වේලුපිල්ලේ සහ ලයනල්: උතුර, දකුණ හෙල්ලූ මාතර කැරලිකරුවෝ දෙන්නෙක්

අයෙක් දෙමළ ජාතිකයෙකි.

අනෙකා සිංහලය.

දෙදෙනාම වැලිගම උපත ලැබූවන්ය; අසල්වැසියන්ය.

දෙදෙනාම කලක් කැරලිකරුවන්ය.

මාතර රාහුල විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හැදෑරූ ඔවුහු පසු කලෙක ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව අවි අතට ගත්හ.

එහෙත් ළමා වියේදී හෝ තරුණ වියේදී ඔවුන් දෙදෙනා කිසිදිනෙක එකිනෙකා හමු වී නැත.

පාසල් සමයේ පාසලෙන් පසු නිවසට කැන්දා ලයනල්ට ඉංග්‍රීසි ඉගැන්වූයේ කුහන්ගේ මාමාය.

දෙමළ කැරලිකාර සංවිධානයට එක්වීමට පෙරාතුව 'කුහන්' එක්සත් ජාතික පක්ෂ නායකයන් සමීපව ඇසුරු කළ එජාප ක්‍රියාකාරිකයෙකි.

එකල ලයනල්, එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක ගත් මග ගිය තරුණයෙකු විය.

පසුව ඔවුන් දෙදෙනාම සටන් වැදුනේ තරුණ වියේ දී අනුගමනය කළ ප්‍රතිපත්තිවලට එරෙහිවය.

මෙහි අපූරුම සිදුවීම අසල්වැසියන් වුවත් ඔවුන් පළමුවරට හමුවූයේ දශක ගණනාවකට පසුව විදේශයකදී වීමය.

Image caption චිත්‍රපටයේ රූගතකිරීමක්

ඔහු ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව සටන් කළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානම පෙලේ නායකයෙකු විය.

අනෙකා ඊරෝස් (ඊලාම් විප්ලවවාදී ශිෂ්‍ය සංවිධානය) සංවිධානයේ පුරෝගාමියෙකි.

මේ ලයනල් බෝපගේ සහ වේලුපිල්ලේ කුහනේන්ද්‍රන් (කුහන්) ගේ කතාවය.

එය 'ද්වන්ධ' නම්වේ.

ඒ කතාව තිරයට එක් කළේ ආචාර්ය උදාන් ප්‍රනාන්දුය.

එය එදා යුගයේ සිංහල, දෙමළ, මුස්ලිම් හැම දෙනාගේම කතාව යයි මට සිතේ.

වසර තුනක් පමණ එංගලන්තයේත්, ඔස්ට්‍රේලියාවේත් කළ පර්යේෂණයක කොටසක් සිය චිත්‍රපටයට පාදක වූ බව ආචාර්ය උදාන් ප්‍රනාන්දු මා සමඟ පැවසීය.

කැරලිකරුවන් දෙදෙනා ඒ වනවිට විදේශගතව සිටියහ; කුහන් වාසය කළේ බ්‍රිතාන්‍යයේය, ලයනල් ඔස්ට්‍රේලියාව නිවහන ලෙස තෝරාගෙන තිබිණ.

ප්‍රජාතන්ත්‍රවාදය සහ කැරලිකාරිත්වය යන්න එකිනෙකට හාත්පසින්ම දුරස් අන්ත දෙකක් ලෙසින් බොහෝ දෙනා විග්‍රහ කළ හැකි වුවත් "ඒ කොන් දෙක යාකරන්නේ, නැත්නම් මැදක් හොයා ගන්නේ කොහොමද?" යන්න සොයා බැලීම උදාන්ගේ ප්‍රයත්නය විය.

"ඇත්තටම කැරලිකාරිත්වයකදී ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ වැඩකිරීම අපහසුද? නැත්නම් බැරිම දෙයක්ද? දැන් මේ වගේ ප්‍රශ්න අපිට තියෙනව අපේ සමාජය වගේ විශේෂයෙන් ගැටුම් තියෙන පරිසරවල. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රචණ්ඩත්වය කියන එක."

එය සරල වශයෙන් "කළු, සුදු ලෙසින්" බැලිය නොහැකි බව පෙන්වාදෙන උදාන් ප්‍රනාන්දු පවසන්නේ එය ඉතා සංකීර්ණ තත්ත්ව දෙකක් බවය.

ඒ සංකීර්ණ තත්ත්ව වටහාගත යුත්තේ කෙලෙසින් ද යන්න විමසා බැලීම සිය උත්සාහය වූ බව ද අධ්‍යක්ෂවරයා පවසයි.

ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල ඇතුළු බොහෝ නායකයන් සමීපව ඇසුරු කළ එජාප ප්‍රාදේශීය දෙමළ නායකයෙකුගේ පුතා වූ කුහන්, ඔවුන්ගේ වේදිකාවට නැගුනු කුහන්, පසුව සිංහල රාජ්‍යයට එරෙහිව ආයුධ අතට ගත්තේ ඇයි?

Image caption ආචාර්ය උදාන් ප්‍රනාන්දු (දකුණේ) වේලුපිල්ලේ කුහනේන්ද්‍රන් සමඟ ලන්ඩන් නුවරදී

කුහන්ට 1958 සිංහල, දෙමළ කෝලාහල හොඳට මතකය.

කිසිදු ජාති බේදයකින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් හැම දෙනාටම විවෘතව තිබුණ කුහන්ගේ නිවස එදා ගිනිබත්කර තිබිණි.

දූෂණය කිරීමට හෝ මරා දැමීමට කුහන්ගේ නැන්දනිය පැහැරගෙන ගොස් තිබිණි. එහෙත් අසල්වැසි සිංහල ජාතිකයන් විසින් පසුව ඇය බේරාගනු ලැබ තිබිණ.

ලයනල් බෝපගේලාට නොමිලේ අකුරු කළ ගුරු පියා, කුහන්ගේ මාමා, සිය පවුලේ සාමාජිකයන්ද සමඟ උතුරට පැන ගියේය.

ජාතිවාදී කෝලාහල හේතුවෙන් යාපනයේ පදිංචි වීමට බල කෙරුණ දෙමළ භාෂාව නිසි පරිදි හැසිරවීමට පවා නොදැන සිටි තරුණ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයා සිංහල රාජ්‍යයට එරෙහිව ආයුධ අතට ගත්තේය.

Image copyright Lionel Bopage/Facebook
Image caption ලයනල් බෝපගේ

පියා ගත් මග යමින් තරුණ වියේදී සිංහල ජාතිකවාදයට සහය දුන් ලයනල් බෝපගේ ගේ කතාව ද ඒ හා සමානය.

එදා සිංහල පමණක් පනතට සහය දුන් තරුණ ලයනල් පසු කලෙක දෙවරක් සිරගත වී, වධ බන්ධවලට ද ලක් වූයේ 1971 දී ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ කැරැල්ලට දායක වීම හේතුවෙනි.

පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරය පවා ඉසිලූ ඔහු පක්ෂයෙන් ඉල්ලා අස්වුයේද දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතියට පක්ෂය එරෙහි වීම හේතුවෙනි.

එක ගමේ ඉපිද, එකම පාසලට ගොස්, කැරලි දෙකකට නායකත්වය දුන් මේ චරිත දෙක මුල්වරට මුණගැසුණේ ඊරෝස් සංවිධානයේ නායකයාගේ අනුස්මරණය සඳහා ලන්ඩන් නුවරදීය.

ඒ සඳහා ලයනල්ට ආරාධනා කළේ ද කුහන්ය.

තමන් දෙදෙනාගේ පසුබිම මුල්වරට ඔවුන් දැනගත්තේ එහිදීය.

නවක සිනමාකරු උදාන් ප්‍රනාන්දු රිදී තිරයේ දිග හරින්නේ ඒ කතාවය.

සිය සිනමා සිත්තම සිනමා උළෙලවලට ඉදිරිපත් කිරීමට උදාන් ගේ උනන්දුවක් නැත.

එහෙත් එය ඔබ මා ඉදිරියේ ඕනෑම තැනක දිග හරින්නට සූදානම් බව ඔහු පවසයි.

ලන්ඩනයේ දී සීමිත පිරිසක් වෙනුවෙන් විවෘත වූ 'ද්වන්ධ' නරඹා කුහන් කීවේ සිය අරගලය නිමා වුව ද දෙමළ ජනතාවගේ ගැටලුවලට තවමත් විසඳුම් ලැබී නැති බවය.

වේලුපිල්ලේ ප්‍රභාකරන් අනුගමනය කළ ක්‍රියාදාමය තමන් අනුමත නොකරන නමුත් ඔහුගේ මතකය අතුගා දැමීමට කෙරෙන උත්සාහය අනුමත කළ නොහැකි බව ඔහුගේ අදහසය.

"අපි කැමති වුනත්, නැතත් ඒක අපේ ඉතිහාසයේ කොටසක්."

තවමත් උතුරේ බොහෝ ජනතාවට ප්‍රභාකරන් යනු "සිය අයිතිවාසිකම් උදෙසා දිවි දුන් වීරයා" බව කුහන් පෙන්වා දෙයි.

සිය දේශපාලන ක්‍රියාදාමය තුළ ලයනල් කියන්නේ ද එවැන්නකි.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පමණක් නොව සිංහල ජනතාවගේ අයිතිවාසිකම් උදෙසා ඔහු වර්තමානයේ ද ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදේශගතවද හඬ නගමින් සිටී.

ඔවුන් දෙදෙනාම කියන්නේ අරගලය නිමා වී නැති බවය.

ඔබට ඒ ගැන ඔබේම විග්‍රහයක් තිබිය හැකි වුව ද කුහන් පවසන පරිදි ඉතිහාසය මකා දැමිය නොහැකිය.

කළ හැක්කේ ඉතිහාසයෙන් අත්දැකීම් උකහා ගැනීමය.

කියවන්න: