ජනාධිපතිවරණය: රනිල්, සජිත් එක්ව ගමනක් යා යුතුයි - හිරුණිකා

එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රශ්න තිබෙන බව සත්‍යයක් බවත් එය සැඟවීමට දෙයක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

බීබීසී සිංහල සේවය සමග පැවති සජීවී ෆේස්බුක් සාකච්ඡාවකදී ඇය පැවසුවේ, "අගමැතිතුමත් සජිත් ප්‍රේමදාසත් වෙන කවුරුත් නියෝජිතයෝ යවන්නේ නැතිව ඒ දෙන්නා තනියෙන් මේ සම්බන්ධයෙන් මොකක්ද කරන්න යන්නේ කියලා කතා කරගෙන දෙදෙනා එකතු වෙන්නේ නැතිව මේ ගමන යන්න බෑ," යනුවෙනි.

ඉදිරි ජනාධිපතිවරණය ගැන අදහස් දක්වමින් ඇය පැවසුවේ ජනාධිපතිවරණයට කලින් පැවැත්වෙන බෙන්තර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මගින් ජනාධිපතිවරණයේ දී විය හැක්කේ කුමක් ද යන්න අනුමාන කළ හැකි වනු ඇති බවය.

ජනපති අපේක්ෂකයා

පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයාගේ නම සුදුසු අවස්ථාවේ හෙළිදරව් කෙරෙනු ඇති බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පැවසීය.

"අපි 2015 ජනවාරි 8 වෙනිදා ජයගත් අපේක්ෂකයා හඳුන්වා දුන්නෙත් නාම යෝජනා කැඳවීමට සතියකට කලින්. මේ සැරෙත් අපිට හදිස්සියක් නැහැ. මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ ගේ නම ප්‍රකාශයට පත් කළා වේලාසන වැඩියි. කල් යන්න යන්න අපේක්ෂකයන්ගේ අඩුපාඩු වැරදි පේනවා වැඩියි ජනතාවට. එතුමා කරන කියන දේවල් පරස්පරයි. ජනතාවට ඒවා වැටහෙනවා."

එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණය ජය ගත හැකි අපේක්ෂකයා "පක්ෂය ඇතුළේ තීරණයක් අරගෙන හොඳ අපේක්ෂකයෙක් ඉතාමත් ඉක්මනින් ඉදිරිපත් කරාවි," යනුවෙන් පැවසූ ඇය අලුතෙන් ජන්දය හිමි ලක්ෂ 17 දිනා ගැනීම වැදගත් බවද පෙන්වා දෙයි.

ජනාධිපති ධූර අපේක්ෂකයා කවුරු වන්නේ දැයි විමසු විට ඇය පැවසුවේ, "මේ වෙනකොට සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා වෙන්න ඕනේ කියලා කියනවා. සමහරු කියනවා කථානායක කරු ජයසූරිය, සරත් ෆොන්සේකා, ඒ වගේම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහටත් වුවමනාවක් තිබෙන බව පේනවා. සියලු දෙනාම එකතුවෙලා කතා කරලා මේ ගමන යා යුතුයි. කවුරු දැම්මත් සන්ධාන ගත නොවී අපට ජයග්‍රහණය කරන්න බෑ. අපි ඒ දාන පුද්ගලයා කවුරු වුණත් ඔහු මුළු රටේ සියලු ජන කොට්ඨාශ වල විශ්වාසය දිනාගත් කෙනෙක්," විය යුතු බවය.

එසේම එම අපේක්ෂකයා "එක්සත් ජාතික පක්ෂය ඇතුළේ පාක්ෂිකයන්ට සාධාරණයක් වෙන සහ පාක්ෂිකයන් වෙනුවෙන් සිටින කෙනෙක්" විය යුතු බව ද ඇය පැවසුවාය.

Image caption පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

පක්ෂය කඩන්න හදනවා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ දරමින් සිටින බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කළාය.

"දින 52 ගැන මතක ඇති. එතුමාගේ ඕනෑ එපාකම් අනුව මේ පක්ෂය දුවන්න බැහැ. එතුමා එක්සත් ජාතික පක්ෂයත් එක්ක විශාල වෛරයකින් ඉන්නේ කියලා එතුමාගේ ප්‍රකාශ වලින් පේනවා. එතුමාගේ අවසාන අභිප්‍රාය මේ පක්ෂය දෙකට කැඩීම. මේ පිටිපස්සේ එතුමා ඉන්නවා. මේ පක්ෂේ රණ්ඩු පිටුපස්සේ එතුමා ඉන්නවා."

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නේ නිර්පාර්ශික නායකයෙක් ලෙස කටයුතු කිරීමට ජනාධිපතිවරයා අවස්ථාව තිබූ නමුත් ඔහු එය ඉටු නොකළ බවය.

එබැවින්, ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව කටයුතු කළ හැකි අපේක්ෂකයෙක් අවශ්‍ය බව ඇය පැවසීය.

"මම හිතනවා සජිත් ඇමතිතුමාත් ඒ ගැට වලට හසු වන්නේ නැහැ. අගමැති තුමත් ඒ ගැට වලට හසු වෙන්නේ නෑ. මම හිතනවා පාක්ෂිකයන්ගේ මතය ඉදිරිපත් කරන්න පුළුවන් අපේක්ෂකයෙක් දායි කියල. අපේ පක්ෂයේ තීරණය පිට අයගේ වුවමනාවන් අනුව හැරවිය යුතු නැහැ කියලා මම හිතනවා."

"එක්සත් ජාතික පාක්ෂිකයෝ කලකිරීමට පත්වෙලා ඉන්නවා ඇති. නමුත් පාක්ෂිකයින් ඉල්ලන්නේ එහෙ මෙහෙ ගෝනි බිල්ලෝ ගෙනල්ලා පක්ෂය නැති කර ගන්න එපා කියන එක."

ඇය අදහස් කරන්නේ පක්ෂයේ නායකත්වය වෙනස් කරන්නේ ද මැතිවරණයෙන් පසුව තීරණය කළ යුතු බවය.

කාන්තාවන් දේශපාලනයට ඒමට උත්සුක නොවන්නේ ඇයි?

"කාන්තාවන් අපහසුවට පත් කිරීමට, නරක වචන පාවිච්චි කරන්න බොහෝ දෙනෙක් බලා ගෙන ඉන්නේ. සමහර කාන්තාවන් පවා අනෙක් කාන්තාවන් පහත් බවට පත් කරන්න බලාගෙන ඉන්නේ."

එමනිසා කාන්තාවන් දේශපාලනයට ඒමට මැලිකමක් දක්වන බව ඇය පැවසුවාය.

එසේම එළඹෙන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ කළ සංවර්ධන කටයුතු ගැන හැරුණුවිට හොරුන් ඇල්ලීම ගැන කතා නොකළ යුතුය යන්න ඇයගේ අදහසය.

"ලසන්තලාගේ මිනී ගැනත් තවදුරටත් කතා කරන්න බැහැ."

මේ තොරතුරුත් කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර