ශ්‍රී ලංකාවේ නව නිෂ්පාදන: 'කාබනික දියර පොහොර සඳහා පේටන්ට් බලපත ලබා ගත්' රත්ගම ලෝරන්ස්

Image caption ලෝරන්ස් තම පේටන්ට් බලපත්‍රය සමග

ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශය විසින් නව නිපැයුම් සඳහා ප්‍රදානය කරනු ලබන පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමට රත්ගම බෝපගොඩ බි ලෝරන්ස් ද සිල්වා සමත් වී තිබේ. ඒ, කාබනික දියර පොහොර නිෂ්පාදනයක් වෙනුවෙනි.

ලෝරන්ස්ද සිල්වා නිෂ්පාදනය කරනු ලබන දියර පොහොර මේ වනවිට කාෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති අතර ජාතික පොහොර ලේකම් කාර්යාලයේද ලියා පදිංචිකර ඇත.

විශේෂයෙන්ම තේ, වී, එළවලු, බඩ ඉරිඟු සහ විසිතුරු මල්පැල වගාවන්හි අස්වැන්න, රසායනික පොහොර භාවිතයෙන් තොරව තම දියර පොහොර යෙදීමෙන් වැඩිකර ගත හැකි බව සනාථ කර ඇතැයි ඔහු පවසයි.

තමන්ගේ දියර පොහොර නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනිමට හැකිවීම පිළිබඳව ඉතා සතුටට පත්ව සිටින ලෝරන්ස් තමා ඒ සඳහා ගත් වෙහෙස මහන්සිය හෙළිකළේ මෙසේය.

Image caption ලෝරන්ස් ද සිල්වා දියර පොහොර නිෂ්පාදනය කරනු ලබන ආකාරය

"මම සාමාන්‍ය පෙළ විභාගය සමත් උනාට පස්සේ එක් දහස් නමසිය හැට නමයේ උප සේවා කොස්තාපල්වරයෙකු හැටියට පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුනා. මගේ මාමා කෙනෙකුයි එයාගේ පුතාලයි හැත්තෑ එකේ කැරැල්ලට අහුවෙල හිටිය කියල මම නිත්‍ය සේවයට බඳවා ගත්තේ නැහැ. ඊට පස්සේ මම සාමාන්‍ය පෙළ විභාග සහතිකේ රාමු කරල බිත්තියේ එල්ලල තවත් ආණ්ඩුවෙ රස්සාවල් හොයන්න යන්නේ නැහැ කියල තිරණය කළා. මම කල්පනා කළේ රටට බරක් නැති වැඩක් ඇති මිනිහෙක් විදියට ජීවත්වන්නේ කොහොමද කියලයි."

"එහෙම ඉන්නකොට මට හිතුන කොම්පෝස්ට් පොහොර හදන්න. මම නමසිය අනූ හතරේ කොම්පෝස්ට් පොහොර හැදුවා. හදල ඒවා සිද්ධාලේප නිෂ්පාදක හෙට්ටිගොඩ මහත්මයා ළඟට අරගෙන ගියා. මට ලක්ෂ එකහමාරක් දුන්නා. පස්සේ මම එතැන පෝර සමාගමේ අවුරුද්දක් විතර වැඩ කළා. ඊට පස්සේ එතැනින් ඉවත් වුණා."

ඉන්පසු නව නිෂ්පාදනයක් ගැන සිතූ බව ලෝරන්ස් පවසයි.

"මම ගෙදර ඇවිත් කල්පනා කළා. වල්ගස්වලට පොහොර වතුර මොකුත් අවශ්‍ය නැහැ. එම ශාකවලට අවශ්‍ය පදාර්ථ වායුගෝලයෙන් ලැබෙනවා. නමුත් නඩත්තු කරන ගස්වලට පොහොර වතුර අවශ්‍යයි. ඒවාට යොදන්නේ රසායනික පොහොරයි. ලංකාවේ මුලින්ම රසායනික පොහොර යෙදුවෙ තේ වගාවටයි. රසායනික පොහොර නිසා කැඩ්නියම්, ආසනික් විෂ පසට එකතු වෙනවා."

"මේ නිසා මට ඕන වුණා වසවිස නැති ජානමය ශක්තිය ඇතුළත් කරල පොහොරක් නිෂ්පාදනය කරන්න. ඒ අනුව තමයි මේ දියර පොහොර හැදුවේ. මම මේ දියර පොහොර හදල ඉස්සෙල්ලම මගේ පැලවලට ගැහුවා. අහල පහළ අයට දුන්නා. අස්වැන්න සරු වුණා ඵලදාව වැඩි වුණා. කවුරුත් හොඳයි කිව්වා."

Image caption ලෝරන්ස්ගේ නිෂ්පාදනය

ලෝරන්ස් ගේ නව සොයාගැනීම ගැන දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහු ඒ ගැන ගන්නොරුව පර්යේෂණායතනය දැනුවත් කර තිබේ.

"නමුත් ඊට උත්තර නැති නිසා මම ගන්නොරුවට ගියා. එතැනින් කිව්ව කොම්පෝස්ට් පොහොර ගැන මිනිසුන් දැනුවත් කරල තියෙන නිසා පරීක්ෂා කරන්නෙ නැහැ කියලා. නමුත් මම කිව්ව මේක ඊට වඩා වැඩි දෙයක් මේකේ තියෙනවා, පරීක්ෂා කරල දෙන්න කියලා. මාත් එක්ක තව සමාගම් හයක් ඇවිල්ල හිටියා. ගන්නොරුවට අමතරව මහඉලුක්පල්ලම, අඟුණකොළපැලැස්ස, බණ්ඩාරවෙල කෘෂිකර්ම ආයතනවලටත් යැව්වා. සාර්ථකයි. මට සහතිකය ලැබුනා. මම දැන් මේ දියර පොහොර ලංකාවේ ඕනෑම දේශගුණයකට ගැලපෙන ආකාරයට නිෂ්පාදනය කරනවා."

"පේටන්ට් බලපත්‍රය ලැබුනට පස්සේ නව නිපැයුම් කොමිසමට මම ගියා. ඒ ගොල්ලෝ මට යන්ත්‍ර සූත්‍ර ගන්න රුපියල් ලක්ෂ දහයක් දෙන්න අනුමත කළා තවම ඒක ලැබුනේ නැහැ. දැනට තියෙන්නේ මුලින්ම ගත්ත යන්ත්‍ර දෙකක්. ඒක අරගෙන දුන්නේ ගුවන් හමුදාවේ හිටපු ලොකුපුතා. එයා යුද්ධ කාලේ මෝටාර් එකක් වැදිල දැන් ඉන්නේ එක තැන."

තමාට රජයෙන් හෝ වෙනත් ආයතනයක් උදව් කරන්නේ නම් ඉතා අඩු මුදලකට දියර පොහොර නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැකි බව ඔහු පැවසීය.

"මේ හරියෙ තියෙනව අක්කර හයක රජයේ ඉඩමක් මම ඒක ඉල්ලුවා. ප්‍රාදේශිය ලේකම්තුමිය තවම උත්තරයක් දුන්නේ නැහැ. එහෙම දෙනව නම් මට ඒ ඉඩමේ මේක ස්ථාපිත කරල තව කිහිප දෙනෙකුට රස්සාවල් දෙන්න පුළුවනි."

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර