ටිකිරිගෙන් "පාඩමක්" : "පෙරහැරත්, අලි ඇතුනුත් රැකෙන" යෝජනාවක්

Image copyright Saengduean Lek Chailert
Image caption ටිකිරිගේ වයස අවුරුදු හැත්තෑවක් පමණ වෙතැයි විශ්වාස කෙරේ

ටිකිරි ලෙස ඇයට නම් තැබුවේ මිනිසුන්ය.

හාම්පුතුන් ගණනාවකගේ අතින් අත මාරු වී ඇති හැත්තෑ වියැති මහලු ඇතින්නගේ කය වැහැරී ගොස් තිබිණි.

ඇය පනස් පස් වරක් දළදා පෙරහැරට සහභාගී වී ඇතැයි පැවසේ.

අවසන් වතාවට ශ්‍රී දළදා මාලිගයේ විෂ්ණු දේවාල පෙරහැරේ ගමන් කිරීමට ටිකිරිට බල කෙරුණේ ගතින් දුර්වල වී සිටියදීය.

ටිකිරිගේ අවසන් පෙරහැර ජාත්‍යන්තර පුවත් අතරට එක් වූයේ ඇයගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය සහ දුබල ශරීරය සමාජ ජාල ඔස්සේ අවධානයට ලක් වීමත් සමගය. ඇය සිය හාම්පුතා වෙසෙන කෑගල්ල ප්‍රදේශයේදී සදහටම දෑස් පියා ගත්තේ සති කිහිපයකට පසුවය.

ටිකිරි "පාඩමකට ගෙන" රජයේ මැදිහත් වීමෙන් වයස්ගත අලිඇතුන්ගේ සුභ සාධනය වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව සත්ත්ව ශුභසාධනවේදීහු පෙන්වා දෙති.

ඒ අතරම සත්ත්ව අයිතිවාසිකම් සහ පරිසරය පිළිබඳ ශ්‍රී ලාංකිකයන්ට නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතු බව ටිකිරි වෙනුවෙන් හඬ නැගූ සත්ත්ව ශුභසාධනවේදීන්ගෙන් එක් අයකු වන ඉරාකි කොඩිතුවක්කු පෙන්වා දෙයි.

"මිනිස්සුන්ට, සත්තු සහ පරිසරයේ ඇති වටිනාකම මීට වඩා කියා දිය යුතුයි. අද වන විට මේ රටට, ඒ කියන්නේ ශ්‍රී ලංකාවට ලෝකයේ යම් කිසි තැනක් තිබේ නම්, එසේ තිබෙන්නේ ස්වභාවික වස්තු නිසා පමණයි. ලෝකේ වෙනත් රටවලින් මේ රටට මිනිස්සු පැමිණෙන්නේ ඒ නිසයි" යනුවෙන් ඇය බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.

"ටිකිරි ගැන ලෝකෙ ම දැක්කා. ටිකිරිගේ සිදුවීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයටත් මරු පහරක්. අප ගෝත්‍රික ජනතාවක් නොවන බව ලෝකෙට පෙන්විය යුතුයි. ටිකිරිගෙන් පස්සේ ඒ වගේ තවත් අලින්ට මේ දේ නොවිය යුතුයි," යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Image copyright Save Elephant Foundation
Image caption පෙරහැරේ ගමන් කළ ටිකිරි
Image copyright හර්ෂණ කසුන් මිල්ලතේ/Facebook
Image caption අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඇතින්න ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේදී ඇද වැටී ඇති බව පරිසරවේදීන් සහ සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයන් පැවසූ අතර, ඇයට ප්‍රතිකාර කරන පශු වෛද්‍යවරු සඳහන් කළේ ඇතින්න "නිදා ගැනීම සඳහා බිම වැතිර සිටි" බවකි

වයෝවෘද්ධ හීලෑ අලි ඇතුන්ගේ සුභ සාධනය වෙනුවෙන් සත්ත්ව ශුභසාධනවේදීන් රජයට කරන යෝජනා:

  • විශ්‍රාම ගැන්වීමට නිසි වයසක් නීතිගත කිරීම
  • විශ්‍රාමික වයසට පැමිණි හීලෑ අලි ඇතුන් වෙනුවෙන් මධ්‍යස්ථාන ඇති කළ යුතුය.
  • එම මධ්‍යස්ථාන රජයේ අධීක්ෂණය යටතේ නඩත්තු විය යුතුය.
  • දම්වැල් සහ මාංචු රහිතව (Chain - free) නිදහසේ සැරිසැරිය හැකි වන සේ මධ්‍යස්ථාන තුළ පහසුකම් ඇති කළ යුතුය.
  • මාස දෙකකට වරක් වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරයකු ලවා අලි ඇතුන් පරීක්ෂාවට ලක් කළ යුතුය.
  • සියලුම හීලෑ අලි ඇතුන්ට හිංසා කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දිය හැකිවන අයුරින් නීති සම්පාදනය කළ යුතුය.

හීලෑ අලියකු විශ්‍රාම ගැන්විය යුතු වයස් සීමාවක් නීති ගත කළ යුතු බව හීලෑ අලි ඇතුන් පිළිබඳ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අසෝක දංගොල්ල ද පිළිගනී.

තමන් ද ඒ බව යෝජනා කර ඇති බව ඔහු කියා සිටියේ පුරා වසර පනස් පහක් ශ්‍රී දළදා පෙරහැරට සහභාගී වී ඇතැයි පැවසෙන ටිකිරි සිදු කළේ යැයි කියන "සේවයට" උපහාරයක් වශයෙන් හෝ ඇය විශ්‍රාම ගැන්විය යුතු නොවේදැයි බීබීසී සිංහල සේවය මීට පෙර කළ විමසීමකදීය.

'ටිකිරි' සහ තායිලන්තයේ 'යායි බුන්'

Image copyright SEF
Image caption ටිකිරිගේ 'අනුපිටපතක්' දැයි සිතෙන තරමට රුවෙන් බොහෝ දුරට සමාන යායි බුන් මුදා ගත් (Rescue) අවස්ථාවේ

ටිකිරිගේ රැහේ ම තවත් සාමාජිකාවක වන යායි බුන් හැත්තෑ වියේ පසුවන තායිලන්තයේ වෙසෙන මහලු ඇතින්නකි. "පමණට වඩා වෙහෙස වී ඇති" ඇය මුදා ගත් (Rescue) බව එරට ක්‍රියාත්මක සත්ව සුභ සාධන සංවිධානයක් වන 'සේව් එලිෆන්ට් ෆවුන්ඩේශන්' (Save Elephant Foundation) සංවිධානය පසුගිය ජුලි මස නිවේදනය කළේය.

ටිකිරි පිළිබඳ මුල් වරට අවධානය යොමු වූයේ ද 'සේව් එලිෆන්ට් ෆවුන්ඩේශන්' සහ ඒ සමග කටයුතු කරන ලේක් චයිලර්ට් (Lek Chailert) නමැති සත්ත්ව සුභ සාධනවේදිනිය විසින් ටිකිරි පිළිබඳ ඡායාරූප සමාජ ජාල තුළ පළ කරනු ලැබීමත් සමගය.

ටිකිරිගේ 'අනුපිටපතක්' දැයි සිතෙන තරමට රුවෙන් බොහෝ දුරට සමාන යායි බුන් මේ වනවිට නිදහසේ විශ්‍රාම සුව විඳින්නීය. තවදුරටත් ඇයගේ පයේ විලංගු දක්නට නොමැත. දිරවීමට පහසු ශක්ති ජනක සකසන ලද ආහාර මහලු ඇතින්නට ලබා දෙන බවත් ඇය මුදාගත් සංවිධානය පවසයි.

ශ්‍රී ලාංකීය සංස්කෘතිය හා බැඳී පවතින අලි ඇතුන් තායිලන්තයේ ද පූජනීය සතෙකු ලෙස සැලකේ. තායිලන්ත රජ පවුල තුළත් අලි ඇතුන්ට විශේෂ ස්ථානයක් හිමි වන අතර එරට ඇතැම් ප්‍රදේශවල භික්ෂූ උපසම්පදා උත්සව සඳහා අලි ඇතුන් යොදා ගනු ලබයි.

නමුත් එරට හීලෑ අලි ඇතුන් සඳහා දම්වැල් සහ මාංචු භාවිත කිරීමේ ක්‍රමවේදය අභාවයට යමින් පවතින බවත් හීලෑ අලි ඇතුන්ගේ සුභ සාධනය වෙනුවෙන් නීති සම්පාදනය කර ඇති බවත් බීබීසී තායි සේවයේ සංස්කාරක නපුන් වුන් අනාන් බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.

මේ අතර "නිදහස ගරු කරන සතෙකු වන අලියා" පෙරහැර සඳහා යොදා ගැනීම එම සතුන්ට හිංසනයක් බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති.

"අලි හීලෑ වෙන්නෙත් නැහැ. හීලෑ නම් දම්වැල් දාලා බැඳලා තියන්නේ මොකටද? අලියා කියන්නේ වන සතෙක්. ඒ සතා ප්‍රීතියෙන් නිදහසේ ඉන්න ඕනි. නිදහස ගරු කරන එවැනි සතෙකුගේ නිදහස නැති කිරීම සත්‍ය වශයෙන්ම පාපකර්මයක්." යනුවෙන් උන්වහන්සේ කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

"අපි මේ එක එක පාට කන්නාඩි දාල මේ දිහා බලල එක එක දේ කිව්වට අවංකව බලන්න, මේක සතාගේ පැත්තෙන් බැලුවම හිංසනයක්.

"පෙරහැරත්, අලි ඇතුනුත්, බෞද්ධ දර්ශනයත් රැකෙන" යෝජනාවක්

Image copyright Getty Images
Image caption "අලි හීලෑ වෙන්නෙත් නැහැ. හීලෑ නම් දම්වැල් දාලා බැඳලා තියන්නේ මොකටද?"

පෙරහැර සංස්කෘතිය තවදුරටත් පැවතිය යුතු නමුත් අලි ඇතුන්ට හිංසා නොකර එය ආරක්ෂා කර ගැනීමේ මධ්‍යස්ථ වැඩපිළිවෙළකට යාමට කාලය එළඹ ඇති බව බව ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි පෙන්වා දෙයි.

ඒ සඳහා උන්වහන්සේ ඉදිරිපත් කරන යෝජනා:

  • හීලෑ අලි ඇතුන්ගේ පෞද්ගලික හිමිකාරීත්වය අහෝසි කිරීම
  • පින්නවල වැනි රජය යටතේ පවතින අලි සුරැකුම් මධ්‍යස්ථාන හරහා පෙරහැර සඳහා අලි ඇතුන් කීප දෙනෙකු පුහුණු කරවීම
  • පෙරහැර නොමැති කාලයට දම්වැල් නොමැතිව නිදහසේ සැරිසැරිය හැකි විවෘත භූමියක නිදැල්ලේ තැබිය යුතුය.

"පෙරහැරට අලි පනහ හැට ගෙනල්ලා වාර්තා තියන්නේ මොකට ද? කරඬුව වැඩමවීම සඳහා පමණක් අලි තුන් දෙනෙක්, හතර දෙනෙක් වගේ සීමාවක් කරලා හානිය අවම කළ හැකියි." යනුවෙන් ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි පැවසූහ.

"රන්සිවි ගෙයක්"

Image copyright Getty Images
Image caption සිය විහාරස්ථානයට අයත් ඇතෙකු පහර දෙනු ලැබීමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් 2018 පෙබරවාරි මස 03 වෙනිදා අපවත් වූහ.

තමන් වහන්සේ විසින් සභාපති ධුරය දරනු ලබන ජස්ටිස් ෆෝ ඇනිමල්ස් (Justice for Animals) සංවිධානය විසින් "පෙරහැරත් රැකෙන, අලි ඇතුනුත් රැකෙන, බෞද්ධ දර්ශනයත් රැකෙන යෝජනාවක්" ඉදිරිපත් කරන බව උන්වහස්න්සේ වැඩිදුරටත් කියා සිටියහ.

"බෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ කියන්නේ ලෝකයක් වටිනා උගතෙක්, බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ජීවිතය අහිමි වුණා. උන්වහන්සේට උපහාරයක් වශයෙන් අපි යෝජනා කරනවා ඉතාමත් ලස්සන රන්සිවි ගෙයක් හරි ගස්සලා ඒ රන්සිවි ගෙය තුළ ධාතුන් වහන්සේ වැඩමවමු. ඒ දේ කරන්න අලි ම ඕනි නැහැනේ. ඒ සඳහා අලියටත් වැඩිය ලස්සන රන්සිවි ගෙයක් නිර්මාණය කරමු"

ලංකාවේ පෙරහැර සඳහා අලි ඇතුන් හිඟ බවට පෙරහැර සංවිධායකයෝ සහ හීලෑ අලි හාම්පුතුන් කලක සිට මැසිවිලි නගති.

අලි ඇතුන් පෙරහැරට යොදා ගැනීම තුළින් ඔවුන් වධ හිංසාවට ලක්වන බවට "සාවද්‍ය ප්‍රචාර" ගෙන යන බව පවසන පෙරහැර සංවිධායකයන් සහ අලි හාම්පුතුන් පවසන්නේ ඒ හරහා "සංස්කෘතික උරුමය විනාශ කිරීමේ උත්සහයක් දියත් වන" බවය.

අලි ඇතුන් ගැන වෙනත් පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර