ජනාධිපතිවරණය: "අපේක්ෂකත්වයට මටත් ඉල්ලීම් තිබෙනවා" - කරු

කරූ / සජිත් Image copyright Getty Images/BBC

ජනාධිපති ධුරාපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වන ලෙස තමන්ට ද ඉදිරිපත්වී ඇති ඉල්ලීම් ගැන පැහැදිලි කරමින් කතානායක කරු ජයසූරිය ද අද නිවේදනයක් නිකුත් කළේය.

මේ වන විට ජනාධිපති ධුරාපේක්ෂකත්වය සඳහා ඇති සිය අරමුණ හෙළි කර ඇති එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඒ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කිරීම සඳහා අද උදෑසන පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පැය කිහිපයක් ඉකුත් වෙද්දී කතානායක කරූ ජයසූරිය ද ඒ සම්බන්ධයෙන් තමන්ට ඇත්තේ කෙබඳු සූදානමක්දැයි යන්න නිවේදනයෙන් පැහැදිලි කළේය.

ජනාධිපතිවරණයට  ඉදිරිපත් වන ලෙස තමන්ට "ගෞරවනීය නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සහ අනෙකුත් පුජ්‍ය ප්‍රසාදීන් වහන්සේ, විවිධ සිවිල් සංවිධාන ප්‍රධානීන්,විශ්වවිද්‍යාල ආචාර්යවරු හා විවිධ ක්ෂේත්‍රවල  බුද්ධිමතුන්, වෘත්තිකයන්, තරුණ සංවිධාන නියෝජිතයින් මෙන්ම දේශපාලන ක්‍රියාකාරින්ගෙන්" ඉල්ලීම් ලැබී තිබෙන බව කරු ජයසුරිය කතානායකවරයා පවසයි. 

මේ අතර අද උදෑසන පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂය තුළින් මේ සඳහා තවත් දෙනා ඉදිරිපත්වන්නේ නම් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ ජන්ද විමසීමක්  හරහා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් යටතේ ජනාධිපති අපේක්ෂකයා තේරීම කළ යුතු යැයි යන්න තම ඉල්ලීම වන බවය,

මංගල සමරවීර අමාත්‍යවරයාගේ නිල නිවසේදී එම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැතිවිණි.

විධායක ජනාධිපති සාධකය

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙන්ම කතානායක කරූ ජයසුරිය ද අද දින 'විධායක ජනාධිපති ධුරය' යන සාධකය සම්බන්ධයෙන් යම් පමණකට සිය මතය ගෙන හැර දැක්වුහ.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසුවේ විධායක ජනාධිපතිධුරය අහෝසිකළ යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් "නිසි විද්‍යාත්මක සමීක්ෂණයක්  සිදුවී නොමැති" බවකි. ජිවන වියදම වැනි කරුණු ජාතික දේශපාලනයේ ඊටත් වඩා වැදගත් කරුණක් බව ඔහු එහිදී සඳහන් කළේය. 

මීට වෙනස් වූ ස්ථාවරයක් කතානායක කරූ ජයසූරිය අද නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

ඔහු අවධාරණයෙන් කියා සිටින්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමන්ට ලැබී  ඇති කවර  ඉල්ලිමක් වුවද සලකා බැලිය හැක්කේ, 1995 වසරේ සිට තමන්  අඛණ්ඩව පෙනී සිටි විධායක ජනාධිපති ධූරය අහෝසි කරලීමේ පරමාර්ථය මුඛ්‍ය අරමුණ කොටගත් දේශපාලන බලවේග සමඟ එක්වීමකින්  පමණක් බවය.

"එමෙන්ම 17 වන සංශෝධනය මඟින් ඉදිරිපත් කරන ලදුව 19 වන සංශෝධනය මඟින් තහවුරු කළ  දියුණු  ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන් සමඟ පමණි. එය දියුණු  ප්‍රජාතන්ත්‍රවාදයක්  සහිත  ආර්ථික හා සදාචාරාත්මක වශයෙන්  ශක්තිමත්  සුරක්ෂිත දේශයක් උදෙසා පදනම සැකසීම පිණිස  යම් නිශ්චිත සීමිත කාලයක්  සඳහා කරනු ලබන කැපවීමක් මිස කිසිවිටකත් ජනාධිපති තනතුර අපේක්ෂාවෙන්  කරන මැදහත්විමක් නොවන බවද අවධාරණය ‍කරමි" යනුවෙන් එහි දැක්වේ.

තමන් එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන කොටගත්  පාර්ශව නියෝජනය කරමින් එලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් එය පක්ෂයෙහි ව්‍යවස්ථාවට අනුකූලව සියලු පාර්ශවයන්ගේ ආශිර්වාදය ද සහිතව සිදුවිය යුතු බව තම  හැඟීම බවද ඔහු සඳහන් කර ඇත.

මේ අතර ඊයේ (සැප් 16) පැවති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම ඒ සම්බන්ධයෙන් පත් කෙරුණු කමිටු වාර්තාව ලැබුණු සැණින් සිදුකරන බව එක්සත් ජාතික පක්ෂ නායක අගමැති  රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. 

අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, රංජිත් මද්දුම බණ්ඩාර හා කබීර් හෂීම් ඇතුළු පිරිසක් එම කමිටුවට ඇතුළත්ව තිබේ. 

'ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත'

මේ අතර එක්සත් ජාතික පක්ෂයට සහය දෙන ජාතික හෙළ උරුමය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ තම කඳවුරේ ජනාධිපති අපේක්‍ෂකයා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රී කණ්ඩායම රැස් කර තෝරා ගෙන පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවය.

පුළුල් සන්ධානයකින් තරග කිරීමේ අපේක්ෂාවක් තිබීම හා එක්සත් ජාතික පක්ෂයට මෙතෙක් සිය යෝජනාව ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී නැති හෙයින් ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 106 දෙනා කැඳවා බහුතර කැමැත්ත මත අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු යැයි යන්න සිය පක්ෂයේ යෝජනාව බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය චම්පික රණවක කියා සිටියේය. 

"දැනට පාර්ලිමේන්තුවේ 106 න් 77 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට අයිතියි. අනෙකුත් අය අනෙක් පක්ෂවලටඅයිතියි. එතකොට අපගේ යෝජනාව මේක දිගටම, අරයද, මෙයාද, ජනමත සමීක්‍ෂණ ද නැද්ද කියලාසාකච්ඡා කර කර ඉඳීමෙන් අපි කාලය නාස්ති කරලා වැඩක් නැහැ. අපි වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙමින් මේපාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා ඉන්න 106 අතරින් සුදුසු ජනාධිපති අපේක්ෂකයා පත් කර ගත යුතුයි. එයවඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීයි" ඔහු වැඩිදුරටත් කීය.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මාධ්‍යට අදහස් දක්වමින්, අමාත්‍ය  සජිත් ප්‍රේමදාසට තම පක්ෂයේ සහය ලබා දීමේ වැඩි උනන්දුවක් පවතින බව පවසා තිබේ. එක්සත් ජාතික පක්ෂය තම අපේක්ෂකයා පිළිබඳ ඉක්මණින් අවසන් තීරණයක් ගනු ඇති බව තම විශ්වාසය බව ඔහු එහිදී කියා සිටියේය. 

ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකයක් වන දෙමළ ජාතික සන්ධානය මෙතෙක් තම සහය දෙන අපේක්ෂකයා ගැන අදහස් පළකර නොමැති නමුත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මාධ්‍යට කරුණු දක්වමින් පවසා තිබුණේ  විධායක ජනාධිපතිධුරය අහෝසිකරන වැඩපිළිවෙළකට තම පක්ෂය සහය දීමට සුදානම් බවය.

මේ අතර අද (සැප්තැම්බර් 16) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසුවේ ජනාධිපති ධුරාපේක්ෂකයා තෝරාගැනීම සම්බන්ධයෙන් සිය පක්ෂය තුළ හා ඒ සමග සන්ධානගතවන පක්ෂ හා සන්ධාන තුළ "අර්බුදයක් ඇතැයි මවා පෑමට" සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත් වී ඇති බවකි.

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයට පුළුල් සන්ධානයකින් ඉදිරිපත් වන බවත් එම සන්ධානය පිහිටුවීමේ අවසන් එකඟතාවට පැමිණ අවසන් බවත් කියා සිටින මහ ලේකම්වරයා, අදාළ එකඟතා අනුව "අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්" බවත් පෙන්වා දෙයි.

මේ අතර, ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම සම්බන්ධයෙන් විමසීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන ලද කමිටුව අද (සැප්තැම්බර් 17) රාත්‍රී රැස්වීමට නියමිත බව වාර්තා විණි. 

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර