ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවතා ජනපති ද, අගමැති ද ?

19th amendment in Sri Lanka Image copyright Getty Images

"මට ව්‍යවස්ථාව ගැන ගැඹුරු දැනුමක් නැහැ. නමුත් 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපති බලතල සීමා වුණා කියලා දන්නවා ඒ ගැන පළ වුණ වාර්තාවලින් ලබා ගත් දැනුමෙන්."

"නමුත් රට සම්පූර්ණයෙන් හසුරවන බලය අගමැතිට ලැබිලා නැති බවයි මගේ අදහස. තවමත් ජනාධිපතිවරයෙකුට දැඩි බලතල තිබෙනවා," ශ්‍රී ලංකා රජය තුළ වැඩි බලතල හිමිවන්නේ ජනපතිට ද අගමැතිට ද යන්නට එසේ සිය අදහස එක් කළේ ව්‍යාපාරික කාන්තාවක වන ප්‍රියන්ති පෙරේරා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම වසරේ ඔක්තෝබර් 8 සහ දෙසැම්බර් 8 අතර දිනක මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.

මේ වන විට ජනාධිපති අපේක්ෂකත්වය සඳහා කිහිපදෙනෙකු කරළියට පැමිණ ඇති නමුත්, ප්‍රධාන පක්ෂවලින් අපේක්ෂකත්වයට ඉදිරිපත්වන්නේ කවුදැයි නිල වශයෙන් දන්වා නොමැත.

කෙසේනමුත්, 2015 දී සිදු වූ ව්‍යවස්ථා සංශෝධන හේතුවෙන් ඉදිරියේ දී පත්වන ජනාධිපතිවරයා නාමමාත්‍රික ජනාධිපතිවරයකු වේද නැතිනම් තවදුරටත් විධායක බලතල ඇති ජනාධිපතිවරයකු වේද යන්න පිළිබඳ සමාජය තුළ සංවාදයක් ගොඩනැගී තිබේ.

අනාගත ආණ්ඩුවේ බලය හිමිවන්නේ ජනපතිට ද අගමැතිට ද යන්න පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසුමක දී බොහෝ දෙනෙකු විවිධ අදහස් පළ කළ අතර, සමාජ මාධ්‍ය ජාල, මාධ්‍ය සාකච්ඡාවල එකිනෙකට වෙනස් ප්‍රකාශ බොහොමයක් පළ වී තිබෙණු දක්නට ලැබිණි.

"මම ගණකාධිකාරිණියක්. මට ව්‍යවස්ථාව අධීක්ෂණය කරළා පිළිතුරක් දෙන්න අවශ්‍ය දැනුම නැහැ. හැබැයි, ශ්‍රී ලංකාවේ ජීවත් වන සාමාන්‍ය පුද්ගලයෙකු හැටියට මට දැනෙන්නේ මෑතක දී සිදු වුණ සංශෝධන නිසා අගමැතිවරයාට අසීමිත බලතල ලැබිලා නැහැ කියන එකයි," රුවන්දි බණ්ඩාර පැවසුවාය.

"කොහොම වුණත් මේ ගැන නිවැරදි දැනුමක් අපිට නැහැ. තර්ක විතර්ක ගොඩක් විතරයි අපිට පෙනෙන්නේ," ඇය තවදුරටත් සඳහන් කළාය.

Image copyright Getty Images
Image caption 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවිය

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 දී බිහිවිණි. කෙසේනමුත්, වසර කිහිපයක් ගතවන විට, 1978 වසරේදී දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද නිර්මාණය විය.

මේ වන විට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන 19ක් හඳුන්වා දී තිබේ.

19 වෙනි සංශෝධනයට පෙර තත්ත්වය

ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි අග්‍රාමාත්‍යවරයෙකු සහ කැබිනට් මණ්ඩලය පත් කිරීමේ බලය හිමි විය. කැබිනට් මණ්ඩලයට ඇතුළත් වන ඇමතිවරුන් සංඛ්‍යාව මෙන්ම කැමති අමාත්‍යධූර සංඛ්‍යාවක් තමන් යටතේ තබා ගැනීමට ද හැකි විය.

අගමැති මෙන්ම අමාත්‍යවරුන් ද එම තනතුරුවලින් ඉවත් කිරීමේ බලය සහ පාර්ලිමේන්තුව පත් වී වසරක් සම්පූර්ණ කළ පසුව සිය අභිමතය පරිදි විසුරුවා හැරීමේ බලය ද තිබිණි.

මෙයට අමතරව, විධායකයේ ප්‍රධානියා, රජයේ ප්‍රධානියා සහ සන්නද්ධ හමුදාවලට අණ දෙන ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා අතිශය පුළුල් බලතල සහ වරප්‍රසාද රැසක් අත් විඳිනු ලැබීය.

1978 ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට නොහැකි වන්නේ "ගැහැණියක පිරිමියෙකු කිරීමට හෝ පිරිමියෙකු ගැහැණියක කිරීමට පමණයි" යනුවෙන් හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන වරක් ප්‍රකාශ කළේය.

Image copyright Getty Images
Image caption ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට නොහැකි වන්නේ "ගැහැණියක පිරිමියෙකු කිරීමට හෝ පිරිමියෙකු ගැහැණියක කිරීමට පමණයි"

නමුත්, දැනට වසර කීපයකට පෙර සිට ප්‍රජාතන්ත්‍රවාදය මුල් කරගත් දේශපාලන ක්‍රමයක් පිළිබඳ කතිකාවක් ගොඩ නැඟෙමින් පවතින අතර, පුළුල් බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය සීමා කිරීම හෝ අහෝසි කිරීමට දේශපාලනික වශයෙන් මෙන්ම සිවිල් සමාජය වෙතින් ද දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතී.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් වරක් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, විධායක බලතල "පිස්සෙකුට, උන්මන්තකයෙකුට ගියහොත් විය හැකි විනාශය පිළිබඳ අත්දැකීම් ජනතාව අත්විඳි" බවය.

මේ හේතුවෙන් මෙම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවත් ඒ සඳහා සියලු පාර්ශව සහයෝගය දැක්විය යුතු බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ සියල්ල වෙනස් නොවුණත්, විධායක බලතල යම් දුරකට සීමා වී අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට යම් බලතල හිමි විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම මාධ්‍ය කිහිපයකට පවසා තිබුණේ, මෙය 1972 ව්‍යවස්ථාව යටතේ පදවිය දැරූ විලියම් ගොපල්ලව ජනාධිපතිවරයාගේ තත්ත්වයට සමාන බවය.

19 වෙනි සංශෝධනයෙන් සිදු වූයේ කුමක්ද?

2015 මැයි මස සම්මත වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බොහෝ‍ දෙනාගේ ප්‍රසාදයට හේතු වූ අතරම, මෙයින් විධායක බලය සීමා කිරීමක් හෝ කපා හැරීමක් සිදුවී නැති බව ඇතැම් නීති විශාරදයන් සහ දේශපාලනඥයන්ගේ මතයය. එමෙන්ම, සංශෝධනය තුළ අපැහැදිලි තැන් ද බොහෝමයක් දක්නට ලැබෙන බවට ද මත පළ වී තිබේ.

Image copyright Getty Images
Image caption ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්?

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුල් කෙටුම්පතෙහි විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින් විධායක බලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකට පැවරීමට අවශ්‍ය විධිවිධාන ඇතුළත් විය.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකින් එම වගන්ති ඉවත් කර තිබිණි. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැණි නොවුණද එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත වී, අනතුරුව ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විය.

කෙසේවෙතත්, ඉහත කී සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවිය.

මීට අමතරව, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධූර කාලය වෙනස් කෙරිණි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර ,පෙර පැවති වසර හයක ධූර කාලය වෙනුවට එය වසර පහකට සීමා කර ඇත. එමෙන්ම, දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකිය.

ජනාධිපති ධුරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි බවට වූ ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව, නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වෙනි සංශෝධනයෙන් ලැබී ඇත.

එමෙන්ම, රාජ්‍ය පරිපාලනයට අදාළ කොමිෂන් සභා පිහිටුවීම, අධිකරණ විනිසුරුවරයන්, නීතිපති සහ පොලිස්පති වැනි තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේ දී පෙර පැවති ජනාධිපති බලතල සීමා කරනු ලැබ තිබේ.

බලවත් කව්ද?

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ජනපති අගමැති බලතල පිළිබඳ විවිධ තර්ක තවදුරටත් ඉදිරිපත් වෙමින් තිබේ. එහි උප වගන්ති විවිධාකාරයෙන් අර්ථකථනය කිරීමෙන් දැඩි අපැහැදිලිතාවක් මතුව තිබෙන බව විශේෂඥ මත මෙන්ම සාමාන්‍ය ජනතාවගේ අදහස් විශ්ලේෂණය කිරීමෙන් පෙනී යයි.

Image caption පුද්ගලයන් ඉලක්ක කර ගෙන එසේ ව්‍යවස්ථා සංශෝධන සිදු කළ නොහැකියි - ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

"බලය වැඩි කාටද කියන එක තරාදියක දාලා මැනලා බලන්න බැහැ. ඒක එහෙම කරන එක වැරදියි. ව්‍යවස්ථාදායකය සහ විධායකය කියන්නේ ස්වාධීන ආයතන දෙකක්. ඒ ආයතන දෙක අතර බලය තුලනය කිරීමට තමයි මේ 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කළේ," ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විශේෂඥ මාණ්ඩලික සාමාජිකාවක වන නීතීඥ චමින්ද්‍රි සපරමාදු බීබීසී සිංහල සේවයට පැවසුවාය.

"නමුත් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිසංස්කරණ සහ ඒවා ක්‍රියාත්මක වන ආකාරයේ යම් ගැටලු පැන නැගිලා තිබෙනවා. මෙය වර්තමාන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉලක්ක කර කළ සංශෝධනයක් ලෙස ද දකින්න පුළුවන්."

කෙසේනමුත්, පුද්ගලයන් ඉලක්ක කර ගෙන එසේ ව්‍යවස්ථා සංශෝධන සිදු කළ නොහැකි බව 19 ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළ කණ්ඩායමේ සාමාජිකයකු වන ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.

"රනිල් අගමැති, මෛත්‍රී ජනාධිපති කියලා ව්‍යවස්ථා හදන්න බැහැ, හෙට පාර්ලිමේන්තුවේ අගමැතිට විශ්වාසභංගයක් ගෙනාවොත් ඔහුට අගමැතිකම නැති වෙනවා. අනික මීළඟ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති කෙනෙක් පත් වුනොත් රනිල් වික්‍රමසිංහ විපක්ෂයේනේ," ඔහු පැවසුවේය.

42, 43 සහ 44 වගන්තිවල සඳහන් වන පරිදි අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවල දී ඔහුගෙන් අදහස් විමසා අමාත්‍ය ධූර සංඛ්‍යාව, අමාත්‍යාංශ සංඛ්‍යාව සහ එකී අමාත්‍යවරුන්ට පවරන විෂය පිළිබඳ තීරණය කළ යුතුය.

Image copyright Facebook/ChamindrySaparamadu
Image caption ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විශේෂඥ මාණ්ඩලික සාමාජිකාවක් වන නීතීඥ චමින්ද්‍රි සපරමාදු

42 (4) වෙනි වගන්තිය: ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේය.

43 (2): අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හී අග්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව ද අමාත්‍යංශ සංඛ්‍යාව ද ඒ අමාත්‍යවරුන්ට පවරන විෂය සහ කාර්යය ද නිශ්චය කරනු ලැබිය යුත්තේය.

50 (අ) වගන්තිය අනුව, ජනාධිපතිවරයා විසින් යම් විෂයයක් හෝ කර්තව්‍යයක් පවරා ගත හැක්කේ අග්‍රාමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව වන අතර, ඔහු යටතේ තබා ගත යුතු අමාත්‍යංශ තීරණය කළ හැකි වන්නේ ද එවැනිම එකඟත්වයක් මතය.

කෙසේනමුත්, 19 වෙනි සංශෝධනයේ අවසාන වගන්තිය (51 වෙනි වගන්තිය) අනුව විෂයන් තුනක අමාත්‍යාංශ ජනාධිපති යටතේ තබා ගත හැකිය.

අග්‍රාමාත්‍යවරයාට යම් බලතල පැවරී ඇති නමුත්, මෙම උප වගන්තිවල අන්තර්ගතය අර්ථකථනය කිරීමේ දී එකිනෙකට පරස්පර මත බොහොමයක් ඉදිරිපත් වී තිබේ.

"19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මතුපිටින් පෙනෙන්නේ ජනාධිපතිවරයා ආණ්‌ඩුවේ ප්‍රධානියා කියලා. නමුත් 19 වැනි සංශෝධනය කියවා බැලූ විට තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස්‌ අර්ථයක්‌," යැයි ආචාර්ය දයාන් ජයතිලක සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ සටහනක සඳහන් වන්නේය.

Image copyright VishakaSuriyabandara/Facebook
Image caption ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය විශාකා සූරියබණ්ඩාර

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය විශාකා සූරියබණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, "මෙතන තියෙන්නේ ව්‍යවස්ථා ප්‍රශ්නයක් නෙවේ, දේශපාලනික පෞරුෂත්වය පිළිබඳ ප්‍රශ්නයක්. 19 වෙනි සංශෝධනයෙන් ඔය කියන තරම් බලය අවම වීමක් සිදුවුණේ නැහැ. තමන්ගේ බලය පාවිච්චි නොකිරීමයි මෙතන තියෙන ගැටලුව. සමහර ජනාධිපතිවරු තමන්ගේ බලය ඉක්මවා භාවිත කළා. තවත් අය බලතල තියාගෙන ඒවා නෑ වගේ හිටියා," යනුවෙනි.

කෙසේවෙතත්, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැවසුවේ, "මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වුණේ ජනාධිපතිගේ අත්තනෝමතික බලතල ඉවත් කිරීමයි. අපි කියන්නේ අගමැතිටත්, පාර්ලිමේන්තුවටත් අත්තනෝමතික බලතල නොදිය යුතුයි" යනුවෙනි.

ජනතා පරමාධිපත්‍ය

"මීට පෙර විධායක ජනාධිපති වන පුද්ගලයා පාර්ලිමේන්තුවට වගකියන තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ වගේම ඔහු හෝ ඇයගේ ක්‍රියාවන් අධිකරණයේ ප්‍රශ්න කරන්න බැරි තත්ත්වයක් තිබුණේ. අදාළ කෙනාට සම්පූර්ණ මුක්තියක් තිබුණා. නමුත් 19 වෙනි සංශෝධනයෙන් මේ දේවල් ඉවත් කළා" යැයි නීතීඥ චමින්ද්‍රි සපරමාදු පැවසුවාය.

"විධායක ජනාධිපති කෙනෙක් තමයි තාමත් ඉන්නේ, හැබැයි බලතල යම් ප්‍රමාණයකට සීමා කිරීමක් තමයි සිදුවුණේ."

කෙසේනමුත්, මෙම සංශෝධනය හේතුවෙන් දේශපාලනික වශයෙන් මෙන්ම ජනතා පරමාධිපත්‍ය සම්බන්ධයෙන් ගැටලු පැනනඟින බව නීතීඥවරිය තවදුරටත් විස්තර කළාය.

Image copyright Getty Images
Image caption "ඒ වෙලාවේ ජනමත විචාරණයකට ගියානම්, බලාපොරොත්තු වෙච්ච පාර්ලිමේන්තු ක්‍රමයට යන්න තිබුණා"

"ජනාධිපති කෙනෙක් කෙළින්ම පත්වන්නේ මහජන ඡන්දයෙන්. ඒ කියන්නේ මුළු රටම එක ඡන්ද කොට්ඨාශයක් බවට ජනාධිපතිවරණයේ දී පත් වෙනවා. ජනතා පරමාධිපත්‍යත් සමග, එහෙම පත්වෙන ජනාධිපති කෙනෙක් බලවත් කියන හැඟීමක් එනවා."

19 වෙනි සංශෝධනයේ මුල් කෙටුම්පතෙහි ජනාධිපති බලතල වැඩි වශයෙන් සීමා කර තිබුණත්, එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පසු යෝජනා සියල්ල ඇතුළත් කිරීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව තීන්දු කෙරිණි.

"ඒ වෙලාවේ ජනමත විචාරණයකට ගියානම්, බලාපොරොත්තු වෙච්ච පාර්ලිමේන්තු ක්‍රමයට යන්න තිබුණා. ඒ වෙනුවට පාර්ලිමේන්තුවේ 2/3ක කැමැත්ත අනුව සිදු කරන්න පුළුවන් සංශෝධන කිහිපය පමණක් 19 වෙනි සංශෝධනයට ඇතුළත් වුණා," නීතීඥවරිය තවදුරටත් පැවසුවාය.

19 වෙනි සංශෝධනය ගැන අදහස් විමසූ විට ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් පැවසුවේ ද ජනාධිපති බලතල යම් සීමා වීමක් පමණක් සිදුව ඇති බවය.

මේ තොරතුරුද කියවන්න:

ජනාධිපතිවරයාගේ මතය

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40 ක් සපිරීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජූනි මස පැවති සැමරුම් උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සිය අදහස් පළ කළේය.

Image copyright Getty Images
Image caption "19 වන සංශෝධනයක් ඇති නොවුණා නම් මේ අවුරුදු හතර හමාර මීට වඩා විශිෂ්ට ජයග‍්‍රාහී සිව් වසරක්.."

"19 වන සංශෝධනය මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. එක නායකයෙක් නැතුව ගියා. 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිත් අගමැතිත් දෙපැත්තට අදින ක‍්‍රමයක් හැදුණා. ඒකෙන් රටටත් විශාල අලාභයක් සිදුවුණා.

"ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා. මේ රට යහපත් රටක් විදියට ගොඩගන්න නම් විශේෂයෙන් ම බොහෝ දේශපාලන විචාරකයින් කතා කරන මාධ්‍යවල කතා කරන මීට වඩා වෙනස්ව හිතන්නට ඕන. 18 වන සංශෝධනයත් 19 වන සංශෝධනයත් මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මේ සංශෝධන දෙක ම අවලංගු කෙරුවොත් තමා මේ රටට යහපතක් වෙන්නේ."

"18 ඒකාධිපති 19 අස්ථාවරත්වය. රට අරාජිකයි කියලා මිනිස්සු අපිට කියන්නේ 19 වන සංශෝධනයෙන් ඇති වෙච්ච තත්ත්වය. 19 වන සංශෝධනයක් ඇති නොවුණා නම් මේ අවුරුදු හතර හමාර මීට වඩා විශිෂ්ට ජයග‍්‍රාහී සිව් වසරක්," ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේය."

නමුත් ජනාධිපතිවරයාගේ මෙම අදහස් ජනාධිපතිවරණයට පෙර සහ තේරී පත් වූ මුල් කාලය ඇතුළත පළ කළ අදහස්වලට පටහැණි බව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ මත ඉදිරිපත් කර තිබිණි.

"සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ"

රෝහල් සේවිකාවක වන වසන්තා ජයතිලක පැවසුවේ, "මට මේ ගැන කිසි දෙයක් හරියට තේරෙන්නේ නැහැ. මේ දේවල් අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්න නෙමෙයි සිද්ධ වෙන්නේ," යනුවෙනි.

"අපිට තේරෙන විදියට ජනාධිපති තමයි තවමත් රටේ නායකයා. අගමැති කෙනෙකුගේ කාර්යය හරියටම කියන්න මම දන්නේ නැහැ. නමුත් රටේ වැදගත් තීරණ ගන්න වගේම රට දියුණු කරන්න ඒ දෙන්නාගේ එකමුතුව ඕනේ කියන එකනම් පැහැදිලියි."

Image copyright Getty Images
Image caption "මේ වගේ සම්පත් තියෙන රටකට මෙහෙම වෙන එක මහ අපරාධයක්"

"හැබැයි දැන් තියෙන තත්වය අනුව, ජනාධිපති වෙනමයි, අගමැති වෙනමයි තමන්ගේ දේශපාලන ගේම් එක ගෙනියනවා මිසක් රට ඉදිරියට යෑමක් නැහැ. මේක පඹ ගාලක් වෙලා. මේ වගේ සම්පත් තියෙන රටකට මෙහෙම වෙන එක මහ අපරාධයක්."

"අන්තිමට කියන්න තියෙන්නේ එක දෙයයි, එන ජනාධිපතිවරණයේදීත් වැරදුනොත්, අපිට ආයේ රටක් විදියට ගොඩ ඒමක් නැහැ," ඇය තවදුරටත් පැවසුවාය.

තවත් තොරතුරු: