ශ්‍රී ලංකා ජනාධිපතිවරණය: "ගෝඨාභය ගැන බය වෙන්න දෙයක් නැහැ" -බැසිල්

ගෝඨාභය සහ බැසිල් රාජපක්ෂ Image copyright SLPP
Image caption ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලබන 11 වෙනිදා පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී නම් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

එදිනම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් භාරගන්නා බවද ඔහු බීබීසි සිංහල සේවයට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එම සම්මේලනයේදී "පොහොට්ටුවේ ජනාධිපතිධූර අපේක්ෂකයා කවුරුන්දැයි" රටට හෙළිකරනු ඇති බව ද ඔහු කියා සිටියේය.

තම පක්ෂ අපේක්ෂකයා තේරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග යම් සාකච්ඡාවක් සිදු වුයේ දැයි විමසු විට හිටපු අමාත්‍යවරයා පැවසුවේ ඒ ගැන පාර්ශ්ව ගණනාවක් සමග සාකච්ඡා කළ බවය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඉදිරි දින කිහිපයේදීත් සාකච්ඡා සිදුවෙන්න පුළුවන්. අපේක්ෂකයා කවුරුන්දැයි හෙළිදරව් කළාට පසුවත් එකට වැඩ කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න පුළුවන්," ඔහු කියා සිටියේය.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර පවත්වන සිය පක්ෂයේ පළමු සම්මේලනය ගැන බ්‍රහස්පතින්දා (අගෝස්තු 08) කොළඹදී මාධ්‍ය දැනුවත් කළේය.

නිල වශයෙන් නම් කළ පිරිසකට පමණක් ලබන අගෝස්තු 11 වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයට සහභාගි වීමට ඉඩ ලැබෙන බව ද මාධ්‍ය හමුවේදී පක්ෂ නියෝජිතයන් පැවසීය.

Image copyright SLPP
Image caption බැසිල් රාජපක්ෂ මාධ්‍ය අමතමින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද යන්න ගැන මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කරනු ලැබුණි.

ගෝඨාභය රාජපක්ෂ සිය ඇමෙරිකානු පුරවැසිභාවය අතහැර තිබෙන බව ද බැසිල් රාජපක්ෂ සඳහන් කළේය. "ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඇති නායකයෙක්" බවත් එම මාධ්‍ය හමුවේදී බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ දරුණු පාලකයෙක් නොවන බවට සහතිකයක් තමන්ට ලබාදිය හැකි බව මෙහිදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේය.

ඇතැම් අය ගෝඨාභය රාජපක්ෂට බියක් දක්වනවා නේදැයි ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ කියා සිටියේ, "ඔහු ගැන බයවෙන්න දෙයක් නැහැ. ඔහු හොඳ ප්‍රජාතන්ත්‍රවාදියෙක් වෙන බව මට විශ්වාසයි," යනුවෙනි.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර බීබීසි සිංහල සේවයට පැවසුවේ ජනාධිපතිවරණයට එක්ව තරඟ කිරීම පිළිබඳව තම පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ස්ථිර එකඟතාවයක් තවමත් ඇතිවී නොමැති නිසා තම පක්ෂයේ මන්ත්‍රීවරුන් එම සම්මේලනයට සහභාගි නොවන බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම්කරන බව පැවසෙන අපේක්ෂකයා පිළිබඳව කිසිදු එකඟතාවයක් තම පක්ෂය සමග ඇතිකරගෙන නොමැති බව ද සඳහන් කළේය.

"ජනාධිපතිවරණයට මාස කිහිපයක් තියෙනවා. විවිධ පක්ෂවලින් කල් තියා නම් කරන අපේක්ෂකයන් ඡන්දය ආසන්න වනවිට වෙනස්විය හැකියි," දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේය.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිල වශයෙන් මෙම සම්මේලනයට සහභාගිවන ලෙස ආරාධනා කර නොමැතිවුවත් එම පක්ෂයේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඉරිදා (අගෝස්තු 11) පැවැත්වෙන පක්ෂ සම්මේලනයට සහභාගීවන ලෙස පුද්ගලිකව ආරාධනා කර ඇති බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර