'දීඝ දන්තු 1': හඳුනා නොගත් ඇත්තු ඉන්න පුළුවන්ද? - පරිසරවේදීහු ප්‍රශ්න කරති

Image caption 'දීඝ දන්තු 1' අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවෙතැයි විශ්වාස කෙරේ

"ඇත් පොරයකට" මැදිව මරණයට පත්ව ඇතැයි විශ්වාස කෙරුණු 'දීඝ දන්තු 1' නමැති ඇතා යළි වනයෙන් මතුව ඇති බවට වාර්තා පළ වේ.

ඇතින්නක් මුල් කර ගනිමින් රේවත නමැති තවත් ඇතෙකු සමග ඇති වූ සටනකින් 'දීඝ දන්තු 1' මරණයට පත්ව ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ විය.

එවැනි වාර්තා පළ වූයේ 'දීඝ දන්තු 1' ගේ බවට සැක කෙරෙනු මළ ඇතෙකුගේ සිරුරක් අගෝස්තු 28 වෙනිදා කලාවැව ඉස්මත්තේ තිබී හමුවීමත් සමගය.

මේ අතර 'දීඝ දන්තු 1' යළි වනයෙන් මතු වී ඇති බව සඳහන් කරමින් බදාදා (සැප්තැම්බර් 11) සමාජ ජාල ඔස්සේ ඡායාරූප දෙකක් පළ විය.

Image caption සමාජ ජාල ඔස්සේ බදාදා (සැප්තැම්බර් 11) පළ වූ ඡායාරූප

ඉහත කී ඡායාරූප සම්බන්ධයෙන් විමසීමකදී කලාපයේ ජ්‍යෙෂ්ඨ වනජීවී නිලධාරියෙකු බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ අදාළ ඡායාරූප සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන බවය.

මේ වන විටත් ඇතා සැරිසැරූ බව පැවසෙන ප්‍රදේශය වෙත වනජීවී නිලධාරීන් ගොස් ඇති බව ඔහු පැවසීය.

"මේ 'දීඝ දන්තු 1' ම දැයි නිශ්චිත වශයෙන් කිව හැක්කේ වනජීවී නිලධාරීන් විසින් ඇතා නිරීක්ෂණය කරනු ලැබීමෙන් පසු පමණයි" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කලාවැව ඉස්මත්තේ තිබී සොයා ගත් මළ ඇතාගේ සහ 'දීඝ දන්තු 1' ඇතා ගේ දළ යුගලේ දිග, හැඩය සහ ප්‍රමාණය බොහෝ සෙයින් සමාන බැවින් මරණයට පත්ව ඇත්තේ 'දීඝ දන්තු 1' යැයි සැක කෙරුණු බව ඉහත කී වනජීවී නිලධාරියා මීට ඉහතදී බීබීසීය වෙත පැවසීය.

මිය ගොස් ඇත්තේ 'දීඝ දන්තු 1' ඇතාම දැයි නිශ්චිතව කිව හැක්කේ කලාපයේ වෙසෙන සෙසු ඇතුන් පිළිබඳ නිරීක්ෂණය කර ඔවුන් අතර 'දීඝ දන්තු 1' නොමැති දැයි යන්න තහවුරු කර ගැනීමෙන් පමණක් බවත් ඔහු එහිදී සඳහන් කළේය.

මැරුණු ඇතා කවුද?

පරිසරවේදීන් පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ ඇත් ගහනය 100 කට අඩුය.

ඇතුන් සුළු සංඛ්‍යාවකගේ ආරක්ෂාව සහ ගමන් මග නිරීක්ෂණය කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් නොකිරීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව වෙත පරිසරවේදීහු සහ සත්ව සුභ සාධනය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයෝ වනජීවී දෙපාර්තමේන්තුවට චෝදනා කරති.

"කලාවැව ඉස්මත්තේදී මරණයට පත් ඇතාට නමක් ගමක් හඳුනාගැනීමක් නැහැ. ඒකත් ප්‍රශ්නයක් තමා. මොකද යන්තම් දළ කොට දෙකක් තියෙන එකාවත් හඳුනාගෙන ඌට නමක් දානවා. හැබැයි අඩි 05 ක්විතර දිග යුගලයක් හිමි සතා මොකාද මරණය කුමක් නිසා වුනාද දන්නේ නැහැ ඒක අභිරහසක්," යනුවෙන් 'තිසාවැව සංවිධානය' මරණයට පත් ඇතා සහ 'දීඝ දන්තු 1' ගේ "යළි පැමිණීම" සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ අදහස් දක්වා තිබිණි.

"දීඝ දන්තු 1 ඉන්නවා කියමු. එහෙම නම් කලාවැව ඉස්මත්තේදි හමු වුණු ඇතා කවුද? ලංකාව පුරාම ඇත්තු ඉන්නේ සීමිත සංඛ්‍යාවක්. එහෙම තිබෙද්දී වනජීවී එක හඳුනා නොගත්තු ඇත්තු ඉන්නේ කොහොමද?" යනුවෙන් සත්ව සුභ සාධනවේදිනියක වන ඉරාකි කොඩිතුවක්කු ප්‍රශ්න කරයි.

"මේ සුවිශේෂී අලින්ට, ඇතුන්ට නම් දාල තියෙන්නේ පරිසරවේදීන් සහ ඡායාරූප ශිල්පීන්. එතකොට වනජීවී එකට මේ ඇත්තු හඳුනා ගන්න වෙන ක්‍රමවේදයක් නැද්ද? දීඝ දන්තු 1 ප්‍රසිද්ධයි, ලස්සනයි. ඒ නිසා ඒ ඇතා ගැන හැමෝම කතා කරනවා. හැබැයි මැරුණු ඇතා දීඝ දන්තු 1 නෙමෙයි නම් ඒ ඇතා කවුද කියලා දැන ගන්න බැරි ඇයි? එවැනි ඇත්තු 'ට්‍රැක්' කරන්න ක්‍රමයක් නැත්තේ ඇයි?"

Image copyright Getty Images
Image caption ජීපීඑස් කොලරයක් පැළඳවීම සඳහා සිහිසන් කළ අප්‍රිකානු ඇතෙක්

අලි ඇතුන්ගේ එදිනෙදා චර්යාව සහ ගමන් මග නිරීක්ෂණය කිරීම සඳහා දකුණු අප්‍රිකාව වැනි රටවල් විවිධ උපායමාර්ග භාවිත කරති.

කලක් දෙස් විදෙස් සංචාරකයන් වසඟ කර ගෙන සිටි කෘගර් වනයේ රජු ලෙස විරුදාවලි ලත් 'ඩියුක්' නමැති ඇත් රජුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු බලධාරීන් ගෙන තිබූ ක්‍රියාමාර්ග ඊට එක් උදාහරණයකි.

'ඩියුක්' වයස්ගත වෙත්ම ඔහුගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කිරීම සඳහා ජීපීඑස් කොලරයක් පැළඳවීමට දකුණු අප්‍රිකාවේ කෘගර් ජාතික වනෝද්‍යානය කටයුතු කර තිබිණි.

2011 වසරේ ඔක්තෝබර් 01 වෙනිදා මිය ගිය ඩියුක් ඇත් රජු කෘගර් වනය තුළ වසර පනස් පහකට අධික කාලයක් දිවි ගෙවා ඇති බව එහි වනෝද්‍යාන පාලකයෝ පවසති.

Image copyright Asanka Premaratne
Image caption 'තිලක්' නමැති ඇතා

යාල වනෝද්‍යානයේ විසූ 'තිලක්' නමැති ඇතා 2017 වසරේදී මරණයට පත් වූයේ තවත් ඇතෙකුගේ දළ පහරිනි.

ඇතාගේ මරණයට ස්වාභාවික සංසිද්ධියක් බලපෑව ද කලක් මුළුල්ලේ අයහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවූ 'තිලක්ගේ' ගමන් මග නිරීක්ෂණය කිරීම සඳහා ඔහුට ජීඑස්පී කොලරයක් පළඳවා නොතිබූ බව පරිසරවේදී නයනක රන්වැල්ල එවක පැවසීය.

ඇතුන්ගේ ගමන් මග නිරීක්ෂණය (ට්‍රැක්) කරනු වස් ජීපීඑස් (GPS) කොලර පැළඳ වීමට බල කිරීම සඳහා වනජීවී නිලධාරීන් සහ සත්ව සුභ සාධන වේදීන් සහ පරිසරවේදීන් අතර සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 12) සවස පැවැත්වෙන බව ද ඉරාකි කොඩිතුවක්කු බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවාය.

GPS අවදානම

වන අලින්ගේ ගෙල වටා ජීපීඑස් (GPS) කොලර පළඳවනු ලබන්නේ ඔවුන්ගේ හැසිරීම් රටාව හා සංචරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විපරමින් සිටීම සඳහාය.

එමෙන්ම රක්ෂිත ප්‍රදේශ වලට මුදා හරින වන අලින්ට ද එම කොලර දමනු ලැබේ.

අලි ඇතුන්ට එම කොලර යොදන්නේ අවුරුදු තුනක් අවසානයේ ඉබේ ගැලවී යන ලෙසය.

ඉක්මනින් වැඩෙන වයසේ අලි ඇතුන්ට ජීපීඑස් (GPS) කොලර පැළඳවන්නේ නම් ඔවුන් අධීක්ෂණය කිරීම ද ඉතා වැදගත්ය. ජීපීඑස් කොලරය නියමිත කාලය තුළ ගැලවී නොයාම හමුවේ ගෙල සිර වී ඒ වටා ඇති වූ තුවාල හේතුවෙන් ජීවිත අවදානමට මුහුණ දුන් අලි පිළිබඳ මීට ඉහතදී වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාවේ අලි ගහනය

ශ්‍රී ලංකාව තුළ අලි අතුන් 7000 ආසන්න සංඛ්‍යාවක් වෙසෙන බව පරිසරවේදීන්ගේ මතය වී තිබේ.

සැප්තැම්බර් පැවැත්වීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වන අලි සමීක්ෂණය කල්දැමීමට තීරණය කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර