නෙළුම් කුළුණ: "අතුරුදහන් වූ කෝටි 200" ගැන මහින්ද කතා කරයි

Image copyright SLPP
Image caption "කොන්ත්‍රාත්තුවට නිර්දේශ වූ චීන සමාගම් දෙකම සියයට සියයක්ම චීන ආණ්ඩුවට අයත් මහාපරිමාන සමාගම්"

"චීන රජයට අයත් මහා පරිමාණ සමාගමක් ලංකාවේ රුපියල් බිලියන දෙකක් රැගෙන අතුරුදහන් වූවා යැයි කීම චීනයට කරන ලද මහා අපහාසයක්" බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පවසයි.

හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය නිකුත් කර තිබෙන්නේ නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා ලබා දුන් රුපියල් කෝටි 200ක් අතුරුදහන් වී ඇති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සඳුදා (සැප්තැම්බර් 16) නෙළුම් කුළුණ විවෘත කළ අවස්ථාවේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

"ඒ අපහාසය කළේ ද ලංකාවේ චීන තානාපතිවරයා ඉදිරිපිටදීම ය. ජනාධිපතිවරණයක් අතළඟ තිබිය දී අපට මඩ ගැසීම තේරුම් ගත හැකිය. නමුත් ඒ වෙනුවෙන්, අපේ රටට බෙහෙවින්ම උදවු උපකාර කළ චීනය වැනි මිත්‍රශීලී ලෝක බලවතෙකුට මේ ආකාරයට ප්‍රසිද්ධියේ අපහාස කිරීම අදහා ගැනීමටත් නොහැකි දෙයකි," යනුවෙන් විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Image copyright Getty Images
Image caption ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

මෙම චෝදනාව විදේශීය ප්‍රවෘත්ති සේවාවන් විසින් සැනෙකින් මුලු ලෝකය පුරාම ප්‍රචාරය කරනු ලැබීම හේතුවෙන්, එය ආසියානු රටවල් ගණනාවක මාධ්‍යවල ප්‍රධාන පුවතක් බවට පත්වූ බවද හිටපු ජනාධිපතිවරයා පවසයි.

වැඩිදුරටත් කරුණු දක්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ නෙළුම් කුළුණේ කොන්ත්‍රාත්තුවට නිර්දේශ වූ චීන සමාගම් දෙකම සියයට සියයක්ම චීන ආණ්ඩුවට අයත් මහාපරිමාන සමාගම් බවය.

Image copyright MADHAWI HERATH

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි මාධවී හේරත් කියා සිටියේ මේ පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බවය.

"ජනාධිපතිවරයා බලයට පත්වෙලා වසර හතරහමාරක් ගතවෙලා. මෙවැනි වංචාවක් වෙලා තියෙන බව දැන ගත්තනම් මේ දක්වා ගෙන ඇති නීතිමය පියවර කුමක් ද? විවෘත කරන දවසේ ජනතාව ඉදිරියේ එය හෙළිකිරීම පමණක් ද කළ යුත්තේ?" ඇය ප්‍රශ්න කළාය.

ඇය තවදුරටත් කියා සිටියේ වංචාවක් ගැන තොරතුරක් ලැබුණේ නම් විමර්ශනයක් වහාම ආරම්භ කළ යුතු බවත් එසේ නොකළහොත් ජනාධිපතිවරයා තමන්ගේ වගකීම පැහැර හැර ඇති බවත් ය.

"ලංකාවේ නීතිය මේ තරම් පහත් සහ දුර්වල තැනකද පවතින්නේ? මේ මුදල්වලට සිද්ධ වෙලා තියෙන්නේ මොනවද කියල හොයා ගන්න තරම්වත් අපේ නීති පද්ධතිය හෝ පොලිසිය ශක්තිමත් නැද්ද? රටේ ජනාධිපතිවරයාට අවශ්‍යනම් පුළුවන් ජනාධිපති කොමිසමක් පත් කරලා මේක ඔප්පු කරන්න," ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි මාධවී හේරත් පැවසුවාය.

"නෙළුම් කුළුණ ගැන 2019 අප්‍රේල් මාසයේදී පළ වූ පිටු 670 ක විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාවේ ද රුපියල් බිලියන දෙකක් අරගෙන අතුරුදහන් වූ චීන කොන්ත්‍රාත්කරුවෙකු ගැන" කිසිදු සඳහනක් නොමැති බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

මෙම ව්‍යාපෘතියට අදාල සියලුම ලිපි ලේඛන විදුලි සංදේශ නියාමන කොමිසම සහ විගණකාධිපතිවරයා සතුව පවතින බැවින්, එහි සත්‍ය තත්වය සොයා බැලීම කිසිසේත්ම අසීරු කාරණයක් නොවන බවත් නිවේදනයේ සඳහන් වෙයි.

රාජපක්ෂ පාලන සමයේ විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිවරයා වූ අනූෂ පැල්පිට ද මීට ඉහතදී ජනාධිපතිවරයාගේ චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර