ජනාධිපතිවරණය: "ඡන්ද කඩා 50% නැති කරන" ජවිපෙ අපේක්ෂකයා

Image copyright Getty Images
Image caption "එක්සත් ජාතික පක්ෂය දින්නත්, පොදුජන පෙරමුණ දින්නත් රටේ වෙනසක් වෙනවද? කිසිම වෙනසක් වෙන්නේ නැහැ, ඒදෙගොල්ලන්ම එකයි"

ජනාධිපතිවරණයකට තම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සැරසෙන්නේ වසර 20කට පසුවය.

ඒ අනුව 2019 ජනාධිපතිවරණය සඳහා 'ජාතික ජන බලවේගය' නමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ අපේක්ෂකයකු ඉදිරිපත්වීමට නියමිතය.

ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ ඉරිදා (අගෝස්තු 18) කොළඹ ගාළුමුවදොර පිටියේ පැවැත්වීමට නියමිත ජන රැළියේදී තම අපේක්ෂකයා රටට හඳුන්වා දෙන බවය.

අවසන් වරට ජනාධිපතිවරණයකට ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයකු ඉදිරිපත්වුයේ 1999 වසරේදීය. ඒ සඳහා තරග කළ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක නන්දන ගුණතිලක එහි 3 වෙනි ස්ථානයට පත්විය. ඉන් අනතුරුව 2005 වසරේ පැවති ජනාධිපතිවරණයේ එවක අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සහය දුන්නේ ඔහු සමග ගිවිසුමකට එළඹෙමින්ය. ඉන් අනතුරව 2010 වසරේ පැවති ජනාධිපතිවරණයේදී එවක විපක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට සහාය ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළේය.

2015 ජනාධිපතිවරණයේදී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයකු ඉදිරිපත් නොකළේ විපක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට එහි වාසිය හිමි කර දෙමින්ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරාජයට තීරණාත්මක සාධකයක් වූ ජනතා විමුක්ති පෙරමුණ ඔහුට එරෙහිව ගෙන ගිය "දූෂණ විරෝධී" ප්‍රචාරක ව්‍යාපාරය කැපී පෙනුණි.

Image copyright Getty Images
Image caption මහින්ද රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් 2005දී

2010 හා 2015 ජනාධිපතිවරණවල රාජපක්ෂ කඳවුරට එරෙහිව තම දේශපාලනය සිදුකළ ජනතා විමුක්ති පෙරමුණ 2019 ජනාධිපතිවරණයේද රාජපක්ෂ පවුලේ අපේක්ෂකයා පරාජය කිරීමට තම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනු ඇතැයි පවසමින් දේශපාලන විචාරකයන් අදහස් පළකර තිබිණි. විශේෂයෙන්ම 2018 ඔක්තෝබර් මාසයේ ඇතිවූ දේශපාලන අර්බුදය අතරතුර ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂ කඳවුරට එරෙහිව දැඩි ලෙස පෙනී සිටීම ඊට හේතු ලෙස ඔවුන් දක්වා තිබුණි.

දැන් ජනතා විමුක්ති පෙරමුණ සුදානම් වන්නේ රාජපක්ෂ කඳවුර සහ එක්සත් ජාතික පක්ෂ කඳවුරු යන දෙකම පරාජය කිරීම සඳහාය. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණට සහය දෙන සිවිල් සංවිධාන එකතුවකින් 'ජාතික ජන බලවේගය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ඔවුන් පිහිටුවා ගෙන තිබේ.

"දේශපාලනය පාදඩකරණයට ලක් කළ රාජපක්ෂ කඳවුරත් එය පරාජය කිරීම වෙනුවට එයට නොදෙවෙනි ගමනක් ගිය එක්සත් ජාතික පක්ෂ කඳවුරත්" පරාජය කළ හැකි එකම විකල්පය 'ජාතික ජන බලවේගය' බව ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ පවසති.

"රටේ ඉතාමත් තීරණාත්කම වටපිටාවන් නිර්මාණ වෙච්ච අවස්ථාවන්වලදී තමයි 2005 සහ 2015 ජනාධිපතිවරණ තිබ්බේ. එක වෙලාවක රට බෙදන සීමාවකට ගිහිල්ලා තිබ්බා, අනිත් අවස්ථාවේදී රට විශාල ඒකාධිපතිභාවයකට නතුවෙලා තිබ්බා. ඒ වෙලාවේ රට විශාල අනතුරින් ගලවගන්න තමයි අපි කටයුතු කළේ. දැන් තියෙන වාතාවරණය අනුව ඒ කණ්ඩායම්වලට සහය දැක්වීමේ අවශ්‍යතාවයක් නැහැ. අළුත් කණ්ඩායම් එකතුකරගෙන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකයෙක් අපි ඉදිරිපත් කරනවා" ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

Image copyright Getty Images
Image caption 2010 ජනාධිපතිවරණයේදී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සමග ජවිපෙ නායකයන්

ජනතා විමුක්ති පෙරමුණට වෙන්වූ ස්ථාවර ඡන්ද පදනම මෙන්ම මෙරට පාවෙන ජන්ද ලෙස හැඳින්වෙන ලක්ෂ 40ක පමණ ඡන්දදායකයන් ආමන්ත්‍රණය කිරීම සිය බලවේගයේ අරමුණ බව ඔහු කියා සිටී.

"අපේ රටේ එක්සත් ජාතික පක්ෂයට හා පොදුජන පෙරමුණ බලවේගවලට නැති ජන්ද දායකයෝ ලක්ෂ 40ක් ඉන්නවා. මොකද ඔය ප්‍රධාන පක්ෂවල ජන්ද පදනම ලක්ෂ 30ක් සහ 35ක් අතර තමයි දැන් තිබෙන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පාවෙන ඡන්ද දායකයෝ තමයි ආණ්ඩු හදලා තියෙන්නේ. මේ මොහොතේ අදුෂිත දේශපාලනයත් රටට ආදරේ කරන උගතත්, විදවතත් එකතුවන මධ්‍යස්ථානය කුමක්ද ?, ඔවුන්ට පක්ෂයක් නැහැ . ඒ බලවේගයේ සහයෙන් තමයි අපි අපේ අපේක්ෂකයා ජයග්‍රහණය කරන්න යන්නේ"

"එක්සත් ජාතික පක්ෂය දින්නත්, පොදුජන පෙරමුණ දින්නත් රටේ වෙනසක් වෙනවද? කිසිම වෙනසක් වෙන්නේ නැහැ, ඒදෙගොල්ලන්ම එකයි. තරගය තියෙන්නේ ඒ එක බලවේගයයි අපේ බලවේගය අතරයි" බිමල් රත්නායක මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ මෙවර ජනාධිපති සටන තුන්කොන් සටනක් බවට පත් කිරීම ගැන ප්‍රධාන පක්ෂ දෙක දකින්නේ ඡන්ද කැඩීමේ ව්‍යාපෘතියක් ලෙසය. ආණ්ඩු විරෝධී ඡන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැටීම වළක්වා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට සහය දීම ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද සටනට පිවිසීමට හේතුවී ඇති බව පොදුජන පෙරමුණ පවසද්දී ආණ්ඩු කරන එක්සත් ජාතික පක්ෂ පාර්ශවය පවසන්නේ තම ඡන්ද කඩා ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජපක්ෂ කඳවුර ශක්තිමක් කිරීමේ වැරදි තීරණයක් ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඇති බවය.

Image copyright Getty Images
Image caption 2015 පාර්ලිමේන්තු මැතිවරණය

තම පක්ෂය ඡන්ද කැඩීමේ ව්‍යාපෘතියක නියැලෙන බවට ප්‍රධාන පක්ෂ නගන චෝදනාව බිමල් රත්නායක මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කළත් එම පක්ෂයේම දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පුවත්පතකට සම්මුක සාකච්ඡාවක් දෙමින් කියා සිටියේ එවැනි දෙයක් චෝදනාවක් ලෙස නොව ගෞරවයක් ලෙස තමන් භාර ගන්නා බවය.

"ඔව්, අපි ඡන්ද කඩනවා. දැන් ඡන්ද කඩන එක තමයි කරන්න ඕනෑ. ඒක තමයි වැඬේ. ජනතාව කරන්න ඕනෑ සාම්ප්‍රදායිකව මහින්ද රාජපක්ෂලාත්, යූඇන්පීයත් ගේන අපේක්ෂකයන්ව ප්‍රතික්ෂේප කරලා තුන්වැනි කෙනෙක්ට ඡන්දය දෙන එකයි. ඒ තුළම තමයි බහුවිධතාවයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් හදාගන්නට පාර කපාගන්න පුළුවන්. ඒ නිසා ඒක අපි චෝදනාවක් විදියට බාරගන්නේ නැහැ" ඔහු 'අනිද්දා' පුවත්පතට පවසා තිබිණි.

"අපි එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයාටත්, මහින්ද රාජපක්ෂලා ඉදිරිපත් කරන අපේක්ෂකයාටත් එරෙහිව මෙවර ජනාධිපතිවරණය තුන්කොන් සටනක් බවට අනිවාර්යයෙන්ම පත් කරනවා. එතකොට දෙවැනි මනාපය ගණින්න වෙනවා. දෙවැනි මනාපය ගැනලා ඉවරවෙලා පත්වෙන ජනාධිපතිට ලෝකය තුළ, අපේ රට තුළ ඇතිකරනු ලබන දේශපාලන පිළිගැනීම යම් මට්ටමකින් අඩු වෙනවා. අනෙක 19 වැනි සංශෝධනය තුළ ජනාධිපතිවරයාගේ බලතල සීමා කරලා තියෙන තත්ත්වයත් ගත්තාම ජනාධිතිවරයා කියන කෙනා අදාළ නැති කෙනෙක් බවට පත්වෙනවා. එසේ පත්කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ වගකීමක්. මෙවර වැඩිපුරම ඡන්ද ගන්න අපේක්ෂකයාට 50% කට වැඩි ඡන්ද නැති කරන්න ඕනෑ" ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

Image copyright JVP
Image caption ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ ඉරිදා (අගෝස්තු 18) කොළඹ ගාළුමුවදොර පිටියේ පැවැත්වීමට නියමිත ජන රැළියේදී තම අපේක්ෂකයා රටට හඳුන්වා දෙන බවය

ජනාධිපතිවරණය තුන්කොන් සටනක් බවට පත්වී ජනාධිපතිවරණයේ පළමු වටයේ මනාප ගණන් කිරීමේදී එක් අපේක්ෂකයකු ප්‍රකාශිත ඡන්දවලින් 50% කට වඩා ඡන්ද ලබනොගත හොත් ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ මනාප ගණන් කිරීමට සිදුවේ.

ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඡන්දදායකයින්ට ස්වකීය කැමැත්තේ ප්‍රමාණය හෙවත් මනාපයේ ප්‍රමාණය අනුව අපේක්ෂකයන්ට 1, 2, 3 අංක යොදා මනාප භාවිතා කරමින් ඡන්දය දිය හැකිය. කැමැත්ත එක් අපේක්ෂකයකුට පමණක් නම් අවශ්‍ය 1 පමණක් ද යෙදිය හැකි ය. නැතහොත් සුපුරුදු කතිරය (x) යෙදිය හැක. දෙවැනි මනාපය ගණන් කිරීමේදී සිදුවන්නේ එලෙස දෙක ලෙස සටහන් කර ඇති මනාප ගණන් කිරීමයි. ඒ අනුව වැඩිම මනාප ලබාගත් පුද්ගලයා ජනාධිපතිවරයා ලෙස පත්වේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් පත්වූ ජනාධිපතිවරුන් සියල්ලම පළමු මනාපයෙන්ම 50% කට වැඩි ඡන්ද ලබා ගෙන ජයග්‍රහණය කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ බලවේගය මෙන්ම තවත් විකල්ප බලවේග මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවට ප්‍රකාශ කිරීමත් සමග මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන්ට පළමු වටයෙන්ම 50%ක ඡන්ද ලබාගත හැකිද යන ගැටලුව මතුව තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ අවසන් වරට ජාතික මැතිවරණයකට තනිව තරග කළේ 2015 වසරේ අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයටය. එහිදී ඔවුන්ට දිනාගත හැකිවුයේ සමස්ත දිවයිනෙන්ම ඡන්ද 543,944 ක් පමණි. ප්‍රතිශතයක් ලෙස එය දැක්වෙන්නේ සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 4.87%ක් ලෙසය. මෙවර ජනාධිපතිවරණයේ ඔවුන් ලාබගන්නා ඡන්ද ප්‍රමාණය ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි දේශපාලන ගමනට තීරණාත්මක ලෙස බලපානු ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර