ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය: "මටත් ඉල්ලීම් එමින් තිබෙනවා" - ශිරාණි බණ්ඩාරනායක

Image copyright Getty Images

ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් හෝ වෙනත් දියුණු රටක් බවට පත්කරන බවට ප්‍රතිඥා දෙනු වෙනුවට ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයට ඉදිරියට යා හැකි මාර්ගයක් විවෘත කරගැනීමට උත්සහ කළ යුතු බව හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක පවසයි.

ඒ සඳහා හැකි උපරිම දායකත්වය ලබාදීමට තමන් සූදානම් බව ද හිටපු අගවිනිසුරුවරිය පවසන්නීය.

ඇය ඒ අදහස් පළ කළේ, තමන් සේවයෙන් ඉවත්කළ දෝෂාභියෝග ක්‍රියාදාමය සම්බන්ධයෙන් ග්‍රන්ථ දෙකක් ලියා පළකිරීමෙන් අනතුරුව බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සංවාදයකට එක්වෙමිනි. දෝෂාභියෝගයෙන් අනතුරුව හිටපු අගවිනිසුරුවරිය මෙවැනි සාකච්ඡාවක් පැවැත්වූ පළමු වතාව මෙයය.

දෝෂාභියෝගය සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවල විවිධ අදහස් පළ වී තිබුණ ද, එයට තුඩු දුන් හේතු සහ එහි "ඇතුලාන්තය" පිළිබඳව කිසිදු ආකාරයකින් සාකච්ඡාවක් ඉදිරිපත් නොවූ බව පවසන හිටපු අගවිනිසුරුවරිය, බොහෝ දෙනා එයට විවිධ අර්ථ නිරූපන ද ලබා දී තිබූ බැවින් දෝෂාභියෝගයේ "ඇත්ත කතාව" හෙළි කිරීම "උත්තරීතර" සහ "Hold Me in Contempt" ග්‍රන්ථ දෙක පළකිරීමට හේතුව බව ද කියා සිටියාය.

ඒ "ඇත්ත කතාව" කුමක්ද?

ඒ පිළිබඳව විමසූ විට ශ්‍රී ලංකාවේ පළමු වරට පදවියෙන් ඉවත් කරන ලද අගවිනිසුරුවරිය කියා සිටියේ, දෝෂාභියෝගයේ දී තමන්ට එරෙහිව බරපතල චෝදනා එල්ල කළ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කළ වසර කිහිපය තුළ සහ තමන් අගවිනිසුරු පදවියට පත් කළ අවස්ථාවේ ඒ චෝදනා ගැන සොයා නොබැලුවේ මන්ද යන්න ගැටලුවක් බවය.

"2012 නොවැම්බර් මාසේ හිටි අඩියේ දෝෂාභියෝග චෝදනා 14 ක් ගෙනාවම ඕනෑම කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකක්ද මේකට හේතුව කියල," ඇය පැහැදිලි කළාය.

"ඒ නිසා ඕනෑම කෙනෙකුට පැහැදිලි විය යුතුයි මේක මේ වෙනයම් කාරණා මතුවෙච්ච හින්දයි මේ වාගේ දෝෂාභියෝගයක් ගේන්න හේතු වුනේ කියන එක."

ඇය පවසන්නේ සැබවින්ම 2011 මැයි මාසයේ තමන් අගවිනිසුරු පදවියට පත්කළ අවස්ථාවේ පටන්ම "යම් යම් අයට මාව ගැටලුවක් වුන හන්දයි දෝෂාභියෝගය ඉදිරිපත් කළේ කියන එක," සිය ග්‍රන්ථය කියවන විට පැහැදිලි වනු ඇති බවය.

ඒ "යම් යම් අය" කවුරුන් දැයි විමසූ විට ඇය කියා සිටියේ, "එතෙන්දි පැහැදිලිවම මාව ගැටලුවක් වුනේ පැවතිච්ච ආණ්ඩුවට," බවය.

දෝෂාභියෝගය

අගවිනිසුරුවරියට එරෙහිව දූෂණ චෝදනා 14 ක් ඉදිරිපත් කරමින් රාජපක්ෂ පරිපාලනයේ මන්ත්‍රීවරුන් 117 දෙනෙකු විසින් 2012 නොවැම්බර් මාසයේදී අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝග යොජනාවක් ඉදිරිපත් කරන ලදි.

ඉන් අනතුරුව අමාත්‍යවරුන් හත් දෙනෙකු විසින් පවත්වන ලද පාර්ලිමේන්තු පරීක්ෂණවලදී චෝදනා කිහිපයකට අගවිනිසුරුවරිය වැරදිකාරිය බව තීරණය කෙරිණ.

පාර්ලිමේන්තුව එම තීන්දුව අනුමත කිරීමත් සමඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඇය පදවියෙන් පහ කොට මොහාන් පීරිස් අගවිනිසුරු පදවියට පත්කෙරිණ.

සමස්ත දෝෂාභියෝග ක්‍රියාදාමයට දේශීය සහ ජාත්‍යන්තර විවේචන එල්ල වූ අතර, ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග චෝදනා සියල්ලට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක නිවැරදිකාරිය බව එංගලන්තය සහ වේල්සයේ නීතිවේදීන්ගේ සංගමය විසින් පවත්වන ලද පරීක්ෂණයක නිගමණය විය.

අගවිනිසුරුවරිය පදවියෙන් පහ කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කළේ දිවි නැගුම පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල නොවන බවට ඇගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඬුල්ලක් දුන් තීන්දුව සම්බන්ධයෙන් පලි ගැනීමේ අරමුණින් බව ද රාජ නීතිඥ ජෙෆ්රි රොබට්සන් විසින් පවත්වන ලද පරීක්ෂණයේ වාර්තාව සඳහන් කරයි.

අගවිනිසුරුවරියගේ සාධාරණ තීන්දු හේතුවෙන් කෝපයට පත් ආණ්ඩුව සහ ජනාධිපති රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන් ඇයගෙන් පලි ගැනීමේ අරමුණින් කරන ලද සම්පූර්ණ දෝෂ සහගත ක්‍රියාදාමයක් ලෙසින් දෝෂාභියෝගය රාජ නීතිඥවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක් වී තිබුණි.

එමෙන්ම එය විභාග කළ ආණ්ඩුවේ අමාත්‍යවරුන් හත් දෙනාම පක්ෂග්‍රාහී බව ද පරීක්ෂණ වාර්තාවේ සඳහන් විය.

Image copyright Getty Images

18 වෙනි සංශෝධනය

කෙසේ වුවත් 'ඒකාධිපති ව්‍යවස්ථාවක්' ලෙසින් බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වූ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කිරීම පමණක් ප්‍රමාණවත් බවට ඇයගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඬුල්ලක් ලබා දුන් තීන්දුව බොහෝ දෙනාගේ විවේචනයට ලක්විය.

බීබීසී සිංහල සේවය ඒ පිළිබඳව කළ විමසීමේදී හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක කියා සිටියේ, එය අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු සංශෝධනය සහ නීති තර්ක විමසා බලා ලබා දුන් නීත්‍යානුකූල තීන්දුවක් බවය.

ඒ අවස්ථාවේ අගවිනිසුරු රටින් බැහැරව සිටි බැවින් තමන්ට විනිසුරු මඬුල්ලේ සභාපතිත්වය හිමි වූ බව පෙන්වාදෙන ඇය, 18 වෙනි සංශෝධනයට අදාළ තීන්දුව පමණක් නොව විනිසුරුවරියක ලෙසින් තමන් සියලු තීන්දු ලබා දුන්නේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු කරුණු සලකා බලා, රටේ නීතිය ප්‍රකාරව, "යුක්තිය ඉටුකිරීම පිණිස" බව අවධාරණය කරන්නීය.

"නඩු තීන්දුවක් දෙන වෙලාවකදීවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සලකා බලන අවස්ථාවකදිවත් අපි පක්ෂ පාටවත්, නැත්නම් ආණ්ඩුවේ ඉන්න කෙනෙක්ද, ආණ්ඩුවේ නැති කෙනෙක්ද වගේ කරුණු සලකා බලල මම තීන්දු දීල නෑ. කවුරුවත් සන්තෝෂ වෙන විදියටවත්, කවුරුවත් අසන්තෝෂ වෙන විදියටවත් මම කොයි අවස්ථාවකවත් තීන්දුවක් දීල නෑ."

ජනපතිවරණය

ලබන නොවැම්බර් 16 වෙනි දින පැවැත්වීමට නියමිත ජනපතිවරණයට ඉදිරිපත්වන මෙන් තමන්ට බොහෝ ඉල්ලීම් ලැබී තිබෙන බව බීබීසී සිංහල සේවය සමඟ කියා සිටි ඇය පවසන්නේ, "මේ මොහොත වෙන තුරුත් මට ඉල්ලීම් එමින් තියෙනව," යනුවෙනි.

Image copyright Getty Images
Image caption දෝෂාභියෝගයට එරෙහිව බොහෝ නීතිඥවරු විරෝධතාවල යෙදී සිටියහ

කෙසේ වුවත් "දැනටම සෑහෙන කණ්ඩායමක් ඉදිරිපත් වෙලානේ ඉන්නේ," යනුවෙන් ද ඇය සඳහන් කළාය.

එසේ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම්, වෙනත් කිසියම් ස්වාධීන අපේක්ෂකයෙකුට සහය දෙන්නේ දැයි කළ විමසීමට හිටපු අගවිනිසුරුවරියගේ ප්‍රතිචාරය වූයේ, "අනිවාර්යයෙන්ම නෑ," යන්නය.

"මම දේශපාලනඥයෙක් නෙවෙයි. දේශපාලන වේදිකාවකට ගොඩ වෙලා, දේශපාලන කතා පවත්වන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ."

ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කළ හැකි යමක් ඉටුකිරීමට තමන් සූදානම් වුවත්, "මම වගේ පුද්ගලයෙකුට අවස්ථාවක් දෙන්න කිසිම කෙනෙක් කැමැත්තක් නෑ," බව ඇයගේ අදහසය.

"මට පුළුවන් විදිහෙන් රටට සේවයක් කරන්න මම ඉතා කැමැත්තෙන් ඉන්නවා," යනුවෙන් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වැඩිදුරටත් කියා සිටියාය.

කියවන්න: