්න කන්තාවගේ අවසරය ගත යුතුයි කියලා' මානව හිමිකම් නීතිවේදිනී එර්මීසා ටෙගල් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියාය.

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියට අදාළ යෝජිත සංශෝධන ගැන ප්‍රධාන මුස්ලිම් ආගමික වියතුන්ගේ සංවිධානය වන සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය මේ වනවිට දරන අදහස දැනගැනීම සඳහා ඔවුන් සම්බන්ධ කරගැනීමට බීබීසි සිංහල සේවය උත්සාහ දැරුවද එය අසාර්ථක විය.

කෙසේ වෙතත් පසුගිය වසරේ මේ පිළිබඳව බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය පැවසුවේ, මුස්ලිම් කාන්තාවන් ඉල්ලා සිටින පරිදි (සහ සලීම් මර්සූෆ් නිර්දේශ ප්‍රකාර) මුස්ලිම් කාන්තාවන් ක්වාසි අධිකරණ විනිසුරුවන් ලෙසින් පත්කිරීම ඉස්ලාම් ධර්මයට අනුකූල නොවන බවකි. ඒ වෙනුවට ක්වාසි අධිකරණ සඳහා ජූරි සභාවේ බහුතරයට කාන්තාවන් පත්කරන මෙන් යෝජනා කරන බව කියා සිටියේය.

එහෙත් මැලේසියාව වැනි රටවල කාන්තාවන් ක්වාසි අධිකරණවල විනිසුරුවරියන් ලෙස සේවය කරනවා නොවේදැයි බීබීසී සිංහල සේවය ඇසුවිට, ඊට පිළිතුරු ලෙස එවර ජමියතුල් උලමා සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක ෆාසිල් ෆාරුක් කියා සිටියේ මැලේසියාව ඉස්ලාම් ධර්මය නිසි පරිදි අනුගමනය කරන්නේ දැයි තමන් නොදන්නා බවය.

සබැඳි විෂයයන්