පළාත් සභා මැතිවරණය: මෛත්‍රිපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි

Image copyright Getty Images

මේ දිනවල ශ්‍රී ලාංකික සමාජය තුළ එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් නිර්මාණය වී තිබේ.

පසුගිය අගෝස්තු 11 වෙනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපති අපේක්ෂකයා නම් කළේය. ජනතා විමුක්ති පෙරමුණ සිය අපේක්ෂකයා අගෝස්තු 18 වෙනිදා හෙළිකරන බව කියයි.

ඊට අමතරව, එක්සත් ජාතික පක්ෂය තුළ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක අදහස් පළ වෙමින් තිබේ. මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගන්නා ස්ථාවරය කුමක් ද යන්න සැප්තැම්බර් 03 වන දා හෙළි කරන බව පැවසීය.

ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන් ම සමාජය ජනාධිපතිවරණයක් දෙස අවධානය යොමු කරමින් සිටියදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඇත්තේ වෙනත් අදහසක් ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර අගෝස්තු 12 වෙනිදා බීබීසී සිංහල සේවයට පැවසුවේ, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය දැනට ප්‍රකාශ කළ නොහැකි අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡා කිරීමෙන් පසු තීරණයකට එළඹෙන බවය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර බ්‍රහස්පතින්දා (අගෝස්තු 15) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, සැප්තැම්බර් 03 වෙනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර උළෙලේදී සිය පක්ෂයේ ස්ථාවරය හෙළි කරන බවය.

පළාත් සභා මැතිවරණය

Image copyright Getty Images

සීමා නිර්ණ වාර්තාව මෙතෙක් ඉදිරිපත් වී නොමැති වාතාවරණයක් තුළ පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය අගෝස්තු 30 වෙනිදාට පෙර දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගවිනිසුරුවරයාට දැනුම් දී ඇත්තේ, මෙවැනි දේශපාලන වටපිටාවකය.

ඒ අනුව, අගෝස්තු 23 වන දා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එය සලකා බැලීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති ප්‍රධාන ප්‍රශ්න වන්නේ,

  • (අ) 2017 අංක 17 පනත මගින් සංශෝධිත, 1988 අංක 2 දරණ පළාත් සභා මැතිවරණ පනතේ 13 සහ 14 වගන්ති ප්‍රකාරව සමාලෝචන කමිටුව මා හට ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කර නොමැති බැවින්, ජනාධිපතිවරයා වශයෙන් මා හට, සීමා නීර්ණ කමිටුව විසින් පළාත් සභා අමාත්‍යවරයාට ඉදිරිපත් කළ වාර්තාවට අනුකූලව නව මැතිවරණ කොට්ඨාශ, එහි සීමා සහ නම් ප්‍රකාශයට පත් කළ හැකි ද? බව.
  • (ආ) ඉහත සඳහන් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පළාත් සභා මැතිවරණය 2017 අංක 17 පනත මගින් සංශෝධිත, 1988 අංක 2 දරණ පළාත් සභා මැතිවරණ පනතට ප්‍රකාරව පැවැත්විය හැකි ද? යන්න.
  • එය ප්‍රකාශයට පත් කිරීමට බලයක් නොමැති නම් වත්මන් පනත අනුව පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වුවහොත් 2017 සංශෝධිත පනතට පෙර පැවති නීතිය අනුව පළාත් සභා මැතිවරණයක් පැවැත්විය හැකි ද? යන්නය.

පළාත් සභා 8ක් ආණ්ඩුකාරවරුන් යටතේ

ශ්‍රී ලංකාවේ පළාත් සභා 9න් 8ක් සඳහාම මේ වන විට මන්ත්‍රීව නියෝජනයක් නොමැත. ඒවා පාලනය වන්නේ ආණ්ඩුකාරවරුන් යටතේය. ඌව පළාත් සභාවට ද ලබන ඔක්තෝබර් මාසයේදී වසර 5ක කාලය සම්පූර්ණ වනු ඇත. ඒ අනුව, ඌව පළාත් සභාවේ නිල කාලය අවසන්වීමට ඇත්තේ තවත් මාස 2ක් පමණි.

නිල කාලය අවසන්වී ඇති පළාත් සභා 8:

  1. සබරගමුව පළාත් සභාව - නිල කාලය අවසන්වී වසර 1යි මාස 10යි.
  2. උතුරු මැද පළාත් සභාව - නිල කාලය අවසන්වී වසර 1යි මාස 10යි.
  3. නැගෙනහිර පළාත් සභාව - නිල කාලය අවසන්වී වසර 1යි මාස 10යි.
  4. මධ්‍යම පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 10යි.
  5. උතුරු පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 10යි.
  6. වයඹ පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 10යි.
  7. බස්නාහිර පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 4යි.
  8. දකුණු පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 4යි.

පළාත් සභාවක නිල කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (ඉ) ව්‍යවස්ථාව අනුව සඳහන් වන්නේ පහත පරිදිය.

'පළාත් සභාවක් කලින් විසුරුවා හරිනු ලැබුවහොත් මිස, එම පළාත් සභාවේ පළමු රැස්වීම සඳහා නියම කරන ලද දින සිට අවුරුදු පහක කාලයක් එම සභාව පවත්නේය. එකී පස් අවුරුදු කාලය ඉකුත්ව ගිය විට ම එම පළාත් සභාව විසිර ගියාක් සේ සැලකෙන්නේය.'

සීමා නීර්ණ අර්බුදය

මිශ්‍ර, සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහය ඇතිව පනතක් සම්මත කරගත්තේ 2017 වසරේ ඔක්තෝබර් මාසයේදීය.

එම පනත සම්මත වීමෙන් අනතුරුව මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම සඳහා 5 දෙනකුගෙන් සමන්විත කොමිසමක් පවා පත් කළ අතර එහි සාමාජිකයන් විසින් 2018 පෙබරවාරි මාස සිය වාර්තාව ලබාදී තිබුණි.

එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2/3 ක විශේෂ බහුතරයෙන් සම්මත කළ යුතු වූ අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුවූයේ 2018 අගෝස්තු මාසයේදීය.

Image caption වාර්තාව ඉදිරිපත් කළ, එවකට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ සහය පවා ඊට නොලැබිණි.

කෙසේ නමුත් එම වාර්තාව පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් විය. එය ඉදිරිපත් කළ, එවකට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ සහය පවා ඊට නොලැබිණි. ඔහු එම තීරණයට එළැඹියේ සීමානිර්ණ වාර්තාවේ අඩුපාඩු ඇති බව පවසමිනි.

එම වාර්තාවට සහය පළ කරමින් එකදු මන්ත්‍රීවරයකු හෝ ඡන්දය භාවිත නොකළ අතර ඊට විරුද්ධව මන්ත්‍රීවරු 139 දෙනෙක් ඡන්දය භාවිත කර තිබිණි.

ජනාධිපතිවරණය කවදා ද?

මැතිවරණ කොමිසමට අනුව ජනාධිපතිවරයාට 2019 ජනවාරි 8 වන දා සිට ඕනෑ ම මොහොතක ජනාධිපතිවරණය කැඳවිය හැකිය. ජනාධිපතිවරයා තම ධුර කාලය සම්පූර්ණ කිරීමට තීරණය කළහොත් ජනාධිපතිවරණය නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතය.

2020 ජනවාර 08 වන දින ජනාධිපතිවරයාගේ නිල කාලය ඉකුත් වන හෙයින් නිසැක වශයෙන් ම මේ වසර අග භාගයේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදුව තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපතිගේ ප්‍රකාශය

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමකදී ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නිකුත් කිරීමෙන් පසු ඕනෑ ම මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් බවය.

"මෙතනදී අපට කරන්න දෙයක් නැහැ. අපිට ලැබෙන නියෝගයක් අනුව ඕනෑ ම මැතිවරණයක් පවත්වන්න අපි සූදානමින් ඉන්නේ."

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ වී තිබිණි.

තවදුරටත් කියවන්න.