තර්ජිනී සිවලිංගම්: "බයේ එදා හැංගිලා හිටියනම්, අද මම මේ තත්ත්වයේ නැහැ"

Tharjini Sivalingam - Sri Lanka Netball Image copyright TharjiniSivalingam
Image caption "ඒ දවස්වල මම ගමෙන් නගරයට යන්නවත් කැමති නැහැ. උස නිසා මගේ දිහා මිනිස්සු අමුතු විදියට බලනවා. එක එක දේවල් කියනවා"

"මගේ මේ උස නිසා සෑහෙන විහිළු තහළුවලට ලක් වුණා. පාසලේ වගේ ම ගෙදරින් පිටතට ගියා ම මගේ දිහා මිනිස්සු අමුතු විදියට බලන්න ගත්තා. මම සෑහෙන අපහසුතාවලට මුහුණ දුන්නා."

එසේ පවසන්නී, ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම නියෝජනය කරන තර්ජිනී සිවලිංගම්. ඇය මේ වන විට ලොව පුරා දැල්පන්දු ලෝලීන්ගේ දැඩි අවධානය දිනා ගත් ක්‍රීඩිකාවකි.

ගෝල විදීමට දක්වන දක්ෂතාවට අමතරව ශරීරයේ උස හේතුවෙන් බොහෝ දෙනා අතර ඇය ජනප්‍රිය වී තිබෙන්නේ 'ජෙනී' යන නමිනි.

මාධ්‍ය වාර්තා බොහොමයක තර්ජිනී හඳුන්වා දී ඇත්තේ ලොව උස ම දැල් පන්දු ක්‍රීඩිකාව ලෙසය.

අඩි 6 අඟල් 11ක් උසැති ඇයට කුඩා කළ බොහෝ අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවූ බව බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇය කීවාය.

"මම ගොඩක් අයගේ විහිළුවට ලක් වුණත්, මේ උස නිසා ම තමයි මට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න ලැබුණේ. ඒ වගේ ම මම නෙට්බෝල් ක්‍රීඩාවෙන් ලෝකයේ ජනප්‍රිය චරිතයක් බවට පත් වෙලා තියෙන්නෙත්," ඇය සඳහන් කළාය.

පසුගිය දා නිමාව දුටු 2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ වැඩි ම ගෝල ප්‍රමාණය රැස් කර ගත් ක්‍රීඩිකාව බවට පත් තර්ජිනී, 2011 වර්ෂයේ දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ හොඳ ම විදින්නිය ලෙස ද සම්මානයට පාත්‍ර විණි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඇය ලබා ගත් ගෝල ගණන 348කි.

දෙවන තැනට ආ ජැමෙයිකාවේ ජනිඑල් ෆවුලර්හට රැස් කරගත හැකි වූයේ ගෝල 304ක් පමණි.

2011 ලෝක කුසලාන තරගාවලියේදී තර්ජිනී ගෝල 296ක් ලබා ගත් අතර එවර ගෝල දැමීමේ නිරවද්‍යතාව 98%ක් විය.

පාසලේ අත්දැකීම්

Image copyright TharjiniSivalingam
Image caption "මම ඉස්කෝලේ ගියේ යාපනයේ. අපි ගමක ජීවත් වුණේ"

යාපනයේ පුන්නාලයිකඩ්ඩුවාන්හි ඉපිද හැදී වැඩුණු තර්ජිනී දැඩි දුෂ්කරතා මධ්‍යයේ සිය ඉලක්ක කරා ගමන් කළ ආකාරය බීබීසී සිංහල සේවයට විස්තර කළාය.

"මම ඉස්කෝලේ ගියේ යාපනයේ. අපි ගමක ජීවත් වුණේ. ඒ දවස්වල මම ගමෙන් නගරයට යන්නවත් කැමති නැහැ. උස නිසා මගේ දිහා මිනිස්සු අමුතු විදියට බලනවා. එක එක දේවල් කියනවා."

"ඒ වගේ ම මට වෙන ළමයි කරනවා වගේ කිසි දඟ වැඩක් කරලා හැංගිලා ඉන්න ලැබුණෙත් නැහැ. උස ළමයෙක් එතන හිටියා කියලා කව්රු හරි කිව්වොත්, හැමෝ ම දන්නවා ඒ මම කියලා."

"ඉස්කෝලේ ළමයි මට කිව්වේ ඩයිනෝසර් කියලා. ඒ දවස්වල මම පොඩි නිසා මිනිස්සු කියන ඒවාට හිත රිදුණා. නමුත් අත්දැකීම් එක්ක ඒ හැම දෙයකින් ම මම තවත් ශක්තියක් වුණා," ඇය පැවසුවාය.

සිවිල් යුද්ධය හා බැඳුණු ජීවිතය

සිවිල් යුද්ධයේ අඳුරු සෙවණැලි සමග සිය කුඩා කළ ගෙවූ තර්ජිනී ඇතුළු පවුලේ සැමට කිහිප වරක් සිය වාසස්ථානය වෙනස් කිරීමට සිදු වී ඇත.

Image copyright Getty Images
Image caption "ඒක ඉතා දුෂ්කර කාලයක්"

යුද කලාප මග හරිමින් සිය මවගේ උපන් ගම වන කිලිනොච්චිය වෙත ගිය ඔවුන් පසුව 2007 වර්ෂයේදී නැවතත් යාපනයට ගොස් තිබේ.

"යුද්ධය ඇවිලෙනවාත් එක්ක, අපි තැනින් තැනට මාරු වෙන්න පටන් ගත්තා. අපි සෑහෙන දුක් වින්දා. අපේ ගෙදර යුද්ධයෙන් විනාශ වුණා. අපි සෑහෙන වතාවක් ගෙවල් මාරු කළා. ඒ තැන්වල වතුර, ලයිට් නැතුව ජීවත් වෙන්න පටන් ගත්තා."

"ඒක ඉතා දුෂ්කර කාලයක්," ඇය පැවසුවාය.

තර්ජිනීට වැඩිමල් සහෝදරයන් තිදෙනෙක්, වැඩිමහල් සහෝදරියක් සහ බාල සොහොයුරෙකි. තර්ජිනීගේ දෙමාපියන් සිය දරුවන් සිව්දෙනා පෝෂණය කළේ ගොවිතැනේ යෙදීමෙනි.

දැල්පන්දු ක්‍රීඩාවට පිවිසීම

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා (විශේෂ) උපාධිධාරිනියක වන තර්ජිනී, දැල් පන්දු ක්‍රීඩාවට ප්‍රථමයෙන් යොමු වූයේ 2004 වර්ෂයේදීය.

"මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලයේ වවුනියාවේ තිබුණා විවෘත නෙට්බෝල් තරගාවලියක්. ඒකට විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් මම සහභාගි වුණා. නෙට්බෝල් සංගමයේ නිලධාරීන්, පුහුණුකරු වගේ ම ජාතික මට්ටමේ ක්‍රීඩිකාවෝ ඒ තරග බලන්න ඇවිත් හිටියා. ඒ අය මගේ විශේෂ උස දැකලා මට කොළඹ එන්න කිව්වා නෙට්බෝල් පුහුණු වෙන්න."

Image caption වර්තමාන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සිය පුහුණුකාරිය තිලකා ජිනදාස සහ දැල්පන්දු සංගමයේ සභාපතිනි ට්‍රික්සි නානායක්කාර සමග

"මම ඉස්කෝලේදී සෙල්ලම් කළත්, වැඩිය ක්‍රියාකාරකම්වලට සහභාගි වුණේ නැහැ. යුද්ධය නිසා අපිට නිදහසේ ක්‍රීඩා සහ ඉගෙනීමේ කටයුතුවල නිරත වෙන්න බැරි වුණා," ඇය පැවසුවාය.

තර්ජිනී මේ වන විට සෙලාන් බැංකුවේ සහය නිලධාරිනියක ලෙස රැකියාවේ නිරත වේ.

එක්සත් රාජධානියේ ලිවර්පූල් නගරයේ පැවති 2019 දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්සත් රාජධානියට පැමිණි ගමන ගැන අපි ඇගෙන් විමසීමු.

"එංගලන්තය ඇත්තට ම හොඳ රටක්. ඒ රටේදී නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේ ම අවුරුදු 25ට පස්සේ මට මගේ ඥාතීන් හමුවෙන්න පුළුවන් වුණා. ඒ අය යුද්ධය නිසා ශ්‍රී ලංකාව අත හැරලා එංගලන්තයට ගිය අය. ඒ අය දැකීමෙන් මට විශාල සතුටක් දැනුණා."

කණ්ඩායමෙන් ඉවතට

2011දී ලොව හොඳ ම දැල්පන්දු ක්‍රීඩිකාවන් අතරට එක් වුණ ද 2015 වසරේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කණ්ඩායමට ඇය ඇතුළත් නොවිණි.

Image copyright Getty Images
Image caption 2019 ලෝක කුසලාන තරගාවලියේදී සිම්බාබ්වේ සමග පැවති තරගය අතරතුර

"පරිපාලනයේ ප්‍රශ්න" මෙයට හේතු වූ බව ඇය කෙටියෙන් පැවසුවාය.

නමුත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන පුහුණුකාරිය තිලකා ජිනදාස නැවතත් තර්ජිනී ජාතික කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට ක්‍රියා කර තිබිණි.

2018 දී ශ්‍රී ලංකාව නැවත වරක් ආසියානු ශූරයන් බවට පත් වූ අතර තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව ලෙස තර්ජිනී සම්මාන ලැබීය.

ශ්‍රී ලංකාව මින් පෙර හතර වතාවක් ආසියානු ශූරතාව දිනා ගෙන තිබේ.

'උස' කරදරයක් ද?

සිය ශරීරයේ විශේෂත්වය පෞද්ගලික ජීවිතයට බලපා ඇත්තේ කෙසේදැයි තර්ජිනීගෙන් විමසුවෙමු.

"මට හරියන ඇඳුම් හොයන එක තමයි අමාරුම වැඩේ. නෙට්බෝල් ක්‍රීඩාවේ ඇඳුම් වගේම මම දිනපතා අඳින ඇඳුම් ඔක්කොම විශේෂයෙන් මහන්න ඕනේ. ඩෙනිම් පවා විශේෂයෙන් මහලා නැත්නම් වෙනස් කරලා අඳින්න ඕනේ."

Image copyright TharjiniSivalingam
Image caption "මට හරියන ඇඳුම් හොයන එක තමයි අමාරුම වැඩේ"

"මට සපත්තු හොයා ගන්නෙත් වෙන රටවලින්. මම කැමති දේවල් ගොඩක් තිබුණත්, මේ උස නිසා ඒ දේවල් අදටත් කරන්න බැහැ."

"ඒ වගේම, ගුවන් යානයක ඉස්සරහ ආසනවල තමයි යන්නේ. නැත්නම් කකුල් දිග අරින්න බැහැ."

"මේ උස මට හරි වදයක් වෙලා තිබුණේ. ඒ වගේම මම හැමවෙලාවෙම හැංගිලා ඉන්න උත්සහ කළා, ඒ වගේම මට කිසිම දෙයක් කරගන්න බැරි වෙයි කියලා හිතුණා. හැබැයි අද මම ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙත් මේ උස නිසා" ඇය පැවසුවාය.

"මුල් කාලයේ පිටරටක ගියත් මම දිහා මිනිස්සු අමුතු විදියට බලනවා. හැබැයි දැන් මාව අඳුරගෙන හොඳට කතා කරනවා" යැයි ඇය පැවසීය.

කොළඹ ජීවිතය

"මගේ තාත්තා සිවලිංගම්, අම්මා කාන්දිමදී, ඒ දෙන්නයි මගේ අයියලා තුන් දෙනයි යාපනයේ ඉන්නේ. අක්කයි, මල්ලියි ජර්මනියේ. ඒ අය හැමෝම නැතුව මම තනියම කොළඹට වෙලා ඉන්න එක ඇත්තටම දුකක්."

Image copyright TharjiniSivalingam
Image caption 'ජාත්‍යන්තර සම්මාන රැසක් දිනාගත් ක්‍රීඩිකාවක්'

"මම කුලී කාමරයක ජීවත් වෙන්නේ."

ජාත්‍යන්තර මට්ටමේ කුසලාන පවා හිමිකරගත් ක්‍රීඩිකාවක් වන ඇයට රජයෙන් ලැබෙන සහන ගැන විමසුවෙමු.

"රජයෙන් අපිට ජීවත් වෙන්න සල්ලි දෙන්නේ නැහැ. හැබැයි මුකුත් දෙන්නේ නැහැ කියන්නත් බැහැ. ආසියානු කුසලානය දිනුවාම අපිට අඟුලාන තට්ටු නිවාසවලින් හැමෝටම ගෙවල් දුන්නා."

"තනියම එහෙ ජීවත් වෙන්න බැරි නිසා මම කුලියට ඉන්නේ. ඒ වගේම මේ පාර ලෝක කුසලාන තරගාවලියට යනකොට අපිට මුදලක් දුන්නා," යැයි ඇය පිළිතුරු දුන්නාය.

මේ තොරතුරුද කියවන්න:

ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් නියෝජනය කිරීම

වෙනත් රටක කණ්ඩායමක් නියෝජනය කිරීම සඳහා ගිවිසුමකට එළැඹි ප්‍රථම ශ්‍රී ලාංකික දැල්පන්දු ක්‍රීඩිකාව වන්නේ ද තර්ජිනීය.

තෙවසරක කාලයක සිට ඇය ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ 'City West Falcons' (සිටි වෙස්ට් ෆැල්කන්ස්) දැල්පන්දු කණ්ඩායම නියෝජනය කරන අතර, ලෝක කුසලාන තරගාවලිය අවසන් වූ සැණින් ඔස්ට්‍රේලියාව බලා පිටත් වූවාය.

Image copyright TharjiniSivalingam
Image caption 'City West Falcons' දැල්පන්දු කණ්ඩායමේ සාමාජිකාවන් සමග

City West Falcons වික්ටෝරියානු ප්‍රාන්තයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම වන අතර, තර්ජිනීගේ පුහුණුකාරිය වන්නේ නිකෝල් රිචඩ්සන් ය.

සිය පුහුණුකාරියගේ නිවසේ සිට පුහුණුවීම් කටයුතුවලට සහභාගී වන බව ද තර්ජිනී පැවසුවාය.

අනාගත බලාපොරොත්තු සහ නව ක්‍රීඩිකාවන්ට උපදෙස්

"මම හරි කැමතියි අලුතෙන් එන නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට උදව් කරන්න. වර්තමානයේ වගේම මගේ අනාගත බලාපොරොත්තුවත් ඒකයි."

එමෙන්ම, ඇය පෙන්වා දුන්නේ ශ්‍රී ලාංකික දැල්පන්දු ක්‍රීඩිකාවන්ට වැඩි වශයෙන් මුහුණ දීමට ලැබෙන්නේ මිත්‍රශීලී තරගවලට වන බැවින් එයින් ක්‍රීඩාවේ අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථා මගහැරෙන බවකි.

"තරගකාරී තරග වැඩියෙන් සෙල්ලම් කිරීමෙන් තමයි අපිට අත්දැකීම් වැඩියෙන් ලැබෙන්නේ. ඒ වගේම ක්‍රීඩාවට අවශ්‍ය නිර්භීතකම තවත් වර්ධනය කරගන්නත් පුළුවන් වෙනවා."

Image copyright TharjiniSivalingam
Image caption "හැමදේටම බයේ එදා හැංගිලා හිටියනම්, අද මම මේ තත්වයේ නැහැ"

"අලුතෙන් නෙට්බෝල් ක්‍රීඩාවට එන අයට මම දෙන උපදෙස තමයි ඕනෑම දෙයකට මුහුණ දෙන්න පුළුවන් විදියට ශක්තිමත් වෙන්න කියන එක. මගේ ජීවිතයේ සෑහෙන දුක් වින්දා. හැබැයි අද මම මගේ ඉලක්කවලට ගිහින් තියෙනවා."

"හැමදේටම බයේ එදා හැංගිලා හිටියනම්, අද මම මේ තත්වයේ නැහැ."

දිවි ගමනේ හතළිස් විය පසු කරමින් සිටින තමන්ගේ ඉදිරි බලාපොරොත්තුව සිය දෙමාපියන් සමග එකම ස්ථානයක කල් ගෙවීම බව අප සමග සාකච්ඡාව අවසන් කරමින් පැවසුවාය.

තවත් තොරතුරු:

සබැඳි විෂයයන්