ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාව කාන්තාවන්ට අකැප ද?

Women representation in Sri Lanka Image copyright Getty Images

ජනාධිපතිවරණය ඉලක්ක කර මෙතෙක් පැවති දේශපාලන රැස්වීම්වල ඉදිරි ආසන දෙස අවධානය යොමු කළවිට 'බැලූ බැල්මට' පෙනුණේ ඒවායෙහි පුරුෂයන් පමණක් සිටින ආකාරය ය.

අගෝස්තු 11 වෙනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සිය ජනාධිපති ධුර අපේක්ෂකත්වය නිවේදනය කිරීමට පැවති රැළියේ මෙන්ම එක්සත් ජාතික පක්ෂය අගෝස්තු 12 වෙනිදා බදුල්ලේ දී පැවැත්වූ රැළියේ ද ඉදිරි පෙළ අසුන්වල සහ වේදිකාව මත කාන්තාවන් සිටියේ කිහිපදෙනෙකු පමණි.

අගෝස්තු 18 වෙනිදා කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්වූ 'ජාතික ජන බලවේගය' රැස්වීම් වේදිකාවේ ද කාන්තාවන් බොහොමයක් දක්නට නොලැබුණත්, සමාජ ක්‍රියාකාරිනියක වන සරෝජා පෝල්රාජ්ට රැස්වීම ඇමතීමට අවස්ථාව ලබා දී තිබිණි.

වර්තමාන පාර්ලිමේන්තු කාන්තා නියෝජනය 5%ක් වීම තුළ ප්‍රධාන පක්ෂ තුළින් මින් ඔබ්බට දෙයක් බලාපොරොත්තු විය නොහැකියයි යමෙකුට තර්ක කළ හැකිය.

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වන විට වේදිකාවේ මුල් පෙළ අසුන් මෙන්ම රැස්වීම ඇමතීමට අවස්ථාව දිය යුතු යුත්තේ දේශපාලනයට සෘජුව සම්බන්ධ කාන්තාවන්ට පමණක් දැයි තවත් කෙනෙකුට සිතෙන්නට පුළුවන.

Image copyright Getty Images
Image caption දේශපාලන වේදිකාවල නර්තනය, ගායනය, රංගනයේ යෙදෙන කාන්තාවන්

තත්ත්වය එසේවුව ද මෙම රැස්වීම්වල ගායන, නර්තන ඇතුළු විනෝදය සපයන අංගයන්ට කාන්තාවන් යොදා ගෙන තිබෙනු බහුලව දක්නට ලැබේ.

"නිළියක් වගේ කෙනෙක් ඉදිරියට ගෙනාවම වේදිකාව ලස්සන වෙනවා"

"දේශපාලන වේදිකාවේ කාන්තාවන් කියලා බොහෝ වෙලාවට දකින්න ලැබෙන්න දේශපාලඥයන්ගේ බිරින්දෑවරු. එහෙම නැත්නම් නිළියෝ. ඒ දෙගොල්ලොටම රැස්වීම්වලට ආරාධනා කරන්නේ කව්රු හරි කාන්තාවක් ඉන්නවා කියලා පෙන්වන්න විතරයි" යැයි නීතිඥ මිහිරි ගුණවර්ධන බීබීසී සිංහල සේවය වෙත පැවසුවාය.

"නිළියක් වගේ කෙනෙක් ඉදිරියට ගෙනාවම වේදිකාව ලස්සන වෙනවා, මිනිස්සුන්ගේ ආකර්ෂණය වැඩි වෙනවා වගේ අදහසුත් මේ දේශපාලන පක්ෂ ඇතුළේ තිබෙනවා. අදාළ විෂය ගැන දැනුමෙන් සන්නද්ධ, සාමාන්‍ය කාන්තාවකට දේශපාලන රැස්වීමක් අමතන්න ඉඩ ලබා දෙන්නෙත් බොහොම කලාතුරකින්."

Image copyright Getty Images
Image caption ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සිය ජනාධිපති ධුර අපේක්ෂකත්වය නිවේදනය කිරීමට පැවති රැළිය

"දැඩි දේශපාලන පවුල් පසුබිමක් නැත්නම් වේදිකාවට තියා ඒ ඉස්සරහ තිබෙන පුටු පේළියේ ආසනයක්වත් කාන්තාවට දෙන්නේ නැති තත්ත්වයක් තිබෙන්නේ. දැනට බලයේ ඉන්න කාන්තාවෝත් තමන්ට පෞද්ගලිකව බලපාන දෙයකට මහා හයියෙන් කතා කළත්, දේශය පාලනයට අවශ්‍ය වැදගත් කාරණා ගැන කතා කරන්නේ නැහැ."

"හැබැයි ශ්‍රී ලංකාවේ උගතුන්ගෙන් වැඩි කොටසක් පවා ඉන්නේ කාන්තාවන්. එක්කෝ සමාජයෙන් ඒ අය ඉවතට තල්ලු කරනවා, නැත්නම් දේශපාලන පක්ෂවල පවතින පුරුෂාධිපත්‍යයත් එක්ක කාන්තාවන් ඉදිරියට එන එකට බයයි," ඇය තවදුරටත් පැවසුවාය.

ප්‍රසිද්ධිය සමග එන අපහාස

දේශපාලන වේදිකාවල නැගීමෙන් හෝ රැස්වීම් ඇමතීමෙන් පසු ලබන යම් කිසි ප්‍රසිද්ධියත් සමග කාන්තාවන් වෙත විවිධ අපහාසත්මක දේ එල්ල වීම ඔවුන් ක්‍රියාකාරී දේශපාලනයේ රඳවා ගැනීමට ඇති තවත් බාධකයක් බව රාජ්‍ය සේවක මෙන්ම වෘත්තීය සමිති නායිකාවක ලෙස ක්‍රියා කරන තමාරා දයානි හෙට්ටිමුල්ලගේ බීබීසී සිංහල සේවයට පැවසුවාය.

Image copyright Facebook/SajithPremadasa
Image caption එක්සත් ජාතික පක්ෂය අගෝස්තු 12 වෙනිදා බදුල්ලේ දී පැවැත්වූ රැළිය

"දේශපාලනමය, වෘත්තීය සමිති සහ සමාජීය වශයෙන් කාන්තාවන්ට තවමත් තියෙන්නේ ඉතා අඩු සැලකිල්ලක්. කාන්තාවන්ට යමක් කරන්න පුළුවන් කියලා පෙන්වන්නවත් කිසිම අවස්ථාවක් දේශපාලන පක්ෂවලින් මේ වන තෙක් ලබා දීලා නැහැ."

"සියයට 30ක් 40ක් කාන්තා නියෝජනය ලබා දෙනවා කිව්වට ඒ සියල්ල ඉලක්කම්වලට විතරක් සීමා වෙලා. වෘත්තීය සමිතියක් තුළ වත් ප්‍රධාන නිලතල කිසිවක් කාන්තාවන්ට ලබා දෙන්නේ නැහැ."

"කාන්තාවක් ඉදිරියට ඇවිත් ප්‍රසිද්ධියේ කතා කළාම ඒ කෙනාගේ වැරදි විතරයි සොයන්නේ. බොහොම දරුණු විදිහට එයාගේ චරිත ඝාතනය කරනවා. ගැහැණු ගැන මේ මිනිස්සුන්ගේ තිබෙන ආකල්ප වෙනස් වෙන්න ඕනේ. එහෙම නැතුව කවදාවත් මේ රට ඉදිරියට යන්නේ නැහැ."

Image copyright Facebook/AnuraKumaraDissanayake
Image caption 'ජාතික ජන බලවේගය'

"රෑ වෙලා පිරිමි දෙතුන් දෙනෙක් එක්ක පාරේ ගියොත් පහුවදා ගමට යන්න බැරි රටක් මේක. එහෙම රටක කාන්තාවන් ඉදිරියට එන එක අමාරුයි තමයි, හැබැයි අපි වැඩසටහන් නොනවත්වා ක්‍රියාත්මක කරනවා," ඇය පැවසුවාය.

මේ තොරතුරුද කියවන්න:

ලොව බලවත් වූ කාන්තාවන්

ලොව පළමු අගමැතිනිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක තේරී පත්වූයේ මීට අවුරුදු 59ට පෙර එනම්, 1960දී ය.

එතැන් සිට අවුරුදු 34 ක් ගෙවී ගිය තැන ඇයගේ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994 දී අගමැතිනිය ලෙස පත්වීමෙන් නොනැවතී රටේ ප්‍රථම විධායක ජනාධිපතිනිය ලෙස තේරී පත් වුවාය. එතැන්සිට ඇය 2015 නොවැම්බර් මස දක්වා රට පාලනය කළාය.

Image copyright Getty Images
Image caption සිරිමාවෝ බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක

සමාජ ක්‍රියාකාරිනියක හා මැතිවරණ නිරීක්ෂිකාවක වන කේපී සෝමලතා ප‍්‍රකාශ කළේ, "දේශපාලනය කියන්නේ, කාන්තාවට අයිති දෙයක් නෙවෙයි කියලා තමයි සමාජයේ ආකල්පය හැදිලා තියෙන්නේ. කාලයක් අපේ අම්මලාව මරණාධාර සමිතියකටවත් ගෙදරින් යැව්වේ නෑ, මොකද ගෑණුන්ට තීන්දු තීරණ ගන්න බෑ කියලා තමයි අදහස තිබුණේ."

මෙම තත්ත්වය යටතේ බහුතරයක් කාන්තාවන් සිය දේශපාලනික අදහස් සහ මතවාද තමන් තුළම නිහඬ කර ගැනීම සාමාන්‍ය සමාජයේ කාන්තාවන් අතර දක්නට ලැබෙන්නකි.

දේශපාලන රැස්වීම්වලට පමණක් නොව ඇය සමාජීය සහ දේශපාලනිකව සවිබල ගැන්විය හැකි කිසිදු අවස්ථාවකට සහභාගි වීමට කාන්තාවට ඇති අවස්ථාව පවා අහිමි වීම සෑම සමාජ ස්ථරයකම අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන්නකි.

යුරෝපීය රටවල් බොහොමයක පාර්ලමේන්තුවේ කාන්තා නියෝජනය 30% වඩා වැඩි බව සංඛ්‍යාලේඛන අනුව පෙනී යයි.

තවමත් බොහෝ රටවල නායකත්වයට පුරුෂයන් පත්වී සිටිය ද 2018 වර්ෂය වන විට රටවල් 21ක කාන්තා නායකත්වයක් දැකිය හැකි විය.

නමුත්, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5%ක් වන විට පළාත් සභා මට්ටමේදී එය 4%ක් ද ප‍්‍ර‍්‍රාදේශීය මට්ටමේදී එය 1.8% ක් වැනි සුළු ප්‍රමාණයකට සීමා වී තිබේ.

අසල්වැසි දකුණු ආසියානු රටවල් සමග සංසන්දනය කරන විට ද ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා නියෝජනය සාපේක්ෂව අවම බව පෙනේ. නේපාලයේ ජාතික මට්ටමේ දේශපාලනයේ කාන්තා නියෝජනය 32% ක් වන අතර බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ එය පිළිවෙලින් 19% ක් සහ 10% කි.

"දැන් ඉන්න අයගේ නම්වත් දන්නේ නැහැ"

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දැනට සිටින කාන්තාවන්ගේ නම් පමණක් නොව රූපයෙන් හෝ නොදන්නා බව බීබීසී සිංහල සේවය කළ විමසීමක දී දැනගත හැකි විය.

Image copyright Getty Images

බොහෝ දෙනෙක් අදාළ කාන්තා දේශපාලනඥයින් නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුව ද නැත්නම් ප්‍රාදේශීය බල ප්‍රදේශයක්දැයි දැන නොසිටියහ.

"කාන්තාවන් බොහෝ විට නිවසට කොටු කර තැබීම මේකට තව හේතුවක් විදියට දකින්න පුළුවන්. ගැහැණු ඉන්නේ ළමයි සහ මහත්තයා බලාගෙන නිවසට වෙලා ඉන්න කියන ආකල්පය තවමත් ග්‍රාම්‍ය වගේම නගරබද සමාජයේත් දකින්න ලැබෙනවා," යැයි විශ්‍රාමික ගුරුවරයෙකු වන නිහාල් හේරත් බීබීසී සිංහල සේවයට පැවසීය.

"ලංකාවේ ඉන්න උගතුන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන්. නමුත් දේශපාලන පක්ෂවලින් ඔවුන්ට අවස්ථා ලබා දෙන්න උනන්දු වෙන්නේ නැහැ. මේකට තව හේතුවක් ගොඩක් පුරුෂයන් කාන්තාවන්ගේ උගත්කමට බයයි. ඒ වගේම කාන්තාවක් තවත් කාන්තාවක් ඉදිරියට ගෙන ඒමට ක්‍රියා නොකිරීමත් අපේ රටේ බහුලව දකින්න පුළුවන්."

Image copyright Getty Images

මේ අතර, වර්තමානයේ පාර්ලිමේන්තුව පමණක් නොව ප්‍රාදේශීය මට්ටමේ කාන්තා දේශපාලනඥයින් පවා කැපී පෙනෙන ආකාරයෙන් ක්‍රියා නොකිරීම කාන්තා නියෝජනය වර්ධනය කර ගැනීමට බාධාවක් වී ඇති බව ඔහු පැවසුවේය.

"කොහොම වුණත්, ලෝකයේ දියුණුම රටවල්වල කාන්තා නියෝජනය 30% පහු කර තිබෙද්දී අපි තවමත් කාන්තා නියෝජනය වෙනුවෙන් සටන් කරනවා. රටේ 52%ක් හරියාකාරව නියෝජනය වෙන්නේ නැත්නම් ඒ රට දියුණු වෙයි ද? ආකල්ප වෙනස් කර ගන්නම වෙනවා. නැත්නම් අපිට මේ මඩගොහොරුවෙන් කවදාවත් එළියට ඒමක් නැහැ," ඔහු තවදුරටත් පැවසීය.

තවත් තොරතුරු: