දෙපා වාරු නැතත් ගොවිතැන් කරන රජරට ගොවි පියෙක්

Image caption "රෝද පුටුවේ හිටයත් තවමත් මගේ හිත හයියයි"

රජරට පළාතේ පවතින දැඩි පෑවිල්ල හමුවේ එහි ගහකොළ, සතා සිව්පාවුන් පමණක් නොව මිනිස් ජිවිත ද වියළි ගොස් ඇති සෙයකි. මාස ගණනාවකින් වැහි දිය පොදක් සිප නැති රජරට පොළොවේ තණකොළ පවා කහ පැහැයට හැරී, මැරී ‍ගොස්ය.

එහෙත් ගොවිතැන ජීවිකාව කර ගත් රජරට ගොවි පවුල් කර්කශ පොළොව හා ගැටෙමින් වගාබිම් සකස් කරමින් සිටිති. මාස් කන්නයේ වැස්ස බලාපො‍රොත්තුවෙන් සිය වගා බිම් සකස් කර ගැනීම ඔවුන්ගේ සිරිතය.

දෙදරු පියෙකු වන හැට දෙහැවිරිදි ඕ.ඒ සිරි‍සේන ද පොළව හා ඔට්ටු වෙන්නේ එළැඹෙන මාස් කන්නයේ වගාව උදෙසාය. ගිනිගහන පෑවිල්ලේ උඩුකය නිරුවත්ව ඔහු තමා ජීවත් වන ගෙවත්තේ මානා පදුරු උගුල්ලන ආකාරය ඈත සිට පෙනෙයි.

ගෙවතුවල මානා උගුල්ලන සෙසු ගොවීන්ට වඩා ඔහු තරමක් වෙනස්ය. දෙපා වාරු නැති ඕ.ඒ සිරි‍සේන දෙපා වාරු ඇත්තවුන්ට නොදෙවෙනිව ගොවිතැන් කටයුතුවල යෙදෙන්නේ ස්වභාවධර්මයටත් දෛවයටත් අභියෝග කරමින්ය.

ගෙවත්තේ පසෙක කෙසෙල් වගාවකි. කෙසෙල් ගස් අතර පොල් පැළ හිඳුවා ඇත. ඒ අතරින් පතර මුරුංගා ගස් වගාවකි. කලක් ගෙවත්ත අරක්ගෙන සිටි මානා උගුල්ලා පොළව මනාව සකසා ඇති සිරිසේන අහස් කුස දිහා බලා සිටින්නේ මාස් කන්නයේදි ගෙබිමේ තල, බඩඉරිගු, මිරිස් ආදි ගොඩ බෝග වගා කිරීමේ බලපොරොත්තුවෙන්ය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"දරුවෝ කන්න දෙනවා කියල බුදියන් ඉන්න බැහැ"

"වත්තේ මානා ගැලෙව්වට පස්සේ ගිය අවුරුද්දේ වත්ත පුරාම තල ඉස්සා. තල ඉහලා හොඳ ආදායමක් ගත්තා. තල ගහපු හින්දා මානා නැවත මතුවුණේ නෑ. තල ඉහලා කැපුවාට පස්සේ මම වත්තේ එක පැත්තක කෙසෙල්, පොල්, පලතුරු පැළ ටිකක්, මුරුංගා ගස් ටිකක් වගා කෙරුවා. දැන් එව්වා සරුවට වැවිලා. මුරුංගා ගස්වල ඵලදාව ආවා හිතපු නැති තරමට. දෙපා වාරු නැති මම පොළොවට වගුරන දහඩියවලට පොළොව මට හොඳ අස්වැන්නක් දෙනවා," යනුවෙන් ඕ.ඒ. සිරි‍සේන බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.

සිය ගොවිතැන පිළිබඳ කතාව මදකට නැවතූ ඔහු සිය රෝගී තත්ත්වය පිළිබඳ විස්තර කළේ අතීතයේ පැවති ගොවි සශ්‍රිකත්වය පිළිබඳ මතකය ආවර්ජනය කරමින්ය.

"මගේ මුල් ගෙවල් කුරුණෑගල පොල්පිතිගම. අපිට උරුමවුණ ගොවිතැන තමයි මගේ ප්‍රධානම ආදායම් මාර්ගය වුණේ. ඒ දවස්වල අපි කඩේකින් කියලා ගත්තේ ඔය ලුණු ටිකක්, තුනපහ කුඩු ටිකක් විතරයි. අනෙක් හැම දෙයක්ම මම වත්තේ වගා කෙරුවා."

"ඔහොම ඉන්නකොට 2015 දී මගේ එක කකුලක ගෙඩියක් ආවා. ඒ ගෙඩිය ටිකෙන් ටික ලොකු වෙන්න ගත්තා. පස්සේ මම කුරුණෑගල ඉස්පිරිතාලයට ගියා. ගිහිල්ලා ඒ ගෙඩිය පෙන්නපුවහම දොස්තර මහත්තයා කිව්වා ඒ ගෙඩිය පලන්න ඕනේ කියලා. ගෙඩිය පලලා ඇතුළේ තිබුණ දිය එහෙම අයින් කෙරුවා. ඒ දවස්වලම ඒ කකුලේම තවත් ගෙඩියක් ආවා. ඒ ගෙඩියත් ලොකු වුණා. ආයෙත් මම කුරුණෑගල ඉස්පිරිතාලයට ගියා. එතනදීත් දොස්තර මහත්වරු කිව්වා ගෙඩිය පලන්න ඕනේ කියලා. එහෙම කියලා ඒ ගෙඩියත් පලලා බෙහෙත් දැම්මා. ඒත් මගේ කකුල් පණ නැති වුණා. දොස්තර මහත්වරු කිව්වේ විෂබිජයක් ගිහිල්ලා කියලා."

