ජනාධිපතිවරණය 2019: ආඥාදායකයකුට "සොඳුරු" විය හැකිද?

Getty Images Image copyright Getty Images

"පාලකයා පුද්ගල ස්වාධිපත්‍යයට (Personal autonomy), එනම් මහජනයාගේ ස්වාධීනත්වයට මූලිකත්වය සහ අවශ්‍ය පසුබිම සෑදිය යුතුයි. අධිකරණයේ ස්වාධීනත්වය ඇති කළ යුතුයි. ඒකයි ජනතාව පාලකයෝ පත් කර ගන්නේ. ඒ කර්තව්‍යය සඳහා ආඥාදායකයෝ අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ නීතියට ගරු කරන සහ රාජ්‍ය ප්‍රතිපත්ති ගැන පුළුල් දැනීමක් තිබෙන පාලකයෙක්."

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ කතිකාචාර්ය, ආචාර්ය අතුලසිරි සමරකෝන් එසේ පැවසුවේ ඉදිරි මැතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයා කුමන ආකාරයේ කෙනෙක් විය යුතු ද යන්න බීබීසී සිංහල සේවය ඔහුගෙන් විමසු විටය.

ශක්තිමත් පාලන ව්‍යුහයක් නිර්මාණය කිරීමට සහ රට තුළ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා "සොඳුරු" නොඑසේ නම් "යහපත් ආඥාදායකයෙකු" (Benevolent Dictator) අවශ්‍ය බව සමහරු කියති.

"Benevolent Dictator" යනු ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට එනම් මහජන ඡන්දයෙන් තේරී පත් වන පොදු යහපත සහ සාමාන්‍ය වැසියාට වැදගත් වන තීරණ ගැනීමට නොපසුබට වන නායකයෙකි, යන්න කියැවේ.

ඉදිරි ජනාධිපතිවරණයෙන් පත්වන පුද්ගලයාට වර්තමාන සමාජය වෙලාගෙන ඇති දූෂණ, වංචාවලට එරෙහිව කටයුතු කරන රටේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට හැකි විය යුතුය යන්න සමාජයේ ඇති මතයකි.

ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපතිවරයා තෝරා ගනු ලබන ජනාධිපතිවරණය ඉදිරි මාස කිහිපය තුළ පැවැත්වීමට නියමිතය.

එහිදී පත්වන ජනාධිපතිවරයා කුමන ආකාරයේ කෙනෙකු විය යුතු ද යන්න පිළිබඳ කතිකාවක් සමාජය තුළ මේ දිනවල ගොඩ නැගෙමින් පවතී.

මේ මොහොත (අගෝස්තු 20) වන විට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබල බලවේගය තම ජනාධිපති ධූර අපේක්ෂකයන් නම් කර අවසානය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම් කර ඇති අතර ඉරිදා (අගෝස්තු 18) 'ජාතික ජනබල බලවේගය' තම ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක නම් කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් සිය පාර්ශ්ව මගින් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයන් ගැන පැහැදිලි තීරණ ගෙන නොමැති බව පෙනේ.

Image copyright Getty Images
Image caption ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ

සමාජ මතය:

2015 ජනවාරි 08 වන දා බලයට පැමිණි වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බලයට පැමිණියේ "මහින්ද රාජපක්ෂ රජයට එරෙහිව ඇති වංචා දූෂණ චෝදනා ගැන පරීක්ෂණ පවත්වා අදාළ වැරදිකරුවන්ට දඬුවම් දෙනවා" යන පොරොන්දුව දෙමිනි.

"එය හරියට වුණේ නෑ. එම නිසා මිනිස්සු හිතාගෙන ඉන්නේ වර්තමාන රජය ඔවුන් රැවැට්ටුවා කියලා. ඒක නිසා තමයි සමාජශෝධනය යන කරුණ ගැන ජනතාව විවිධාකාර විකල්ප ගැන කතා කරන්නේ," එසේ අදහස් දැක්වූයේ නම හෙළිදරව් කිරීමට අකමැති වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි.

"ඉතිං මිනිස්සු දැඩි තීරණ ගන්න පුළුවන් නායකයෝ ගැන හිතනවා. ඒක ලෝකේ වෙනත් රටවලත් සිදුවෙලා තිබෙනවා."

"කෙසේවුවත්, අපේ රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට නායකයන් අසමත් වෙලා තියෙනවා. ඒ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන සාමාන්‍ය ජනතාව තුළ තිබෙන විශ්වාසය බිඳිලා යයි. එතකොට ඔවුන් ආඥාදායක පාලකයෙකු කියන 'විකල්පය' දෙස බැලීම වැළැක්විය නොහැකියි."

මෙවැනි සමාජ මතයක් නිර්මාණය වී ඇත්තේ බලයේ සිටින පාලකයන් වංචාව, සොරකම, දූෂණය වැළැක්වීමට, ආරක්ෂාව සහ නීතියේ ස්වාධීනත්වය බල ගැන්වීමට "අපොහොසත්" වූ නිසා බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ කතිකාචාර්ය, ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසයි.

එසේ ම පසුගිය පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් අනතුරුව රටේ ආරක්ෂාව පිළිබඳව ඇති වූ නොපැහැදිලි තත්ත්වය නිසා ද 'කෙලින් තීරණ ගන්නා' ජනාධිපතිවරයෙකු අවශ්‍ය බවට ඇති මතය තවත් තීව්‍ර වී තිබේ.

"අපි ලොව පුරා උදාහරණ අරන් බැලුවොත් සිංගප්පුරුවේ ලී ක්වාන් යූ, මලයාසියාවේ ආචාර්ය මහතීර් බින් මොහොමඩ් ගැන කතා කරන්න පුළුවන්. හැබැයි ඒ රටවල නීතියේ ආධිපත්‍යය, සමාජ සාධාරණය සහ සාමාන්‍ය ජනතාවගේ අභිමානය වර්ධනය වුණා. ඒ, එම නායකයෝ බලයට කෑදර නොවුණු නිසා. ඔවුන්ට වැදගත් වුණේ තමන්ගේ රටවල් දියුණු කර ජනතාවට හොඳ සමාජයක් නිර්මාණය කිරීම. ඒ හේතුව නිසා ඔවුන් සාර්ථක වුණා," ආචාර්ය සමරකෝන් පැවසීය.

"අපේ රටේ විධායක ජනාධිපතිවරුන් ලෙස කටයුතු කළ ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ මහජන ඡන්දයෙන් තේරී පත් වුව ද බලය ක්‍රියාත්මක කළේ ආඥාදායකයන් ලෙස. ඒක සත්‍යයක්. නමුත් ඔවුන් ට දේශපාලන බල ව්‍යාප්තිය ගැන තිබු ආකල්ප නිසා මහජනයා බලාපොරොත්තු වන සොරකම, දූෂණය නැති කිරීම සහ නීතියේ ආධිපත්‍ය ස්ථාපනය කිරීමට ඔවුන් අපොහොසත් වුණා."

එබැවින් කුමන ආකාරයක හෝ ආඥාදායක ස්වරූපයක් නුසුදුසු බව ආචාර්ය සමරකෝන් පෙන්වා දුන්නේය.

Image caption ජාතික ජනබල බලවේගය ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක නම් කළේය.

ඇමෙරිකාවේ පිහිටි රාජ්‍යතාන්ත්‍රිකත්වය, ආරක්ෂාව, සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාප්ත කිරීමේ ප්‍රතිපත්ති ගැන ක්‍රියාත්මක වන ටෲමන් ජාතික ආරක්ෂක ව්‍යාපෘතියේ (Truman National Security Project) ආරම්භක ප්‍රධාන විධායක නිලධාරිනි රැෂෙල් ක්ලයින්ෆීඩ් යහපත් ආඥාදායකයා පිළිබඳව ඇය විසින් සැන් ෆ්‍රැන්සිස්කෝ ක්‍රොනිකල්ස් පුවත්පතට සපයන ලද ලිපියක මෙසේ දක්වා ඇත.

"සමහර අවස්ථාවල ආඥාදායකයන් ආරම්භයේදී ජනතා හිතකාමියි. ඒ ආකාරයට ජනතාවගේ කැමැත්ත දිනා ගන්නවා. නමුත් කල්යත් ම ඔවුන්ට ජනතාව අමතක වෙනවා. බලය තමයි වැදගත් වන්නේ."

රැෂෙල් පවසන්නේ ඝානාවේ හිටපු ජනාධිපති ක්වාමේ කෘමාස්, කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ සහ සිම්බාබ්වේ බලයෙන් පහ කළ ජනාධිපති රොබට් මුගාබේ ඊට උදාහරණ ලෙස දැක්විය හැකි බවය.

"මේ නායකයෝ බලයට ආවේ ජනප්‍රියත්වය සමග. ඔවුන් තමන්ගේ රටවල් දියුණු කළා. නමුත් පසුකාලීනව, රාජ්‍ය දූෂණය සහ ප්‍රචණ්ඩත්වයෙන් ජනතාවගේ බලාපොරොත්තු බිඳ දැම්මා. සමහරු මමත්වය ගැන ප්‍රමුඛත්වය දුන්නා."

ශ්‍රී ලංකාවේ තත්ත්වය:

19 වන ව්‍යවස්ථා සංශෝධනයත් සමග ශ්‍රී ලංකාවේ පාලන ව්‍යුහය තුළ සුවිශේෂී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

"19 ව්‍යවස්ථා සංශෝධනය නිසා ශ්‍රී ලංකාවේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර යම් බල තුලනයක් නිර්මාණය වෙලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදීව බලන විට එය මහජනතාවට වාසිදායකයි. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ කුමන හෝ ආඥාදායකයෙක් බිහි වීමේ අවදානම අඩුයි," කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය, ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසයි.

"දැන් බලන්නකෝ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි අගමැති රනිල් වික්‍රමසිංහයි පක්ෂ දෙකක. නමුත් පවතින බල තුලනය නිසා එකිනෙකාට තමන්ට වාසිදායක කිසි දෙයක් කරන්න බැහැ."

නමුත් ඉදිරියේදී බලයට පැමිණෙන ආණ්ඩුවක් පාර්ලිමේන්තුව හරහා 19 ව්‍යවස්ථා සංශෝධනය නිශේධ කළහොත් නැවතත් තනි පුද්ගලයෙකු අතට විධායකය සහ ව්‍යවස්ථාදායකය යන දෙකෙහි ම බලය යෑමට ඉඩ ඇති බවත් එය ආඥාදායක ස්වරුපයේ පාලනයක් බිහි වීමට හේතු විය හැකි බවත් ඔහු පැවසීය.

ජර්මනියේ ආඥාදායකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් බලයට පැමිණියේ පාර්ලිමේන්තු බලය ලබා ගැනීමෙනි. පසුව ජර්මන් චාන්සලර්වරයා වශයෙන් ඔහු 1933 දී තේරී පත් විය. ඉන් සති කිහිපයකට පසුව එරට පාර්ලිමේන්තුව ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියෙන් අනතුරුව හිට්ලර් ජර්මනියේ සම්පූර්ණ බලය ඩැහැ ගත්තේය.

Image copyright Getty Images
Image caption ප්ලේටෝ

"එබැවින් කොමියුනිස්ට්, වාමාංශික, නව ලිබරල් හෝ ජාතිකවාදී ආඥාදායකයෙකු රට තුළ නිර්මාණය වීම "පුද්ගල ස්වාධිපත්‍යය"ට අහිතකරයි. "පුද්ගල ස්වාධිපත්‍යය" සඳහා ප්‍රජාතන්ත්‍රවාදය වැදගත්," ආචාර්ය අතුලසිරි සමරකෝන් පැවසීය.

අතීත දාර්ශනිකයෙකු වන ප්ලේටෝ දාර්ශනික-රජ (Philosopher-king) යන සංකල්පය ඉස්මතු කළේ, "තම ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව දන්නා නායකයෙකු අවශ්‍යය" යන මතය ඉස්මතු කරමින් බව රැෂෙල් ක්ලයින්ෆීඩ් පවසන්නීය.

"එහෙත් පාරක වළවල් වැසීම, මහාමාර්ග සංවර්ධනය, වීථි ආරක්ෂාකාරී කිරීම, අපගේ දරුවන්ට ගණිතය ඉගෙන ගැනීමට ධෛර්යවත් කිරීම යන කාර්යයක් නියමාකාරයෙන් කර ගැනීම සඳහා දේශපාලනයෙන් පිළිතුරු සෙවීම නිවැරදි නොවේ" යන්න ඇයගේ මතයයි.

"දූෂණය, අසමානතා, ජනතාවට එදිනෙදා අවශ්‍ය ද්‍රව්‍ය සහ සේවාවන් ලබා දීමට ඇති නොහැකියාව යන කරුණු ප්‍රජාතන්ත්‍රවාදය සහිත දියුණු සහ නොදියුණු රටවල බහුල තත්ත්වයක්."

නමුත් ඊට පිළිතුර ආඥාදායකත්වය නොවන බව ක්ලයින්ෆීඩ් කීවාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර