ශ්‍රී ලංකාවේ පරවි: සාමයේ සංකේතය වෙනුවෙන් 'ගහමරා ගැනීම'

පරවියා යන්න ඇසූ පමණින් සාමය සහ අවිහිංසාව පිළිබඳව සිහියට නැගෙනුයේ, සුදු පරවියා සාමයේ සංකේතය ලෙස හඳුන්වන හෙයිනි.

පරවියා සාමයේ සංකේතයක් ලෙස සැලකීමට බයිබලයේ සඳහන් තොරතුරු ඉවහල් වූ බව ඇතැමෙකුගේ විශ්වාසයයි. (උත්පත්ති කතා 8:10 - 11) එකල නෞකාවල කපිතාන්වරුන් ගොඩබිමක් සොයා ගැනීම සඳහා පරවියන් මුදා හැරි බව ඉතිහාස කතාවල සඳහන් වේ.

එලෙස සාමය සංකේතවත් කරන පරවියන් වෙනුවෙන් ගැටුම් ඇති කර ගැනීම පුදුමයට කරුණක් විය හැකිය. එහෙත්, ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එවැනි ගැටුම් පිළිබඳව අවස්ථා රැසකදී වාර්තා වී තිබේ.

සාමයේ සංකේතය වෙනුවෙන් 'ගහමරා ගැනීම'

එවැනි සිද්ධියක් පසුගිය සතියේ තංගල්ල ප්‍රදේශයෙන් ද වාර්තා විය.

පරවියන් සම්බන්ධයෙන් කුඩා දරුවන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඊට දෙපාර්ශවයේ වැඩිහිටියන් ද සම්බන්ධ වී හටගත් ගැටුමක් හේතුවෙන් කාන්තාවන් සිව් දෙනෙකු ද ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය පැවසීය.

එලෙස අත්අඩංගුවට පත්ව තිබුණේ, තංගල්ල, නෙටොල්පිටිය, බෙලිවලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් 13 දෙනෙකි.

අදාළ ආරවුල මාස කිහිපයක් තිස්සේ පැවතී ඇති අතර පසුව ගිනිඅවි පවා රැගෙන දෙපාර්ශවය ගැටුමකට සැරසෙද්දී පොලිසිය විසින් ඔවුහු අත්අඩංගුවට ගනු ලැබූහ.

පොලිසියේ මැදිහත් වීම හේතුවෙන් පරවියන් නිසා සිදුවීමට ගිය විශාල ගැටුමක් අධිකරණය වෙත යාමෙන් කෙළවර විය.

මෙවැනි ගැටුම් හේතුවෙන් ඝාතන පවා සිදුව ඇතැයි පරවියන් ඇති කරන ඇතැම් පුද්ගලයෝ බීබීසී සිංහල සේවයට පැවසූහ.

පරවියන් ඇති කිරීමේදී ඇති වන ගැටුම් පිළිබඳව එවැනි පුද්ගලයින් කිහිප දෙනෙක් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූහ.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි තරිඳු රසාංග කලක් පරවියන් ඇති කර මෑතකදී එය අත් හළ අයෙකි.

"පරවියෝ හදන්න ගියා ම ගැටුම් ඇති වෙනවා. සමහර අය ඇවිත් තියෙනවා, බොරුවට ඒගොල්ලන්ගෙ පරවියෝ මගේ කූඩුවේ ඉන්නවා කියාගෙන. තව සමහරු පරවි කූඩු හොරෙන් කඩලා පරවියෝ අරගෙන යනවා. ඒ වගේ වෙලාවලදි ගැටුම් ඇති වෙනවා. පොලිසි යන වෙලාවලුත් තියෙනවා. පොලිසියට ගියත් පරවියන් අඳුනගන්න ක්‍රමයක් නැති නිසා ගොඩක් වෙලාවට ආයෙත් පරවියෝ ලැබෙන්නෙ නෑ," තරිඳු රසාංග පැවසීය.

ඩග්ලස් පීටර් යනු වසර 45ක් තිස්සේ පරවියන් ඇති කරන කළුතර, දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Image caption ඩග්ලස් පීටර් සහ බිරිඳ ශ්‍යාමලී ප්‍රියංකා

"තුන් පාරක් විතර මගේ කූඩුව කැඩුවා. කඩලා පරවියෝ ඔක්කොම අරන් ගියා. එක පාරක් නම් අහුවුණා. ඊට පස්සේ පොලිසි ගිහින් උසාවි ගිහින් පරවියො ටික ආපහු ගත්තා. තව පාරක් කූඩුව කඩලා ගෙනිච්ච පරවියෝ කිහිප දෙනෙක් මාස 4කට විතර පස්සේ ආපහු ආවා ගෙදර හොයාගෙන. මම කාටවත් ගෙදරට එන්න දෙන්නේ නෑ. පරවි කූඩුව දැක්කොත් ඒ එන අය අපි නැති වෙලාවක් බලල කූඩුව කඩලා පරවියො ටික අරන් යනවා. ඒ නිසා මම නොදන්නා කිසි කෙනෙක් ගෙදරට ගෙන්න ගන්නෙ නැහැ," ඩග්ලස් පීටර් සිය අත්දැකීම් හෙළි කළේ එලෙසය.

පරවියන් ඇති කරන්නේ ඇයි?

නිවෙස්වල පරවියන් ඇති කරන හේතු කිහිපයක් පවතී. එනම්, ව්‍යාපාරයක් ලෙස, තරගවලට ඉදිරිපත් කිරීමට සහ සුරතල් පක්ෂියෙකු ලෙස යන හේතූන්ය.

සාමාන්‍යයෙන් පරවියන් රු. 1000 පමණ සිට රු. 50000ක් දක්වා වටිනාකම්වලින් යුක්ත වන බව වැල්ලම්පිටියේ පදිංචි තරිඳු රසාංග පැවසීය.

Image caption පරවි කූඩු

"සාමාන්‍යයෙන් පරවියන්ගේ තරග තියෙනවා වැඩි ම කාලයක් උඩ ඉන්න පරවියා හොයන. වැඩි ම කාලයක් උඩ ඉන්න පරවියා තමයි, තරගයෙන් පළවෙනියා වෙන්නේ. ඒ වගේ තරගාවලි පවා පවත්වනවා. වැඩි ම කාලයක් උඩ ඉන්න පුළුවන් පරවියන් රු. 50000ක් වගේ වටිනවා. උන් පැය 10, 12 උඩ ඉන්නවා."

ඊට අමතරව, යම්කිසි දුර ප්‍රමාණයක සිට මුලින් ම මුල් ස්ථානයට පැමිණෙන පරවියන් සෙවීමට ද තරග පැවැත්වේ.

නීතිමය තත්ත්වය

ශ්‍රී ලංකාවේ නීතිය අනුව ඔට්ටු තැබීම සඳහා පක්ෂීන් යොදා ගැනීම තහනම්ය. එහෙත්, තරග පවත්වා මුදල් ත්‍යාග පිරිනැමීම නීතියෙන් තහනම් නොවන බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.

"කුරුල්ලන්ට හිංසා නොකරනවා නම් එම පක්ෂීන් තරග සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් තහනමක් නැහැ. හැබැයි ඔට්ටු තැබීම නම් කොහොමටත් නීතියෙන් තහනම්," නීතිඥ ජගත් ගුණවර්ධන සඳහන් කළේය.

පරවියා ගැන තොරතුරු

පරවියා අයත් වන්නේ, කොලම්බිෆෝමිස් (Columbiformes) නමැති ගෝත්‍රයටය.

ලෝකයේ කොලම්බිෆෝමිස් කුලයට අයත් පක්ෂීන් විශේෂ 427ක් වාසය කරන අතර ශ්‍රී ලංකාව තුළ විශේෂ 12ක් දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ වෙසෙන පරවි සහ කොබෙයියන් විශේෂ 12න් විශේෂ දෙකක් ශ්‍රී ලංකාවට ආවේණික වේ.

ශීතාධික ප්‍රදේශ සහ මිනිස් වාසයෙන් තොර වනාන්තර හැර ලෝකයේ සෙසු සෑම ප්‍රදේශයකින් ම පාහේ පරවියන් දැකගත හැකිය. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල ගොඩනැගිලි ආශ්‍රිතව පරවියන් බහුල වශයෙන් දැකගත හැකිය.

පරවි විශේෂ අතරින් තුනෙන් දෙකක් පමණ වාසය කරනුයේ, ගිනිකොණදිග ආසියාව, ඔස්ට්‍රේලියාව සහ බටහිර පැසිෆික් කලාපීය ප්‍රදේශවලය.

තවදුරටත් කියවන්න.