ජනපති අපේක්ෂකයා ගැන එජාපෙය එකඟතාවකට පැමිණියා - අකිල විරාජ්

Image copyright Sajith Premadasa

එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ නායකයින් එකඟතාවයකට පැමිණ තිබේ.

එම එකඟතාවයට පැමිණියේ ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර සෙනසුරාදා (අගෝස්තු 17) පැවති සාකච්ඡාවකදී බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එසේ එක්සත් ජාතික පක්ෂයෙන් නම් කෙරෙන ජනාධිපති ධූර අපේක්ෂකයා, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අනෙකුත් පක්ෂ විසින් අනුමත කළ යුතු බවට එකඟතාවයකට පැමිණි බවය.

එසේම ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට නියමිත සන්ධානයේ ලේකම් තනතුර ද එක්සත් ජාතික පක්ෂයට හිමිවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

අමාත්‍ය රාජිත සේනාරත්නගේ නිල නිවසේ පැවති එම සාකච්ඡාව සාර්ථක වූ බව ද ඇමතිවරයා පැවසීය.

මේ අතර අමාත්‍ය රවී කරුණානායක ද පැවසුවේ සෙනසුරාදා පැවති සාකච්ඡාව සාර්ථක වූ බවය.

එළඹුණු සහ එළඹීමට යෝජිත එකඟතා පිළිබඳ ඉදිරියේදී හෙළි කරන බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අමාත්‍ය මනෝ ගනේෂන් පවසන්නේ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වන රාජිත සේනාරත්න, චම්පික රණවක, රවුෆ් හකීම්, අර්ජුන රණතුංග ද එම සාකච්ඡාවට සහභාගී වූ බවය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අකිල විරාජ් කාරියවසම්, මංගල සමරවීර, රවී කරුණානායක සහ කබීර් හෂීම් ඊට එක්වී තිබේ.

අමාත්‍ය මනෝ ගනේෂන් තවදුරටත් පවසන්නේ එක්සත් ජාතික පෙරමුණෙහි ව්‍යවස්ථාව පිළිබඳව අවසන් තීරණයකට එළඹී බවය.

Image copyright FB
Image caption මනෝ ගනේෂන්ගේ ෆේස්බුක් සටහන

මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා පිළිබඳව අපැහැදිලි පසුබිමක් ඇති අවස්ථාවකදීය.

එක්සත් ජාතික පෙරමුණ පසුගිය අගෝස්තු 5 වෙනිදා කොළඹදී ජනතා රැළියක් පැවැත්වීමට නියමිතව තිබුන ද මත ගැටුම් නිසා එය අවලංගු කළ බව වාර්තා විය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සිකුරාදා (අගෝස්තු 16) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තමා අනිවාර්යෙන්ම එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පවසා තිබිණි.

කථානායක කරු ජයසුරිය ද තමාට පක්ෂයෙන් ආරාධනා කළහොත් ජනාධිපතිවරණයට සහභාගී වීමට සූදානම් බව බීබීසී සිංහල සේවය සමග ෆේස්බුක් සාකච්ඡාකට එක්වෙමින් මීට පෙර පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර