නිදහස් වීසා: සංචාරකයින් වැඩි වෙයි ද? ශ්‍රී ලංකා ආර්ථිකය කඩා වැටෙයි ද?

Image copyright facebook/tourismsrilanka

සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් වෙනුවෙන් නිදහස් සංචාරක වීසා නිකුත් කිරීම සඳහා පසුගිය 22 වන දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබිණි.

ඒ අනුව, අගෝස්තු මස 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි සංචාරකයින් වීසා බලපත්වලින් නිදහස් වන රටවල් මෙසේය.

  • මීට පෙර යෝජිත රටවල්:

තායිලන්තය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, සිංගප්පූරුව, නවසීලන්තය, මැලේසියාව, ස්විට්සර්ලන්තය සහ කාම්බෝජය

  • පසුව එක්වූ රටවල්:

ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්තය, අයිස්ලන්තය, පිලිපීනය, රුසියාව, චීනය, ඉන්දියාව සහ එංගලන්තය

වීසා නිදහස් කිරීමේ අරමුණ

රටවල් රැසක සංචාරකයින් වීසා බලපත්වලින් නිදහස් කිරීමේ අරමුණ ලෙස පෙන්වාදෙනු ලැබ තිබෙන්නේ, "සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමය."

සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග බීබීසී සිංහල සේවයට පැවසුවේ, සංචාරය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණෙන්නන්ට පමණක් මෙම වරප්‍රසාදය හිමි වන බවකි.

වීසා ලබා ගැනීම සඳහා වැය වන මුදල් සහ කාලය මෙම වැඩපිළිවෙළ මගින් ඉතිරි වන හෙයින් විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමේ ප්‍රවණතාව ඉහළ යනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව, සංචාරකයෙකු වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නන් ගුවන් තොටුපළේදී ලේඛනගත වන අතර එහිදී පැමිණීමේදී නිකුත් කෙරෙන සංචාරක වීසා බලපත්‍රයක් (On arrival visa) නිකුත් කෙරෙනු ඇත.

දර්ශනීය ස්ථාන නැරඹීම,විනෝද චාරිකා, විවේක සුවයෙන් සිටීම, ඥාතීන් හමුවීම හෝ යෝග අභ්‍යාස වැනි දේ සඳහා කෙටි කාලයක් ශ්‍රී ලංකාව තුළ නැවතී සිටීමට අවශ්‍ය සංචාරකයන්ට සංචාරක පැමිණීමේ වීසා බලපත්‍ර නිකුත් කරනු ලැබේ.

Image copyright TOURISM SRI LANKA/FACEBOOK

සංචාරක වීසා මගින් උපයාගත් ආදායම

2018 වසරේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව උපයා ගත් සමස්ත ආදායම රුපියල් බිලියන 17 ඉක්මවයි.

එම ආදායමෙන් වීසා නිකුත් කිරීමෙන් පමණක් උපයා ගත් ආදායම රුපියල් බිලියන 11 ඉක්මවා තිබේ.

එයිනුත්, වැඩි ම ආදායම වන රුපියල් බිලියන 10කට අධික මුදලක් උපයාගෙන ඇත්තේ විද්‍යුත් සංචරණ වීසා වැඩසටහන මගිනි. විද්‍යුත් සංචරණ වීසා නිකුත් කරනුයේ, සංචාරක (Tourist), ව්‍යාපාරික (Business) හෝ මාර්ගස්ථ (Transit) යන අවශ්‍යතා වෙනුවෙනි.

ඊට අමතරව, දෙපාර්තමේන්තුව විද්‍යුත් නොවන සංචාරක වීසා නිකුත් කිරීමෙන් පසුගිය වසරේදී රුපියල් මිලියන 300කට අධික මුදලක් උපයාගෙන තිබේ.

මේ අනුව, සංචාරකයින් වීසාවලින් නිදහස් කිරීම මගින් යම් සැලකිය යුතු සෘජු ආදායම් ප්‍රමාණයක් අහිමිවිය හැකි බව පෙනී යයි.

Image copyright http://www.immigration.gov.lk
Image caption 2018 කාර්ය සාධන වාර්තාව

නිදහස් වීසා ක්‍රමවේදය රටට කෙසේ බලපායි ද?

සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කෙසේ බලපායි ද? ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය, රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලමගෙන් අදහස් විමසීය.

ඇය සඳහන් කළේ, එම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට "ඉතා යහපත්" බවය.

"නිදහස් වීසා දෙන එක ඉතා යහපත් පියවරක්. පාස්කු ප්‍රහාරය නිසා කඩා වැටුණු සංචාරක කර්මාන්තය දැන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තියෙනවා. ඒ වගේ අවස්ථාවක මේ ක්‍රමය ඉතා හොඳ පියවරක්. මම නම් හිතන්නේ, වීසාවලින් නිදහස් කරන එක විතරක් නෙවේ, පුළුවන් නම් සංචාරකයින් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන්න පුළුවන් නම් තවත් හොඳයි. එහෙම වුණොත් මේ රටට එන්න සංචාරකයෝ වැඩි වශයෙන් පෙළඹෙයි."

කෙසේ වෙතත්, සංචාරකයින් රටට ගෙන්වා ගැනීම කෙරෙහි පමණක් අවධානය යොමු නොකර ඔවුන් වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ද රජය පියවර ගත යුතු බව මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම පෙන්වා දුන්නාය.

"මේ වෙනකොට නම් රටේ ආරක්ෂක තත්ත්වය ඉතා හොඳ තත්ත්වයක තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒත් මේ රටේ ආරක්ෂාව ගැන හිතන්නේ මොනව හරි විනාශයක් වුණාට පස්සේ තමයි. සුනාමිවලින් ආරක්ෂා වෙන්න හිතුවේ 2004 සුනාමි ආවට පස්සේ. දැන් රටේ ආරක්ෂාව ගැන හිතන්නේ, පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. ටික කාලයක් යනකොට ආයෙත් අමතක වෙනවා. එහෙම වුණොත් සංචාරක කර්මාන්තය දියුණු කරන්න අමාරුයි," මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම පැවසීය.

"ප්‍රවර්ධනය ඉතා වැදගත්"

"නිදහස් වීසා ක්‍රමය නිසා යම් මූල්‍ය අහිමි වීමක් සිදු විය හැකියි. ඒත් ඒ පාඩුවට වඩා සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමෙන් රටේ ආර්ථිකයට වන යහපත් බලපෑම වැදගත්. අපි සිංගප්පූරුව වගේ රටකට යන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නිදහස් වීසා ක්‍රමය නිසා. ඒ තත්ත්වය රටේ ආර්ථිකයට හොඳ දෙයක්," එලෙස සඳහන් කළේ ආර්ථික හා සමාජ විද්‍යා පර්යේෂකයෙකු වන ආචාර්ය පියවි විජේවර්ධනයි.

"හැබැයි වීසාවලින් නිදහස් කිරීමෙන් පමණක් සංචාරකයින් වැඩි කර ගන්න බැහැ. ඒ වැඩපිළිවෙළ ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කළ යුතුයි. නැත්නම් ඒ ගැන ලෝකයේ අදාළ රටවල ඉන්න සංචාරකයින්ට දැන ගන්න ක්‍රමයක් නෑ. ඒ නිසා හොඳ ප්‍රසිද්ධියක් ලබා දීමටත් රජය පියවර ගත යුතුයි."

සංචාරකයින්ගේ වර්ධනයක්

පාස්කු ඉරු දින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව සංචාරක පැමිණීම යම් මට්ටමකින් පහළ ගොස් තිබුණ ද, ජූලි මාසයේ දෛනික සංචාරක සංඛ්‍යා දත්ත අනුව මේ වන විට සංචාරකයින්ගේ පැමිණීම යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

Image copyright Sri Lanka Tourism Development Authority

මේ අතර, ලෝන්ලි ප්ලැනට් සඟරාව ලෝකයේ නැරඹිය යුතු හොඳ ම ස්ථාන අතර පළමු ස්ථානය ශ්‍රී ලංකාව බව පසුගිය දා යළිත් සඳහන් කර තිබිණි.

තවදුරටත් කියවන්න.