වන අලි ඝාතන: වන අලි 7 දෙනෙකු මිය යාම අතරේ තවත් අලියෙකුට වෙඩි

හබරණ වන අලි ඝාතන තවදුරටත්: හේතුව කුමක් ද?
Image caption පෙරදී මිය ගිය අලි 7 දෙනා අතර වූ අලි මවකගේ සිරුරේ දැවටෙන අවුරුදු 05 ක් පමණ වයසැති පිරිමි වන අලි පැටවා.

හබරණ ප්‍රදේශයේ වන අලි 7 දෙනෙකු මිය යාමේ සිද්ධිය මැද එම ප්‍රදේශයේදී ම තවත් වන අලියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

එසේ වෙඩි පහරට ලක්වූ අලියාගේ සිරුර අද උදෑසන (සැප්තැම්බර් 30) හමුවී තිබුණේ හබරණ ආසිරිගම ප්‍රදේශයේදී ය.

Image caption හබරණ, ආසිරිගම ප්‍රදේශයේදී වෙඩි වැදී මැරී සිටියදී සඳුදා (සැප්තැම්බර් 30) හමුවූ අලියා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ප්‍රදේශ හේන් වගාව සඳහා නීතිවිරෝධීව එළිපෙහෙළි කෙරෙන තත්ත්වයක් තුළ වන අලි ගම් වදින බව ඇතැම් ප්‍රදේශවාසීන්ගේ චෝදනාව වේ.

Image caption හේන් වගාව සදහා රක්ෂිත ගිනි තබා ඇති අයුරු

අලි 7 දෙනාගේ මළ සිරුරුවල සාම්පල ගැනීම යළිත්

හබරණ, හිරිවඩුන්න වැව් රක්ෂිත ප්‍රදේශයේ හා තුම්බිකුලම රක්ෂිතයට ආසන්නව මිය ගොස් සිටි වන අලි 7 දෙනා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සදහා සඳුදා (සැප්: 30) යළිත් මළ සිරුරුවල සාම්පල ලබා ගැනිණි.

සාම්පල ලබා ගැනීමෙන් අනතුරුව, අනුරාධපුර ප්‍රදේශය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ විසින් වන අලි මිය ගොස් සිටි ස්ථානය ආශ්‍රිතව පුළුල් විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධ මූලික පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඉරිදා සවස (සැප්: 29) පැවැත්විණි.

එහිදී අනුරාධපුර ප්‍රදේශය භාර පශු වෛද්‍යවරයා පැවසුවේ රසායනාගාර පරීක්ෂාවකින් අනතුරුව වන අලින් මිය ගිය ආකාරය පිළිබදව පූර්ව නිගමනයකට පැමිණිය හැකි බවකි.

මිය ගිය වන අලි සොයා ගත් හැටි

පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 27) උදෑසන හබරණ හිරිවඩුන්න වැව් රක්ෂිතයේ වන අලියෙකු මියගොස් ඇතැයි ගම්වාසීන් විසින් සීගිරිය වනජීවි කාර්යාලයට දැනුම් දෙනු ලැබිණි.

එහිදී මිය ගිය වන අලියා පරීක්ෂා කිරීමට පැමිණි වනජීවි නිලධාරීන්ට ගම්වාසීන් විසින් ම සොයා ගන්නා ලද තවත් මිය ගිය වන අලියෙකු අදාළ ස්ථානයට මීටර් 500 ක් පමණ දුරින් සොයා ගැනීමට හැකි විය.

බාහිරින් කිසිදු හානියක් දක්නට නොලැබුණු මළ සිරුරු පරීක්ෂා කළ වනජීවී නිලධාරීහු තවත් සිරුරු ඇද්දැයි පරීක්ෂා කළහ. වන අලින් ගමන් කළ පා සටහන් ඔස්සේ ගිය වනජීවි නිලධාරීන් පිරිසට හිරිවඩුන්න වැව් ඉස්මත්තේ සිට කිලෝමීටර් 2ක පමණ දුරකින් තවත් ඇතින්නකගේ මළ සිරුරක් සොයා ගැනීමට හැකි විය. ඒ මොහොතේ එම ඇතින්නගේ තන පුඩුවෙන් කිරි වෑහෙමින් තිබූ බව ද සිගිරිය වන ජීවි නිලධාරීහු පැවසූහ.

තුම්බිකුලම රක්ෂිතයට ආසන්න ප්‍රදේශය පරීක්ෂාවට ලක් කිරීම සදහා මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නිලධාරීන්ගේ සහය ලබා ගත් සීගිරි අඩවි සහකාර චන්ද්‍ර බණ්ඩාරනායක ඇතුළු පිරිසට, තුම්බිකුලම රක්ෂිතයට ගමන් ගන්නා මාර්ගයක් හරස් කොට වැටී තිබූ තවත් ඇතින්නකගේ මළ සිරුරුක් සොයා ගැනීමට හැකි වී තිබේ.

එම ඇතින්න හිරිවඩුන්න වැව් රක්ෂිතයේ සිට කිලෝමීටර් 3 ක පමණ දුරින් තුම්බිකුලම රක්ෂිතය ආසන්නයේ මිය ගොස් සිටි බව සීගිරි අඩවි සහකාර චන්ද්‍ර බණ්ඩාරනායක පැවසීය.

මිය යාමට හේතුව කුමක් ද?

මෙසේ අලි රෑනක් මිය යාමට හේතුව සොයා බැලීම සදහා ගිරිතලේ පශු වෛද්‍ය එකකයේ පශු වෛද්‍ය දිනූෂා ද සිල්වා ඇතුළු කණ්ඩායමක් විසින් වන අලින් දෙදෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු 27 වන දින පවත්වනු ලැබිණි. සිදුව ඇති දේ පිළිබදව නිශ්චිතව යමක් පැවසීමට නොහැකි බවත් යම් විෂක් ශරීරගත වීමෙන් වන අලින් මිය යන්නට ඇතැයි සැක කෙරෙන බවත් පශු වෛද්‍යවරිය පැවසුවාය.

යළිත් සෙනසුරාදා (සැප්තැම්බර් 28) උදෑසන තවත් ඇතින්නකගේ මළ සිරුරක් හිරිවඩුන්න වැව් බැම්මට ආසන්නයේ කුඹුරක තිබී සොයාගැනිණි. අවුරුදු 05 ක් පමණ වයසැති පිරිමි වන අලි පැටවකු මිය ගොස් සිටි අලි මවගේ සිරුරේ දැවටෙමින් සිටි සංවේදජනක හැසිරීම රැස්ව සිටි ප්‍රදේශවාසීන් කම්පාවට පත් කරන තරම් විණි.

සිද්ධිය සැලවීමත් සමග එම ස්ථානයට පැමිණි සිගිරි අඩවි සහකාර චන්ද්‍ර බණ්ඩාරනායක ඇතුළු පිරිස මිය ගිය තවත් වන අලින් සිටීදැයි සොයා බැලීම සදහා තුම්බිකුලම රක්ෂිතය පුරා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ.

ඒ සදහා ඉනාමළුව යුද්ධ හමුදා කදවුරේ 53 වන සේනාංකයේ භටයින් 50 දෙනෙකු හා සීගිරිය, මින්නේරිය, ඇලහැර, ගනේවැල්පොල, රිටිගල කාර්යාලවල වනජීවි නිලධාරීන් හා කැකිරාව අඩවි වන කාර්යාලයේ නිලධාරින් එක්ව කණ්ඩායම් 06ක් තුම්බිකුලම රක්ෂිතයේ මිය ගිය වන අලි සොයා මෙහෙයුම්වල යෙදුණහ.

දැඩි වර්ෂාව මධ්‍යයේ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී මිය ගිය තවත් වන අලින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට හැකිවූ බව චන්ද්‍ර බණ්ඩාරනායක පැවසීය. එම වන අලින් දෙදෙනා දින කිහිපයකට පෙර මිය ගොස් සිටි බව වනජීවි නිලධාරීන් නිරීක්ෂණය කර තිබිණි.

මෙම වන අලින්ගේ සිරුරු පිළිබද මරණ පරීක්ෂණ සඳහා පශු වෛද්‍ය කණ්ඩායම් දෙකක් පැමිණි අතර අනුරාධපුර පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දන ජයසිංහ හා ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය දිනූෂා ද සිල්වා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ සෙනසුරාදා දිනයේ (සැප්: 28) සිදු කරනු ලැබිණි.

එහිදී පැටවා අසල වැටී සිටි ඇතින්නගේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා එම පැටවා අදාළ ස්ථානයෙන් ඉවත් කරන ලදුව නිර්වින්දනය කර බැද දැමීමට වනජීවි නිලධාරීහු කටයුතු කළහ.

වන අලින් මිය යාමට හේතුව සොයා ඉරිදා (සැප්: 29) දිනයේ ද අලිමංකඩ කරා දිවෙන මාර්ගය වන කලාවැව සිට තුම්බිකුලම රක්ෂිතය හරහා වූ මාර්ගයේ, හිරිවඩුන්න ප්‍රදේශයේ ඇති වන අලින් හානි කළ සියලු ම වගා බිම් හා රක්ෂිත ප්‍රදේශ පරීක්ෂා කිරීමට කටයුතු කළ බව සිගිරි අඩවි සහකාර චන්ද්‍ර බණ්ඩාරනායක පැවසීය.

වන අලින්ගේ මියයාමට පසුබිමේ තවත් සිදුවීම්

  • සැප්තැම්බර් 13:

කලාගම ගම්මානයේ ගම්වාසීන් පිරිසක් වන උද්‍යානය තුළට පිවිස උද්‍යානය තුළ සිටි වන අලින්, අලි වෙඩි දමා පළවා හැරීම හා වනජීවි නිලධාරීන් සමග බහින්බස් වීම

  • සැප්තැම්බර් 14:

කලාගම හරහා වන උද්‍යානයට යමින් සි‍ටි සංචාරකයින් පිරිසකගේ මග වලකමින් කිසියම් පිරිසක් උද්ඝෝෂණය කිරීම. ඊට හේතු වූයේ, ස‍ෆාරි ජීප් රථ විදුලි වැට විනාශ කරමින් උද්‍යානය තුළට ඇතුළු වූ පසු වන අලි ගම් වදින බවට වූ චෝදනාවය.

  • සැප්තැම්බර් 17 හා 18:

දඹුල්ල - කැකිරාව මාර්ගයේ මඩාටුගම හා කිතුල්හිටියාව අතර ප්‍රදේශයේ වී අස්වනු ආහාරයට ගැනීමට ගම් වැදුණු වන අලින් හබරණ ප්‍රදේශයේ තුම්බිකුලම රක්ෂිතය ප්‍රදේශයට පන්නා දැමීම. එහිදී පසුගිය දිනවල මිය ගියා යැයි සැක කෙරුණු"දීඝ දන්තු 1" ඇතා ද එම ප්‍රදේශයේ තවත් වන අලි රංවුවක් සමග සැරි සැරීම

  • සැප්තැම්බර් 26:

මිය ගිය වන අලියෙකුගේ සිරුර හබරණ හිරිවඩුන්න වැව් රක්ෂිතයේදී හමුවීම.

වන අලිගහනය

ශ්‍රී ලංකාවේ වන අලි සංගණනයක් අවසන් වරට සිදු කෙරුණේ, 2011 වසරේදීය.

වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ, එම වන අලි සංගණනයට අනුව වන අලි 5879 දෙනෙකු පිළිබඳ දත්ත රැස් කර ගත් බවය.

ඉන්පසු මෙතෙක් වන අලි සම්බන්ධයෙන් සංගණනයක් සිදු කර නොමැත.

තවදුරටත් කියවන්න.