මහින්දගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා "නිදොස් කොට නිදහස්"

Image copyright PMD

රජයට අයත් ලිට්‍රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කර තිබේ.

සම්පත් අබේරත්න (සභාපති), සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් බ්‍රහස්පතින්දා (අගෝස්තු 08) මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

"විත්තිකරුවන්ට එල්ල කර තිබූ චෝදනා 24න් ම ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරු කටයුතු කළා. පිටු 330ක තීන්දුවක් ඔවුන් මෙහිදී ප්‍රකාශයට පත් කළා," ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්රි නඩුවෙන් අනතුරුව බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේය.

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ හා ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවනට එරෙහිව අධිචෝදනා 24ක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබිණි.

දින 57ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2015 ලත් පරාජයත් සමග ඔහු සමග කටයුතු කළ ප්‍රධාන නිලධාරීන්ට චෝදනා එල්ල වූ අතර ඒ අතරින් ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ ලලිත් වීරතුංග දැනට මහාධිකරණය විසින් වැරදිකරුවකු ලෙස තීන්දු කරනු ලැබ තිබේ. ඒ පිළිබඳව ඔහු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය දැන් විභාග වෙමින් පවතී.

තවදුරටත් කියවන්න.

සබැඳි විෂයයන්