"මගේ අනෙක් කකුලෙත් ඒ වාගේ ගෙඩි දාලා වාරු නැති වුණා. මොන කරුමෙකට මෙහෙම වුණා ද කියලා මම දන්නේ නෑ. දෙපයින් ඇවිදලා හිටපු මට අද ඇවිදගන්න බැරි වුණා. මගේ කකුල් දෙකම පණ නෑ. කොහොමහරි මගේ තුවාල හොඳ වුණාට පස්සේ මගේ දරුවෝ මම ගෙදර එක්කගෙන ආවා. ඒ ඇවිල්ලා දුව ළඟයි, පුතා ළඟයි ජිවත් වෙනවා."

Image caption සිරිසේනගේ පාදයේ අබාධයක් ඇති වී ඇත්තේ 2015 වසරේදීය

ඕ.ඒ. සිරි‍සේන මේ වන විට ජීවත් වන්නේ අනුරාධපුරයට අයත් රඹෑව, සදමල්ගම පිහිටි සිය පුතුගේ නිවසේය.

"මගේ වැඩ කටයුතු කරන්න පහසු හින්දා පුතා එයා කසාද බැඳලා ඉන්න ගමට මාව එක්කගෙන ආවා. ඒත් පුතාටත් හරි හමන් රස්සාවක් නෑ. කුලී වැඩ කරලා තමයි පවුලේ අය ජීවත් කරවන්නේ."

අගහිඟකම් මැද පුතුට බරක් වීමට "හිත නොදුන්" බව කී ඔහු "රෝද පුටුවේ හිටයත් තවමත් මගේ හිත හයියයි" යනුවෙන් පැවසීය.

"මට එක තැනක වැතිරිලා ඉන්න එක තරම් අමාරු වෙන කිසි එකක් නෑ. මම එනකොට අක්කරයක් විතර වුණු පුතාගේ ඉඩම මානාවලින් වැහිලා තිබ්බේ. මම කල්පනා කෙරුවා මානාවලින් වැහිලා තිබෙන වත්ත සුද්ද කරන්න. පස්සේ මම පුතාට කියලා උදැල්ලක් හදාගත්තා."

"ඒත් පුතා බැන්නා 'ඔය රෝද පුටුවේ ඉඳගෙන මොන වගා කෙරුවාවක්ද?' කියලා. ඒත් මම එයාගේ කීම අහන්නේ නැතුව වත්තේ තිබුණ මානා ගලවන්න පටන්ගත්තා. ටිකෙන් ටික රෝද පුටුවෙන් තල්ලුවෙවී වත්තේ මානා ගැලෙව්වා. දැන් වත්තේ එක මානා ගහක්වත් නෑ."

Image caption මාස් කන්නයට තල ටිකකුයි, මිරිස් ටිකකුයි වගා කරන්න ඉන්නේ. මම කාටවත් කරදරයක් වෙලා ජිවත්වෙන්න කැමති නෑ

"කරදරයක් වෙන්න කැමති නැහැ"

"දැන් වත්තේ අනෙක් පැත්ත සුද්ද කරලා බිම හදාගෙන ඉන්නවා. මාස් කන්නයට තල ටිකකුයි, මිරිස් ටිකකුයි වගා කරන්න ඉන්නේ. මම කාටවත් කරදරයක් වෙලා ජිවත්වෙන්න කැමති නෑ. කුලී වැඩ කරන පුතාට බරක් වෙන්න මම කැමති නෑ. මගේ දෙපා වාරු නැති වුණත් මම දන්න ගොවිතැන රෝද පුටුවේ ඉඳගෙන වුණත් මට කරන්න පුළුවන්."

"මම අරක්කු සිගරට් බොන්නේ නෑ. හැබැයි බුලත් විට කනවා. බුලත් විට ගන්නවත් මම දරුවාගෙන් සල්ලි ඉල්ලන්නේ නෑ. බුලත් විටට සල්ලි ටික මම හොයාගන්නේ වත්තේ වගා කරන දෙයක් විකුණලා තමයි. මගේ හිතේ හයිය තිබෙනකම් මම රෝද පුටුවේ ඉඳගෙන වගා කරනවා."

"මම කියන්නේ උත්සහය තිබෙනවා නම් මොන අපහසුකම් තිබුණත් අපිට ජිවිතේ ජය ගන්න පුළුවන්. මහත්තයා වැස්සෙන් පස්සේ එන්නකෝ මගේ වගාවේ තත්ත්වෙ බලන්න," ඔහුගේ දෙනෙතේ ඇත්තේ අධිෂ්ඨානය මුසු බැල්මකි.

දෙපා වාරු නැති සිරිසේන ගොවි පියා දෙපා වාරු ඇත්තවුන්ටත් කියා දෙන්නේ අපූරු පාඩමක් නොවේද?

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර