ජනාධිපතිවරණය : "මීළඟ ජනපති කිසිවක් කළ නොහැකි පුද්ගලයෙක්"

Image copyright SLFP

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීළඟ ජනාධිපතිවරයා පත්කරගැනීමට වඩා මීළඟ අගමැතිවරයා පත්කර ගැනීම සම්බන්ධයෙන් උනන්දු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

"තීන්දුව හරි අතට" මැයෙන් අද කොළඹදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව 2020 වසරේ රට භාරගන්නා මීළඟ ජනාධිපතිවරයාට වඩා අගමැතිවරයා ශක්තිවන්තයකු බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දුණි.

"රුපියල් කෝටි 450 කට වඩා වැයකරනවා ජනාධිපතිවරණයට. හැබැයි කවුරු පත්කළත් ඒ ජනාධිපතිවරයා 19 වන සංශෝධනයට අනුව කිසිවක්ම කළ නොහැකි පුද්ගලයෙක්. ඔහුට ආරක්ෂක අමාත්‍යංශයවත් නැහැ. ඒ සියලු බලතල තියෙන්නේ අගමැතිවරයාට" යනුවෙන් පැවසීය.

"2020 රට බාරගන්නේ ජනාධිපතිවරයා නෙවෙයි අගමැතිවරයා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරු පත්කරන්න තියෙන උනන්දුවට වැඩිය මීළඟ අගමැතිවරයා පත්කරගන්න උනන්දු වෙන්න ඕන" ජනාධිපතිවරයා සමුළුව අමතමින් වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම "2020 දී ආණ්ඩුව හදන්නේ අපි" යනුවෙන් පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් රට තුළ ගොඩනැගීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

" තමුන්නාන්සේලා වගේම හුඟ දෙනෙක් අහනවා කවුද ජනාධිපති අපේක්ෂකයා, කාටද සහයෝගය දෙන්නේ කියලා. මොකද්ද කරන්නේ , මෙහෙම ප්‍රශ්ණ වැලක් අහනවා. ඒ ප්‍රශ්ණ වැලට මම එක උත්තරයක් දෙන්නම්. එක උත්තරයයි, මොකක්ද ඒ උත්තරේ.. අපේ ප්‍රතිපත්ති තුළ අපේ දර්ශනය තුළ 2020 ආණ්ඩුව හදන්නේ අපි කියන එක මම කියනවා"

මෙම සමුළුවේදී අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයාගේ විවේචනයට ලක්විය.

පළාත් සභා ක්‍රමයටත් පළාත් සභා ඡන්දයටත් ඇණ ගැසීමට කටයුතු කළේ අගමැතිවරයා බව ඔහු මෙහිදී කියා සිටියේය.

Image copyright SLFP

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සියලු ලියකියවිලි සාදා අවසන් බව පැවසූ ජනාධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන්ට වඩා "ලොකු මහත්වරුන් කුඩුවට නැග්ගවිමට" අවශ්‍ය ලිපිගොනු සාදා අවසන් බවද සඳහන් කළේය.

මෙම සමුළුව ඇමතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේ මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේ තීරණාත්මක බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවය.

"මේ ජනාධිපතිවරණයේ කාටවත් 47% පනින්න බැහැ. 50% පන්නන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවශ්‍ය වෙනව" ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ඊළඟ ආණ්ඩුව තීරණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙම සමුළුවට හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, ආණ්ඩුවේ පක්ෂ නායකයන් වන අමාත්‍ය චම්පික රණවක, අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් වන උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර හා දිනේෂ් ගුණවර්ධන ආදීහු එක්ව සිටියහ.

කියවන්න

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර