ජනාධිපතිවරණය: "මගේ ඡන්දෙ මම කටුගාලා දානවා"

Image caption අතුරුදහන් වූවන් වෙනුවෙන් සාධාරණය ඉටු කර දෙන ලෙස ඉල්ලා සිටින දෙමව්පියන්

උතුරු පළාත ගැන කතා කරන විට අදත් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ යුද ගැටුම්ය. නැත්නම් යුද්ධයෙන් විනාශ වි ගිය උතුරේ ජනතාව කියා සිටින ඔවුන්ගේ දුක් දොම්නස් පිළිබඳ කතාවයි.

මහා මාර්ග ඇතුළු යටිතල පහසුකම් අතින් උතුරු පළාතේ එක්තරා භෞතික දියුණුවක් ඇති වී තිබුණත්, යුද්ධයෙන් බිඳුණු සිත්සතන් සුව කිරීම සඳහා වූ විධිමත් වැඩපිළිවලක අවශ්‍යතාව 2015 පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළත් ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුවත් අවස්ථා කීපයකදී ම පෙන්වා දී ඇත.

දකුණේ දේශපාලනඥයන් මෙන් ම දකුණේ සාමාන්‍ය ජනතාවත් යළි ජනාධිපතිවරණයක් සඳහා සූදානම් වෙමින් සිටින්නේ යුද්ධය අවසන් වී දස වසරක් පිරීමට සති කීපයක් තිබියදී පාස්කු ඉරුදින එල්ල වූ ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරයේ බිය සැක මැදය.

ජාතික ආරක්ෂාව මේවනවිටත් මෙවර ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත. සෙසු පලාත්වල ජනාධිපතිවරණ උණුසුම ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන අතරවාරයේ, උතුරේ ජනතාව එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දක්වන්නේ කෙබඳු අදහසක්ද? ඔවුන්ගේ ජනාධිපතිවරණ අභිලාෂ මොනවාද?

වවුනියාව, කනගරායන්කුලම යුද්ධයේ අතිබිහිසුණු අත්දැකීම් සහිත ප්‍රදේශ අතරින් එකකි. එල්ටීටීඊ සංවිධානය සහ ශ්‍රී ලංකා යුද හමුදාව 'කනගරායන්කුලමේ' බලය තහවුරු කර ගැනීම සඳහා අවස්ථා ගණනාවක සටන් වැදුන අතර එකල ඇතැමුන් එම ප්‍රදේශය හඳුන්වන ලද්දේ 'කොටි බලකොටුවක්' ලෙසය.

'කනගරායන්කුලම' අදත් යුද විනාශයේ නටබුන් රැසක් එහි ඉතිරි කර ඇත.

"හැමෝම අපිව රැවට්ටුවා"

Image caption "මගේ ඡන්දේ මම කටුගාලා දානවා" - නාගමුත්තු ලක්ෂ්මි

යුද්ධයෙන් තම දරුවන් දෙදෙනකු අහිමි වූ නගරායන්කුලමේ පදිංචිකාරියක් වන නාගමුත්තු ලක්ෂ්මි ජනාධිපතිවරුන් සහ ජනාධිපතිවරණ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් මෙසේ කියා සිටියාය.

"යුද්ධය ආරම්භ වුණ දවස්වල ඉඳන් මේ 'කරුම' යුද්ධයෙන් පීඩාවට පත්වුණ මට, ජිවිතේ අඬන්න කියලා කඳුළු ඉතුරු නොවෙන්නම දුක් කරදර ගෙනවා. මගේ ඇස් දෙක වාගේ බලා ගත්ත මගේ වැඩිමල් ළමයි දෙන්නම ෂෙල් වෙඩිවලට බිලි වුණා. මගේ ලොකු පුතාට වෙඩි වැදිලා ලොකු පුතා මැරිලා දවස් හතරකින් ලොකු දුවත් ෂෙල් වෙඩිල්ලක් වැදිලා මගේ උකුලෙදීම අවසන් හුස්ම හෙලුවා"

"‍මට ලොකු පුතාගේ මිනිය හරියට ආදාහන කර ගන්නවත් බැරිවුණා. කරුම යුද්ධය නිසා, වැල්ලේ හාරපු වළකට රෙදි කෑල්ලකින් ඔතලා පුතාත් එක්ක අවසන් මතක ඔක්කොම වළදාලා ආවා. එහෙව් දුක් විදපු මම අදටත් දරුවන් ගැන හිත හිතා නොකා නොබී ජිවිත් වෙනවා. මම වාගේම අම්මලා ලක්ෂ ගාණක් ඉන්න - මේ රටේ දේශපාලකයෝ දැන් නැවත වතාවක් ජනාධිපති වෙන්න පොර කනවා. උන්ට අපේ දුක ගැන ගාණක් නෑ. අපේ දරුවෝ ගැන ගාණක් නෑ. දේශපාලඥයෝ ඔක්කෝම අසරණ මිනිස්සු රවටන එක විතරයි කරන්නේ. එදත් අපි වාගේ මිනිස්සු දේශපාලකයන්ට රැවටුණා"

"හැම දේශපාලන නායකයෙක්ම කෙරුවේ මිනිස්සු රවට්ටපු එක විතරයි. අඩුම තරමේ මිය ගිය අපේ දරුවන් වෙනුවෙන්වත් කිසිම කෙනෙක් සාධාරණයක් ඉටු කෙරුවේ නෑ. එහෙම සාධාරණයක් ඉටු කරන්නේ නැතුව නැවත නැවත ජනාධිපතිවරණ තිබෙන රටක් මේක. එදාවේල කන්න නැතුව අපි විදින දුක් කරදර ඒ මිනිස්සුන්ට පේන්නේ නෑ. මම නම් මිනිස්සුන්ගේ දුක ගැන ‍තේරෙන්නේ නැති කිසිම කෙනෙකුට ජන්දයක් දෙන්නේ නෑ. මගේ ඡන්දේ මම කටුගාලා දානවා." යනුවෙන් ඇය කියා සිටියාය.

"දාහක් පොරොන්දු"

Image caption "අපිව අසරණ කරපු මිනිස්සු දැන් නැවත ජනාධිපතිවරණයක් තියන්න පොරකනවා" - චමිලා තරංගනි

යුද්ධයෙන් අනතුරුව නැවත පදිංචි කිරීම් යටතේ උතුරු පළාතේ ගම්මාන රැසක් ස්ථාපානය කරනු ලැබ ඇත. කලින් පැවති රාජපක්ෂ පාලනය යටතේ දෙමළ මෙන්ම සිංහල ජනතාවත් එම ගම්මානවල පදිංචි කරනු ලැබුණි. වවුනියාව බෝගස්වැව 'සැළලිහිණිගම' එවැනි ගම්මානයකි. යුද්ධයෙන් අවතැන් ජනතාව සහ ඉඩම් අහිමි ජනයා වෙනුවෙන් සැළලිහිණිගම ස්ථාපනය කෙරුණි.

සැළලිහිණිගම පදිංචිකාරියක් වන චමිලා තරංගණී තමන් මුහුණ දී සිටින ගැටලු සහ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙසේ පවසන්නීය.

"අපි මේ ගමේ පදිංචියට ආවේ 2012 අවුරුද්දේ. මහින්ද මහත්තයා ජනාධිපතිවෙලා ඉන්න කාලේ ගමට අවශ්‍ය සියලු පහසුකම් දෙන්නම් කියලා තමයි අපි ගම්මානවල පදිංචි කෙරෙව්වේ. ඒ වෙනකොට ගම වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටයි අයිතිවෙලා තිබුණේ. පාලනය වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ සිද්ධ වුණා. අපි පදිංචි වෙච්ච මුල් කාලයේ යුද හමුදාවේ උපකාර ඇතිව ගම්මානවල සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා. ගමේ පදිංචියට පැමිණි පවුල් 600 ක් විතර හිටියා. සියළු පවුල්වලට ගොඩ ඉඩම් අක්කරයක් හා මඩ ඉඩම් අක්කරයක් දෙනවා කියලා තමයි ආපු දවස්වල කිව්වේ. ගම්මානවලට වතුර දෙනවා- වැව් හදලා දෙනවා - කියල දාහක් පොරොන්දු දීලා අපි ගම්මානයේ පදිංචියට ගෙනවා. ඒ එක්කම 2015 ජනාධිපතිවරණය ආවා. ඒ ජනාධිපතිවරණයෙන් මහින්ද මහත්තයා පැරදුණත් එක්කම අපේ ගම්මානවල සංවර්ධන කටයුතු නතර වුණා."

"ඒත් එක්කම සීමා නීර්ණය කියලා විකාර වැඩක් කරලා එකම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යටතේ තිබුණ අපේ ගම ඇතුළු කලාපයේ ගම්මාන දැන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහකට වෙන් කරලා දාලා. හිටපු ජනාධිපතිවරුයි, ඉන්න ජනාධිපතිවරුයි කරපු කෙරිල්ලක තරම හින්දා අද අපේ ගම්මානවල ජනතාවට ඉන්න හිටින්න හරි හමන් තැනක් නෑ. වගාවක් කරගන්න ගම්මානවලට වතුර නෑ. ජිවත් වෙන්න ආදායම් මාර්ගයක් නෑ. එහෙම අපිව අසරණ කරපු මිනිස්සු දැන් නැවත ජනාධිපතිවරණයක් තියන්න පොරකනවා. අපට ආදරේට වෙන්න ඇති මේ ජනාධිපතිලා වෙන්න හැමෝම උත්සහ කරන්නේ. හිටපු අයයි, ඉන්න අයයි, වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයයි කියන හැමෝම එකම කණ්ඩායමක අය. ඒ අය මිනිස්සු ගැන හිතන්නේ නෑ. ඒ හින්දා ඔය කවුරු ජනාධිපතිවරු වුණත් අපි වාගේ මිනිසුන්ට සෙතක් වෙන්නේ නෑ." චමිලා තරංගණී වැඩිදුරටත් සඳහන් කළාය.

"මහින්දත් කිව්වා, මෛත්‍රීත් කිව්වා"

Image caption "තමන් ජනාධිපති වුණොත් යුද්ධයෙන් විනාශ වුණු උතුරු පළාත සුරපුරයක් කරනවා කියලා මහින්ද මහත්තයාත් බලයේ ඉන්නකොට කිව්වා. මෛත්‍රී මහත්තයා බලයට ඇවිල්ලා එහෙම කිව්වා." - එස් නිශානි

යුද්ධයෙන් දරුවන් අහිමි වීම සහ සැමියන් මරණයට පත් වීම හේතුවෙන් අසරණ වූ කාන්තාවන්ගේ සුභ සාධනය වෙනුවෙන් කිසිඳු රජයක් ජාතික ප්‍රතිපත්තියක් යටතේ වැඩසටහන් දියත් කර නොමැත. වවුනියාවේ පදිංචි එස්.නිශානි යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන්ගේ ජීවිත නඟා සිටුවීමට උපකාර කරන ස්වෙච්ජා සංවිධානයක් සමග වසර ගණනාවක් කටයුතු කර ඇත.

"මට උතුරේ කාන්තාවන්ගේ හැඟීම් ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ අයගේ අදහසයි - මගේ අදහසයි දෙකක් නෙවෙයි එකක් කියලා මම දන්නවා. ජනාධිපතිවරණය නෙවෙයි මොන මැතිවරණයක් ආවත් දැන් කිසිම දෙශපාලකයෙක් එපා කියන තැන තමයි මිනිස්සු ජිවත්වෙන්නේ. හැම දේශපාලනඥයාම කරන්නේ බලයට පත්වුණාට පස්සේ මිනිස්සු බිල්ලට තියාගෙන ඒ අයගේ පවුල් හා ඒ අයගේ ඥාති හිතමිතුරන් දියුණු කරන එක විතරයි. දුප්පත් තැන ඉඳලා බලයට පත්වුණ ‍දේශපාලඥයන් වගේම පොහොසත් යැයි කියන පවුල්වලින් ආපු අයත් එදා මෙදා කාලය තුළ කරපු දේ ඒක තමයි. අපි ඒ දේශපාලඥයන්ට රැවටෙන එක තමයි වෙලා තියෙන්නේ."

"හැමෝම විවිධ පොරොන්දු දුන්නා - උතුරේ ජනතාව වෙනුවෙන්. තමන් ජනාධිපති වුණොත් යුද්ධයෙන් විනාශ වුණ උතුරු පළාත සුරපුරයක් කරනවා කියලා මහින්ද මහත්තයාත් බලයේ ඉන්නකොට කිව්වා. මෛත්‍රී මහත්තයාත් බලයට ඇවිල්ලා එහෙම කිව්වා. ඒත් බලන්න යුද්ධයෙන් පීඩාවට පත් පිරිස අදටත් කොච්චර දුක් විඳිනවාද? යුද්ධයෙන් අතුරුදහන් වෙච්ච මිනිස්සු ‍හොයලා දෙන්න කියලා ඉල්ලලා වවුනියාවෙ අම්මලා මේ වෙනකොට දින 900 කට වැඩි ගාණක් පාරේ වාඩිවෙලා ඉල්ලීම් කරනවා. ඒත් කිසිම ජනාධිපතිවර‍යෙක් ඒ වෙනුවෙන් උත්තරයක් දුන්නේ නෑ. තමන් ජීවත්වුණ ඉඩම පවා අහිමිවුණ මිනිස්සු ඉඩම දිහා බලාගෙන හූල්ලන තත්ත්වයකයි ඉන්නේ. ඉඩම් තවම නිදහස් කරලා නෑ. දේශපාලන සිරකරුවන් කරලා ඉන්න පිරිස් නඩු නැතුව හිරගෙවල්වල තියාගෙන ඉන්නවා. ඒත් ඒ අයට නිදහසක් නෑ. පුනරුත්ථාපනය කරලා සමාජගත කරපු හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට කරන්න රස්සා නෑ. යුද්ධයෙන් අබාධිත පිරිස් වෙනුවෙන් බලන්න කෙනෙක් නෑ"

"යුද්දේ ඉවරවෙලා අවුරුදු දහයක් ගෙවෙනකම් උතුරේ ජනතාවගේ ප්‍රශ්න හරියට තේරුම්ගන්න කිසිම ජනාධිපතිවරයකුට හා කිසිම දේශපාලඥයකුට බැරිවුණා. ඒ හින්දා අපි තවම හරිම අසරණකමින් ජිවත්වෙනවා. මේ ප්‍රශ්නවලට විසඳුම් දෙනවා කියලා මේපාර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෝ කියනවා. ඒ ගොල්ලනුත් අර හිටපු අය වගේම තමයි. ඒ හින්දා අපට ඔය ඉදිරිපත් වෙන කිසිම කෙනෙක් ගැන බලාපොරොත්තුවක් නෑ." එස් නිශානි වැඩි දුරටත් කියා සිටියාය.

"දේශපාලනඥයෝ ගැන විශ්වාසයක් නැහැ"

Image caption "අපිට දැන් කිසිම දේශපාලඥයෙක් ගැන විශ්වාසයක් නෑ. දැන් කරන්න ඕනේ මිනිස්සු බුද්ධිමත්ව හිතලා එක එක්කෙනා පස්සෙන් යන්නේ නැතුව තම තමන්ගේ දියුණුව තමුන්ම සිදු කරගන්න එක තමයි" - නන්දනි රූපසිංහ

වැලිඔය ජිවත්වන ජනතාව 'මහවැලි - එල්' කලාපයට අයත් වෙති. "නමට මහවැලි වුවත්" සිය ගම්මානවලට මහවැලියේ වතුර පොදක් නොලැබෙන බව ගම්වාසීහු පවසති. වැලිඔය කලාපයේ ජිවත්වන වැඩි දෙනෙක් ගොවි ජනතාව වන අතර, මහවැලි කලාපයක් ලෙස නම්කොට ඇති සිය ගම්බිම් වෙත මහවැලි ජලය ලැබෙන තෙක් ඔවුහු මගබලා සිටිති.

'මහවැලි - එල්' කලාපයේ වැලිඔය සපුමල්තැන්න ගම්මානයේ පදිංචි නන්දනි රූපසිංහ ඒ අතරින් එක් අයෙකි.

"ගමේ පවුල් 200 ක් විතර ඉන්නවා. ඒත් අපිට අද ජිවත්වෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා. ගොවිතැනින් ජිවත්වුණත් ගමේ කුඹුරු ටිකවත් වගා කරගන්න බෑ. 'මහවැලි- එල්' කලාපය ලෙස අපේ කලාපය නම් කෙරුවත් මේ වෙනකම් මහවැලි වතුර තියා, මහවැලි වතුර අපේ ගම්මානවලට ලබාගන්න සැලසුමක්වත් හදලා නෑ. මහවැලියේ වතුර කෙසේ වෙතත් ගමේ වැවවත් හදලා දෙන්න පහුගිය කිසිම ජනාධිපතිවරයෙකුට බැරිවුණා. ගම යටතේ කුඹුරු අක්කර 1200 ක් විතර තියෙනවා. ඒත් පහුගිය කන්නයෙත් ගමේ කුඹුරු අක්කර 200 ක්වත් මිනිස්සු වැඩ කෙරුවේ නෑ. වැව කැඩිලා වතුර රඳවාගන්න බැරි හින්දා. වැව හදලා දෙන්න කියලා දැන් අවුරුදු දහයක් විතර මිනිස්සු ඉල්ලනවා. ඒත් එව්වා බීරි අලින්ට වීණා වයනවා වාගේ වැඩක්"

"වැලිඔය කියන්නේ වියළි කලාපයේ ගමක්. පායන කාලයට මිනිස්සුන්ට බොන්න වතුර ටිකක්වත් හොයාගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ.පායන පෑවිල්ල හින්දා මිනිස්සුන්ට ගොඩ බෝගයක්වත් වගා කරගන්න බෑ.පායන කාලෙට මිනිස්සුන්ට කන්න බොන්න පවා නැති වෙනවා. එහෙම පීඩාවකින් ජිවත්වෙන අපි වෙනුවෙන් දැන් නැවත ජනාධිපතිවරයෙක් තෝරන්න සුදානම් වෙනවා. මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නැති, තමන්ගේ සංවර්ධනය ගැන පමණක් හිතන කවුරු ජනාධිපතිවුණත් අපිට සෙතක් වෙන්නේ නෑ. හිටපු අයයි, වෙන්න ඉන්න සියළු දෙනාමත් ඒ වාගේ අය තමයි. අපිට දැන් කිසිම දේශපාලනඥයෙක් ගැන විශ්වාසයක් නෑ. දැන් කරන්න ඕනේ මිනිස්සු බුද්ධිමත්ව හිතලා එක එක්කෙනා පස්සෙන් යන්නේ නැතුව තම තමන්ගේ දියුණුව තමුන්ම සිදු කරගන්න එක තමයි" නන්දනි රූපසිංහ වැඩිදුරටත් කියා සිටින්නීය.

බීබීසී යෙන්