ශ්‍රී ලංකාවේ පැණිබීම වර්ණ සංකේත සාර්ථකද?

Image caption ඝණ හා අර්ධ ඝණ ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය ඇතුලත් වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රමය

සිසිල් පැණිබීම බෝතලයක් පානය කර 'ෆ්‍රයිඩ් රයිස්' හෝ 'බර්ගර්' වර්ගයක් අහාරයට ගන්නා ජනප්‍රිය ක්‍රීඩකයෙක්, නළුවෙක්, නිළියක් පෙනී සිටිනා රුපවාහිනී වෙළෙඳ දැන්වීම් මීට වසර ගණනාවකට පෙර සුලභ විය.

මීට වසර 5 - 6 ට පෙර ඒ ආකාරයෙන් මහා පරිමාණ සමාගම් විසින් තම පැණි බීම බෝතල නොඑසේනම් සිසිල් බීම බෝතල ජනතාව අතරට ගෙනයාම සඳහා බොහෝවිට ජනප්‍රිය චරිත යොදාගෙන නිර්මාණය කරන ලද වෙළෙඳ දැන්වීම් සමාජයේ ඉතා ජනප්‍රියවී තිබිණි.

විශේෂයෙන්ම තරුණ ප්‍රජාව එම වෙළෙඳ දැන්වීම්වල ඉලක්කය වී තිබිණි. කෙසේ නමුත් මෙම සිසිල් බීම බෝතල්වල ඇති සීනි ප්‍රමාණය ශරිරියට අහිතකර බව සෞඛ්‍ය සංවිධාන අනතුරු ඇඟවීමත් සමග ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩකයන් නළු නිළියන් බහුතරය දැන් එවැනි බීම වර්ග ප්‍රවර්ධන කිරීමෙන් වැළකී සිටිති.

ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි එවන් අයෙකි. 2017 වසරේ ඔහු එතෙක් රුපියල් කෝටි ගණනක් අයකර ප්‍රවර්ධනය කළ බීම වර්ගයෙන් විරාට් කෝලි ඉවත්වූයේ සෞඛ්‍යමය හේතුන් මත බව ඉන්දීය මාධ්‍ය ද වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකාවේ ද මෙම තත්ත්වය දක්නට ලැබුණු අතර දැන් අතීතයේ මෙන් නොව, ජනප්‍රිය චරිත සිසිල් බීම වැනි දෑ ප්‍රවර්ධනයට ඉදිරිපත් වන්නේ ඉතා කලාතුරකිනි.

ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය ද ශරීරයට අහිතකර අධික සීනි ප්‍රමාණයකින් යුතු සිසිල් බීම පානය අධෙර්යමත් කිරීම සඳහා දියත් කර ඇති වැඩසටහන් හේතුවෙනි.

"අධික සීනි රසයක් නොව වසක්" වසර කිහිපයකට පෙර සිසිල් බීම වල ඇති සීනි ප්‍රමාණය දක්වන වර්ණ සංකේතවත් ක්‍රමය ගැන ජනතාවට හඳුන්වා දෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේය.

Image copyright Getty Images

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් සියයට 75 ත් 80 ත් අතර සංඛ්‍යාවකට හේතුව‌ දියවැඩියාව, රුධිරයේ කොලෙස්‌ටරෝල් මට්‌ටම වැඩිවීම, අධික රුධිර පීඩනය, හෘදයාබාධ වැනි බෝනොවන රෝග වේ.

එම රෝග වැළඳීමට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත්තේ අහිතරකර ආහාර රටාවය. ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග වැඩිවීම සඳහා ප්‍රධාන හේතු ලෙස අධික සීනි, ලුණු, සහ මේදය අඩංගු අහාරපාන භාවිතය බව හඳුනාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ගෙන් 5-6% ප්‍රමාණයක්, වැඩිහිටි කාන්තාවන්ගෙන් තුන්දෙනෙකුගෙන් එක් අයෙක් හා වැඩිහිටි පිරිමි පස් දෙනෙකුගෙන් එක් අයෙක් තරබාරු ගැටලුවෙන් පීඩා විදින බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ගෙන් 26.5% ක් දිනකට එක් පැණි සිසිල් බීම බෝතලයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පානය කරන බව 2017 වසරේ කළ සමීක්ෂණයකින් හෙළිවී ඇති බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය එම තත්ත්වය තුළ එවැනි බීම පානය අධෙර්යමත් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බව රජයට දිගින් දිගටම යෝජනා ඉදිරිපත් කර තිබිණි.

අධික සීනි සහිත පැණි බීම වර්ගවල ඇසුරුමෙහි ඒවායේ අඩංගු සීනි මට්‌ටම පෙන්නුම් කිරීමට වර්ණ සංකේත ක්‍රමයක්‌ (ට්‍රැෆික් ලයිට්‌ සිස්‌ටම්) යොදා ගැනීමේ වැඩපිළිවෙළ මීට වසර 3කට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක කළේ එහි එක් පියවරක් ලෙසිනි.

අධික සීනි ඇති බීම වර්ග රතු වර්ණයෙන් ද මධ්‍යම සීනි ප්‍රමාණයක් ඇති බීම වර්ග කහ වර්ණයෙන්ද අඩු සීනි ප්‍රමාණයක් ඇති බීම වර්ග කොළ වර්ණයෙන් යුතු ලේබලයක් ඇලවීම එමගින් අනිවාර්ය කෙරිණි.

ප්‍රධාන පෙළේ ජනප්‍රිය බීම වර්ග රැසක් අධික සීනි ඇති රතු ලේබලය යටතට වැටී තිබුණු අතර ඒ හේතුවෙන් ඔවුන්ගේ අලෙවිය යම් ප්‍රමාණයක් පහත වැටුණු බව එම සමාගම් පිළිගෙන තිබිණි.

"ඇත්තටම ගොඩක් තරුණ අය ඒ බීම වර්ග ප්‍රතික්ෂේප කළා ඒ අවස්ථාවේ. මොකද එකේ රතුපාටින් අධික සීනි තියෙනවා කියලා සඳහන් කර තිබුණා. ඒවායේ අලෙවිය පහත වැටුනා. අඩු සීනි තියෙන ඒවා මිනිස්සු වැඩියෙන් ගත්තා" කොළඹ සුපිරි වෙළෙඳසලක කළමනාකාරියක් වන බිනුරි පෙරේරා බීබීසි සිංහල සේවයට කියා සිටියාය.

"අද ඒ ජනප්‍රිය බීම සමාගම් ගොඩක් සීනි අඩු බීම හඳුන්වලා දීලා තියෙනවා, සමහර අය සීනි ප්‍රමාණය අඩුකරලා තියෙනවා" ඇය කියා සිටියාය.

වසර තුනකට පෙර හඳුන්වාදුන් මෙම ක්‍රමය සාර්ථකදැයි සමාජ මාධ්‍ය මගින් කළ විමසුකට ලැබුණු පිළිතුරු වලින් 90%ක් පමණ පැවසුවේ මෙම ක්‍රමය සාර්ථක බවය. තමන් බීම බෝතලයක් මිලදී ගැනීමට පෙර මේ ගැන විමසිලිමත් වන බව බොහෝ දෙනා පවසා තිබිණි.

"මගේ ප්‍රියතම බීම වර්ගය මම පානය කරන්නේ නැහැ දැන් එකේ සීනි ප්‍රමාණය දැක්කම" නුවන් රණසිංහ කියා සිටියේය. "මම මිලදී ගන්නේ ලේබල් එක බලලයි. මේක සාර්ථක ක්‍රමයක්" මිත්‍රා ගුණසේකර සඳහන් කර තිබුණි. "මේක හොඳ ක්‍රමයක්, අනිත් ආහාරවලත් හඳුන්වා දෙන්න". නිමේෂා විජේසිරිවර්ධන සඳහන් කළාය.

"මේක සාර්ථකයි කියලා මම හිතන්නේ නැහැ. මොකද සිගරට් පෙට්ටියේ පිළිකා හැදෙනවා කියලා පින්තුර එක්ක දාලා තියෙනවා. නමුත් භාවිතයේ අඩුවක් නැහැ. ඒ වගේ තමයි මේකත්" ෆෛසල් රසාන් මෙම ක්‍රමය සාර්ථක නොවන බව පවසමින් තම අදහස එක් කර තිබුණි.

Image copyright Getty Images

"මේ බීමවල සීනි ප්‍රමාණය අඩුකරන්න ඔවුන් කෘත්‍රිම රසකාරක භාවිතා කරනවා. මට එහෙම අඩු සීනි බීම බිව්වම විවිධ සංකුලතා ඇතිවුනා. මට හිතෙනවා සීනි වලට වඩා ඒවා අහිතකරයි කියලා" අයිශානි ජයසිංහ කියා සිටියාය. ඇය මෙන්ම තවත් කිහිපදෙනෙක් චෝදනා කර තිබුණේ සිසිල් බීම සමාගම් රතු ලේබලයෙන් තම බීම වර්ගය ගලවා ගැනීමට කෘතීම රසකාරක භාවිතා කරන බවය.

බීබීසි සිංහල සේවය මෙම තත්ත්වය ගැන කරුණු විමසීමට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සිසිල් බීම සමාගම් කිහිපයක්ම සම්බන්ධ කරගැනීමට දැරූ උත්සාහය අසාර්ථක විය. නම් සඳහන් කිරීමට අකමැතිවූ එක් සමාගමක ප්‍රධානියකු පැවසුවේ සීනි වෙනුවට දැන් භාවිත කරන රසකාරක ශරීරයට අහිතකර නොවන බවය. පාරිභෝගිකයන්ගෙන් සීනි අඩු බිම සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවෙමින් තිබෙන බව පැවසූ ඔහු බීම වර්ග රැසක්ම දැන් සීනි ප්‍රමාණය අඩුකර නැවත වෙළෙඳපොළට හඳුන්වාදී ඇති බව කියා සිටියේය.

බීම වර්ගවල සීනි ප්‍රමාණය මත පැනවූ අධික බදු මුදල ද සීනි අඩු බීම සඳහා තම සමාගම් යොමුවීමට හේතුවී ඇති බව ඔහු පැවසීය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ සිසිල් පැණි බීම වර්ණ සංකේත ක්‍රමය හා සීනි සඳහා පැනවු බදු ක්‍රමයේ සාර්ථකත්වය නිසා එම ක්‍රම දැන් ඝණ හා අර්ධ ඝණ ආහාරවලට හඳුන්වා දී ඇති බවය.

ඝණ හා අර්ධ ඝණ ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය ඇතුළත් වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රමය මේ වසරේ ජුනි මස 01 දා බලාත්මක කර තිබේ. කෙසේ වෙතත් මෙම නියෝගයන්ට අනුකූලවීම සඳහා කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට යම් කාලයක් දී තිබේ.

"2016 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි පැණිබීම සඳහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කළා. එහිදී ප්‍රධාන පෙළේ බහුජාතික පැණිබීම සමාගම් සීනි භාවිතය සියයට 10 කින් අඩු කිරීම ප්‍රගතිශීලී පියවරක්. 2018 වසරේ සිට පැණිබීම වර්ගවල සෑම සීනි ග්‍රෑමයකටම සත 50ක බද්දක් අය කළා. මේ නිසා පැණිබීම වෙළෙදාම අඩු වූ නිසා සීනි රහිත බීම වෙළෙදපොළට හඳුන්වා දුන්නා.

රසකැවිලි නිෂ්පාදන සමාගම් විසින් වසරකට අලෙවි කරන බිස්කට් තොගය ටොන් 80,000ක් වෙනවා. ඒවායේත් සීනි භාවිතය අඩු කළ යුතුයි. ඒවගේම රස කැවිලි වලටත් මේ දේ බලපානවා. මේ සියල්ලේම සීනි භාවිතය අඩුකළ යුතුයි" සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේය.

"අපිට තියෙන ලොකුම අභියෝගය තමයි බෝ නොවන රෝග. ඒ රෝග ඇතිවීමට ප්‍රධාන හේතුවක් තමයි මේ වැරදි අහාර. ලුණු, පිටි, සීනි, තෙල් අධික ලෙස භාවිතය. මේවා අඩුකරන්න අපි පුළුවන් තරම් උත්සාහ කළ යුතුයි" ඔහු කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර