විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද: පහසුකම් සැපයීමට රටවල් 45ක් සූදානම්; ලංකාවේ සූදානමක් නැහැ

Getty Images Image copyright Getty Images

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැපයීමට සූදානම් බව ඒ ගැන සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට රටවල් 45කින් දන්වා තිබෙන බව එම කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ඔහු පැවසුවේ, අදාළ කාරක සභාව මේ වනවිට කෙටුම්පත් වාර්තාවක් සකසා ඇති බැවින් එය නුදුරේදී ම පාර්ලිමේන්තුවට සභාගත කෙරෙන බවය.

එහෙත් එම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා "දේශපාලන පක්ෂ වලින් ලැබෙන සහය ඉතාම දුර්වල" බව ඔහුගේ අදහස වෙයි.

"එළඹෙන ජනාධිපතිවරණයට මේක ක්‍රියාත්මක කරන්න බැරි වෙයි, කාටවත් වුවමනාවක් නැති නිසා. නමුත් මහ මැතිවරණයට අනිවාර්යෙන්ම මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද පාර්ලිමේන්තුව විසිරුවා හැරියත් මෙවැනි විශේෂ කාරක සභා විසිරයන්නේ නෑ. ඒක නිසා මේ කෙටුම්පත් කරලා තිබෙන වාර්තාවම ඉදිරිපත් කරන්න පුළුවන්. ආපසු පස්සට යන්න ඕනේ නෑ - මේ වාර්තාවම යොදා ගන්න පුළුවන්."

"විදේශ කටයුතු අමාත්‍යාංශය, විදෙස් සේවයේ නියුතු නිලධාරීන් 486ක ලැයිස්තුවක් දීලා තිබෙනවා මේ කටයුතු සඳහා යොදා ගැනීමට," හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා හෙළිදරව් කළේය.

2019 ජනාධිපතිවරණය මේ වසරේ දෙසැම්බර් 7 වෙනිදාට පෙර පැවැත්වීමට කටයුතු සකස් කෙරෙමින් පවතින බව මැතිවරණ කොමිසම පවසයි. එසේම 2020 මාර්තු මාසය වනවිට මහ මැතිවරණය පැවැත්වීමට නෛතිකව ඉඩකඩ ලැබේ.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ එක් තේමා පාඨයක් වන්නේ "කිසිදු ඡන්ද හිමියෙකු අත්නොහැරෙන මැතිවරණ ක්‍රියාවලියක්" යන්නය.

විශේෂයෙන්ම සිවිල් සංවිධාන, ඇතැම් දේශපාලන පක්ෂ සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල බල කීරීම් මත 2016 දෙසැම්බර් මාසයේදී කථානායක කරු ජයසුරිය විසින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන්නේ කෙසේදැයි සොයා වාර්තා කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරනු ලැබිණි.

එම විශේෂ කාරක සභාවේ සභාපතිත්වයට පත් කෙරුණේ එවක "විදෙස් රැකියා කටයුතු" අමාත්‍යවරිය ලෙස කටයුතු කළ තලතා අතුකෝරළ ය. එම විශේෂ කාරක සභාව පස් වරක් රැස්වී ඉහත සඳහන් කෙටුම්පත් වාර්තාව සකසා ඇත.

Image copyright CMEV

කාරක සභාව සොයාබලා ඇති කරුණු:

1. රටින් බාහිරව සිටිමින් ඡන්දය භාවිත කිරීම සඳහා වෙනත් රටවල් භාවිත කරන ක්‍රමවේද

2. දැනට විදෙස්ගත රටවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සපයන රටවල්

3. මැතිවරණ කොමිසමේ මතය

ඇතැම් විදෙස්ගතවූවන් තීරණාත්මක මැතිවරණයක් පැවැත්වෙන විට නැවත මව්බිමට පැමිණ ඡන්දය ප්‍රකාශ කරන බවද කාරක සභාවට පෙනීගොස් තිබේ.

වෙනත් රටවල් භාවිත කරන ක්‍රමවේද අතර සිය රටේ තානාපති කාර්යාලවලට පැමිණ ඡන්දය භාවිත කිරීම, තැපැල් ඡන්දය, සහ අන්තර්ජාලය ඔස්සේ ඡන්දය ප්‍රකාශ කිරීම බහුලව සිදුවන බව කාරක සභාව හඳුනාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසීය.

"අපි මේකෙන් හඳුනා ගත්තා වඩාත් ප්‍රායෝගික හැකියාව තියෙන්නේ සහ ගැටලු අඩු, තානාපති කාර්යාලයට ඇවිල්ල ඡන්දය පාවිච්චි කරන ක්‍රමවේදය සහ තැපැල් ඡන්දය කියන එක. වාසි අවාසි දෙකම තියෙනවා. මොකද තැපැල් ඡන්දය මගින් ඡන්දය ප්‍රකාශ කරන විට අදාළ පුද්ගලයා ම ඡන්දය දුන්න ද කියල තහවුරු කර ගැනීමේ ගැටලුව. "

'අවුරුදු පහක් ඇතුළත එක වාරයක්වත් ලංකාවට ඇවිල්ලා තියෙන්න ඕනේ' යන්න ඡන්දය දීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන සාධකය ලෙස කාරක සභාව තීරණය කර ඇත.

"අපේ රටේ ජාතික ආදායමෙන් 35% එකතු කරලා දෙන්නේ මේ අය. ඒ වගේම රටේ ජනගහනයෙන් 10%ක්. ඉතිං මේක අත හරින්න බෑ කොහොමවත්," හඳුන්නෙත්ති පවසයි.

මැතිවරණ කොමිසමේ මතය:

මැතිවරණ කොමිසමේ මතය කුමක්දැයි එහි සාමාජික රත්නජීවන් හූල් ගෙන් බීබීසී සිංහල සේවය විමසීය.

"මේ සඳහා උත්තරය එන්න ඕනේ පාර්ලිමේන්තුවෙන්. තර්කානුකූලව වගේම මූල්‍යමය වශයෙනුත් විශාල දෙයක් කිරීමට තිබෙනවා," හේ පැවසීය.

"අපි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය පාවිච්චි කිරීමට පහසුකම් ලබා දීමට සාකච්ඡා කළා. සමහර පක්ෂ යෝජනා කරන්නේ ක්‍රමානුකූලව පියවරින් පියවර එය කළ යුතුයි කියලා. ඔවුන් යෝජනා කරන්නේ දකුණු කොරියාවෙන් පටන්ගමු කියලා. නමුත් සමහර පක්ෂ ඊට විරුද්ධයි, පහළ ශ්‍රේණිවල සේවකයෝ වමේ පක්ෂවලට ඡන්දය දෙයි කියලා. නමුත් දෙමළ ජනගහනය සැලකිය යුතු පිරිසක් වෙසෙන බටහිර රටවල මෙම පහසුකම ස්ථාපනය කරනවාට කිසිකෙනෙක් කැමති නැති බවක් තමයි මගේ අදහස."

"අපි ඒ වගේම තානාපති කාර්යාලවල නිලධාරීන් තේරීම්භාර නිලධාරීන් ලෙස පත්කිරීමට විරුද්ධයි. ඒ බොහොමයක් අය දේශපාලන පත්වීම ලබපු අය නිසා. නමුත් නිලධාරීන් විදෙස් රටවලට යවන එක වියදම් අධික වැඩක්. එසේම ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ඉන්න රටවල සේවකයින්ට නිවාඩු හෝ ඡන්දය දාන්න තානාපති කාර්යාලයට යන්න ගමන් පහසුකම් නොතිබෙන්න පුළුවන්."

එමනිසා "අන්තර්ජාලය ඔස්සේ ඡන්දය පාවිච්චියට පහසුකම් සැපයිය යුතුය" යන්න මැතිවරණ කොමිසමේ අදහස බව එහි සාමාජික රත්නජීවන් හූල් කීය.

"එස්තෝනියාව ඉතා සාර්ථක ලෙස අන්තර්ජාලයෙන් ඡන්දය දීමට පහසුකම් සපයල තිබෙනවා. එසේම ඇමෙරිකානු හමුදා භටයින්ට පිට රට කොහේ හිටියත් අන්තර්ජාලයෙන් ඡන්දය දෙන්න පුළුවන්."

"අපේ රටේ ප්‍රවනතාවක් තියෙනවා කුමන්ත්‍රණ න්‍යායන් පිළිගැනීමට. අන්තර්ජාලය හරහා ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව දීමට පැකිලීමක් තිබීමට එය එක් හේතුවක්."

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට යම් ස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට හෝ අන්තර්ජාලය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැපයීමට හෝ එම ක්‍රමවේද දෙකටම පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණහොත් එය ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිසමට පියවර ගත හැකි බව රත්නජීවන් හූල් කීවේය.

"ඡන්ද ප්‍රතිඵල උඩු යටිකුරු වෙයි"

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ "සෑම මැතිවරණයකදීම අත්හැරෙන විදෙස්ගත ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව මිලියන දෙකකට ආසන්න වීම කවර පසුබිමක් යටතේ සලකා බැලුවද සාධාරණීකරණය කළ නොහැක්කක්" බවය.

ශ්‍රී ලංකාව එකඟතාව පළ කර ඇති ජාත්‍යන්තර සම්මුතීන් සහ 2008 වසරේදී මෙරට එළිදැක්වූ "සංක්‍රමණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය" මගින් ද විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කර තිබේ.

"විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කරන්න හැකි වුණොත් මැතිවරණ ප්‍රතිඵල උඩු යටිකුරු වෙයි. එමනිසා සමහර දේශපාලන පාර්ශ්ව ඊට වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ," මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මංජුල ගජනායක පෙන්වා දෙයි.

"ඇමෙරිකානුවෙක් අභ්‍යවකාශයට ගියත් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දෙන්න බලධාරීන් කටයුතු කරනවා."

"2011 ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කොලොන්න ආසනය එක්සත් ජනතා නිදහස් සන්ධානය දින්නේ එක ඡන්දයකින්. එමනිසා ඡන්ද ලක්ෂ 21ක වටිනාකම අපි හඳුනාගත යුතුයි", ගජනායක පැවසීය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු:

"මම ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට ආවේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා. පීඑච්ඩී එක කරන්න. එළඹෙන ජනාධිපතිවරණයට ඡන්දය දාන්න වෙන්නේ නෑ. නමුත් මගේ සමහර පිටරට යාළුවන්ට ඒ ගොල්ලන්ගේ රටේ මැතිවරණ වලදී ඡන්දය හැකියි. මමත් ඡන්දය දාන්න කැමතියි. ඒ තත්ත්වයට යන්න අපිට තව කල් යයි වගේ."

බීබීසී සිංහල සේවයට එසේ පැවසුවේ දැනට ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියකි.

සිය නම සඳහන් නොකරන ලෙස ඇය ඉල්ලා සිටියාය.

එක්සත් රාජධානියේ වෙසෙන කාන්තාවන් දෙදෙනෙක් ද මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී උනන්දුවකින් යුතුව සිය අදහස් පළ කළහ.

"අපි වගේ පිට රටවල ඉන්න හැමෝටම ඡන්දයක් පැවැත්වෙන හැම වෙලාවේම ශ්‍රී ලංකාවට යන්න හැකියාවක් නැහැ. ඇත්තෙන්ම මම මගේ ඡන්දය ප්‍රකාශ කරන්න උනන්දුයි. ඒ නිසා පිට රටවල ඉන්න අයට ඡන්දය ප්‍රකාශ කරන්න වැඩපිළිවෙලක් ඇතිවෙනවානම් ගොඩක් හොඳයි." යනුවෙන් පැවසූ ලලනි දිසානායක සෞඛ්‍ය අංශයේ රැකියාව කරන තැනැත්තියකි.

"ඉස්සරට වඩා දැන් රටේ ඡන්දය ලබාගන්න උත්සාහ කරන්නේ බලහත්කාරයකින් වගේ. ඒත් රටින් පිට ඉන්න අපිට ඒ වගේ බලපෑමක් නැහැ. හොඳට හිතලා මතලා තීරණයක් ගන්න අපට ඉඩ කඩක් තිබෙනවා කියල හිතෙනවා. ඉතින් අපටත් ඡන්දය ප්‍රකාශ කරන්න වැඩපිළිවෙලක් තිබුණොත් අනිවාර්යයෙන් ම ඡන්දය දෙනවා" යැයි නිසංසලා හේරත් පැවසුවාය.

පෙරකී කථිකාචාර්යවරිය සිය අදහස් දැක්වීම අතරේ මෙසේ ප්‍රශ්න කළාය.

"මම තව අවුරුදු තුන හතරකින් ශ්‍රී ලංකාවට යනවා. ඉතිං රටේ ජනාධිපති කෙනෙක් තෝරන විට, ශ්‍රී ලාංකිකයෙක් කොහේ හිටියත් ඔහුට හෝ ඇයට ඡන්දය දාන්න පුළුවන් නම් ඒක කොච්චර හොඳද. විදෙස්ගත අපිට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද?"

එහෙත් ඇයගේ ප්‍රශ්නයට පිලිතුරක් සැපයීම අපහසු වී තිබෙන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීමට බලධාරීන් තවමත් අසමත් ව සිටින බැවිනි.

ඉහළ යන ඡන්දදායක සංඛ්‍යාව

ශ්‍රී ලංකාවාසීන් 1931 දී සර්වජන ඡන්ද බලය හිමි කරගත්තේය. ඒ සමගම වයස අවුරුදු 21න් ඉහළ ජනතාවට ඡන්ද බලය හිමි විණි.

රට තුළ ජනගහනය ක්‍රමානුකූලව ඉහළ යාමත් ඡන්ද බලය හිමිවන වයස අවුරුදු 18 දක්වා අඩුකිරීමත් නිසා සර්වජන ඡන්ද බලය හිමි රටවැසියන්ගේ ප්‍රමාණය වාර්ෂිකව ඉහළ යයි.

ඒ අනුව 2019 ජනාධිපතිවරණය සඳහා ආසන්න වශයෙන් මිලියන 16ක ප්‍රමාණයකට ඡන්ද බලය හිමිව තිබේ. ඊට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ද ඇතුළත් ය.

සංක්‍රමණික සේවකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය 1990 දී එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී සම්මත විය.

විදෙස්ගත තම ජනතාවට ඡන්ද බලය ලබා දීමට රාජ්‍යයන් ක්‍රියා කළ යුතු බව එම සම්මුතියේ 41ක් වැනි වගන්තියේ පැහැදිලිව සඳහන් වේ.

එය උපයෝගී කර ගනිමින් වර්ෂ 2000 දී පමණ සිට මෙරට සිවිල් සංවිධාන කිහිපයක් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ඡන්ද බලය දිනා දීම සඳහා දේශපාලන බලාධිකාරිය මෙන්ම මැතිවරණ කොමිසමට ද බල කරති.

රටින් පිට ජීවත් වන ශ්‍රී ලාංකිකයන් හට තම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබෙන බැවින් ඔවුන්ට ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස හිමිවිය යුතු අයිතිවාසිකමක් අහිමි ව ගොස් ඇති බවට ද අදහස් පළවේ.

මැද පෙරදිග, ඉතාලිය, දකුණු කොරියාව, බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සහ කැනඩාව වැනි රටවල සැලකිය යුතු ශ්‍රී ලාංකිකයෝ ප්‍රමාණයක් වෙසෙති.

ඔවුන් රැකියා, ඉගෙනීම හෝ ස්ථීර පදිංචිය සඳහා එම රටවලට ගොස් ඇත. සමහරුන්ට ද්විත්ව පුරවැසිභාවය ද හිමිය.

Image copyright Getty Images
Image caption කොළඹ පිහිටි මාලදිවයිනේ තානාපති කාර්යාලයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට සැරසෙන එරට කාන්තාවක්

මේ වනවිට ලොව පුරා රටවල් 115ක් පමණ සිය පුරවැසියන්ට වෙනත් රටක සිටින අතරතුරදී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සපයාදීමට සමත්ව තිබේ.

අසල්වැසි මාලදිවයින මෙන්ම ඉන්දියාව, පිලිපීනය සහ ඉන්දුනීසියාව වැනි ආසියානු රටවල් ද විදෙස්ගත සිය පුරවැසියන්ට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දෙති.

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර