හීලෑ අලි විශ්‍රාම ගැන්වීමට වයස් සීමාවක් අවශ්‍යයි - මහාචාර්ය දංගොල්ල

Image copyright හර්ෂණ කසුන් මිල්ලතේ/Facebook

සමාජ මාධ්‍ය ජාලයේ සංවාදයට ලක් වෙමින් ඇති වයෝවෘද්ධ 'ටිකිරි' ඇතින්න මහනුවර ශ්‍රී දළදා මාළිගය පරිශ්‍රයේ පිහිටි විෂ්ණු දේවාල භූමියේ ඇද වැටී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් පරස්පර අදහස් පළ වෙමින් ඇත.

අසාධ්‍ය තත්ත්වයේ පසු වන ඇතින්න බදාදා (අගෝස්තු 14) උදෑසන ඇද වැටී ඇති බව පරිසරවේදීන් සහ සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයන් පවසන අතර, ඇයට ප්‍රතිකාර කරන පශු වෛද්‍යවරු සඳහන් කළේ "නිදා ගැනීම සඳහා බිම වැතිර ගත්" ඇතින්නට නැගී සිටීමට අසීරු වූ බවය.

ඇතින්න වැතිර සිටින අවස්ථාවේ එහි යාමට හෝ ඡායාරූප ගැනීමට ඉඩ ලබා නොදුන් බවටත් මේ අතර චෝදනා එල්ල වෙයි.

'ටිකිරි' ඇතින්න බිම ඇද වැටී ඇතැයි පවසන පරිසරවේදීන් සඳහන් කළ ආකාරයට "ඇය ශ්‍රී දළදා භූමියේදී මරණයට පත් වෙතැයි බියෙන් ලොරියකට පටවා අයිතිකරු වෙසෙන කෑගල්ල ප්‍රදේශයට රැගෙන යාමේ උත්සහයක්" දියත්ව ඇත.

ඇතින්නට ප්‍රතිකාර ලබා දුන් වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අසෝක දංගොල්ල බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දැනට අවදානමක් නොමැති බවය.

"සාමාන්‍යයෙන් වයස් ගත අලි බිම වැතිර නිදා ගැනීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද නිදා ගත්තොත් නැගිටින්න බැහැ. ඒ ප්‍රශ්නය තමයි මෙතැනදීත් ඇති වුණේ" මහාචාර්යවරයා පවසයි.

පසුව සේලයින් ලබා දී ඇතින්න නැගිටුවා ගත් බවත් මහාචාර්ය දංගොල්ල සඳහන් කළේය.

ඇතින්න, ලොරියක පටවා රැගෙන යාමට තරම් සුදුසු සෞඛ්‍ය තත්ත්වයේ පසු වූ බවත් ඔහු පවසයි.

'ටිකිරි' සම්බන්ධයෙන් විශාල වශයෙන් අවධානය යොමු වූයේ අලි ඇතුන්ගේ සුභ සාධනය වෙනුවෙන් පෙනී සිටින 'Saengduean Lek Chailert' නමැති විදෙස් සමාජ ජාල පිටුවක ඇයගේ ඡායාරූප සහිත තොරතුරු පළවීමත් සමගය.

ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් විසින් ඉහත කී ඡායාරූප හුවමාරු කර ගනු ලැබුණේ වයස්ගත අලියෙකු දළදා පෙරහැර සඳහා යොදා ගැනීම හෙළා දකිමිනි.

එමෙන්ම සත්ව සුභ සාධනය සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාළිගයේ පරිපාලනය මීට වඩා සැලකිලිමත් විය යුතු බවත් ඔවුන්ගෙන් ඇතැමෙක් පෙන්වා දුන්හ.

'ටිකිරි' ඇතින්න පසුවෙන තත්වය අනුව ඇය තවදුරටත් විෂ්ණු දේවාලයේ පෙරහැරට සහභාගී නොකරන බව පෙරහැර සංවිධායකයෝ පවසති.

Image caption කෑගල්ල වෙත රැගෙන යන ටිකිරි

ඇතින්න විෂ්ණු දේවාලයේ පෙරහැරට යොදා ගනු ලැබුවේ ඇයගේ රෝගී තත්ත්වය සුවකර දෙන ලෙස ඉල්ලා කර තිබුණ භාරයක් ඔප්පු කිරීම සඳහා යැයි හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය අඟහරුවාදා පැවසීය.

බදාදා (අගෝස්තු 14) සේලයින් සහ අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් පසු 'ටිකිරි' ඇයගේ අයිතිකරුගේ නිවසට රැගෙන යනු ලැබුණි.

"ටිකිරිගේ නිදහස" වෙනුවෙන් පෙනී සිටි සත්ව ශුභ සාධනවේදිනියක් වන ඉරාකි කොඩිතුවක්කු බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් මෙසේ සඳහන් කළාය.

"පෙරහැරට යොදාගනු ලැබීමෙන් ඉවත් කොට ඇතින්න ගෙදර යවා ගන්න ලැබුණේ රටේ සතුන්ට ආදරය කරන ජනතාව ඊට එරෙහිව පෙළ ගැසුන නිසයි. ටිකිරි වැඩට යොදවා ගන්නේ නැහැ කියලා - අයිතිකාරයා පොරොන්දු වුණා. මේක පරිසරවේදීන්, සත්ව ශුභ සාධනවේදීන් ඇතුළු ජනතාව ලැබූ ජයග්‍රහණයක්"

කෙසේ වුවත් 'ටිකිරි' ඇතින්න පෙරහැරට යොදා ගැනීමට එරෙහිව සත්ව ශුභ සාධනවේදීන් පිරිසක් බ්‍රහස්පතින්දා (අගෝස්තු 15) පොලිසියට පැමිණිලි කිරීමට නියමිත බවත්, ඒ සම්බන්ධයෙන් සත්ව හිංසාව යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය සඳහන් කළාය.

ඒ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට ද ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන බවත් ඉරාකි කොඩිතුවක්කු වැඩිදුරටත් කියා සිටියාය.

Image caption ටිකිරිගේ වයස අවුරුදු හැත්තෑවක් පමණ වෙතැයි විශ්වාස කෙරේ

ශ්‍රී ලංකාවේ දැනට ඇති හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව සියයකට ආසන්නය.

පෙරහැර සඳහා හීලෑ අලි ඇතුන් හිඟ බවට හීලෑ අලි හිමිකරුවන්ගේ සංගමය ඇතුළු පෙරහැර සංවිධායකයන් මැසිවිලි නගන අතර, පරිසරවේදීන්ගේ මතය වී ඇත්තේ දැනට සිටින හීලෑ අලි ඇතුන් ප්‍රමාණය ඊට ප්‍රමාණවත් බවය.

මේ අතර අලි ඇතුන්ගේ ශුභ සාධනය සම්බන්ධයෙන් හඬ නැගීම පෙරහැර සමයට පමණක් සීමා වී ඇති බව පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අසෝක දංගොල්ල පෙන්වාදෙයි.

"හැඟීම්වලින් විතරක් මේ දිහා බලන්න හොඳ නැහැ. කොහොම වුණත් දැන හෝ නොදැන අලි ඇතුන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන එක හොඳ තත්ත්වයක්. මේ ඇති වෙලා තිබෙන උනන්දුවත් එක්ක ඒක ටිකිරිගෙන් නවත්තන්නේ නැතුව දීර්ඝ කාලීන සැලසුමකට යා යුතුයි."මහාචාර්ය අසෝක දංගොල්ල පවසයි.

"අලින්ට විශ්‍රාම වයසක්"

Image caption ටිකිරි - ප්‍රතිකාර දීමෙන් පසු

දැනට හැත්තෑ වන වියේ පසු වෙතැයි විශ්වාස කෙරෙන 'ටිකිරි' පුරා වසර පනස් පහක් ශ්‍රී දළදා පෙරහැරට සහභාගී වී ඇතැයි පැවසේ. එසේ නම් 'ටිකිරි' විසින් සිදුකර ඇති "සේවයට" උපහාරයක් වශයෙන් හෝ ඇයට විශ්‍රාම ලබා දිය යුතු නොවේදැයි බීබීසී සිංහල සේවය මහාචාර්ය දංගොල්ලගෙන් විමසීමක් කළේය.

හීලෑ අලියෙකු විශ්‍රාම යා යුතු නිශ්චිත වයසක් නීති ගත කළ යුතු බව තමන් ද යෝජනා කර ඇති බව මහාචාර්යවරයා පැවසීය.

"මේ දේවල් යළි නොවෙන්න කටයුතු කළ යුතුයි. පාඩමක් ඉගෙන ගත යුතුයි. මගේ යෝජනාව නම් අවුරුදු හැටෙන් අලියෙක් විශ්‍රාම යා යුතුයි"

එසේ විශ්‍රාම යන අලි ඇතුන්ගේ ශුභ සාධනය වෙනුවෙන් ආණ්ඩුවේ මැදිහත් වීමෙන් දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් සැකසිය යුතු බවත් ඔහු කියා සිටියේය.

"විශේෂයෙන්ම අවුරුදු පනස් පහට විතර පස්සේ අලින්ට ආයෙත් දත් එන්නේ නැහැ. අන්තිම දත් ටික පරිස්සම් කර ගැනීම ලොකු අභියෝගයක්. බඩවැල් ආශ්‍රිත රෝගවලට වැඩියෙන් ගොදුරු වෙන්නේ දත් අනුවයි "

"හීලෑ අලින්ට ආහාර හපන්න බැරි වෙනකොට කොල ජාති කොටල දෙනවා. හැබැයි ඒක වයස පනහ, හැට වුණාම පටන් අරන් හරියන්නේ නැහැ. මොකද අපි දන්නවා - අලි කොල කකුල්වලින් පාගලා - හොඬයෙන් අරන් ගසලා කන්නේ. ඒ නිසා කුඩා කාලයේ සිට ආහාර කොටල කවන එක අලියට හුරු කළ යුතුයි. නැතුව පනහ හැට වෙලා කොටල කවන්න හැදුවට, එහෙම කන්නේ නැහැ. ඒක නිසා මේක දීර්ඝ කාලීන සැලසුමක් එක්ක යා යුතු ගමනක්."මහාචාර්ය දංගොල්ල පෙන්වා දෙයි.

කෙසේ වුවත් අලි ඇතුන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට මෙතෙක් ශ්‍රී ලංකාව අසමත් වී ඇති බවත් පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අසෝක දංගොල්ල වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර