දරුවන් වෙනුවෙන් ජිනීවා කොමිසමට ගිය ශ්‍රී ලාංකික වෛද්‍යවරිය

"ශ්‍රී ලංකාවේ ආණ්ඩු රටේ දරුවන්ට සලකන්නේ දෙවිධියකට. ඔවුන් රජයේ පාසල් දරුවන් සහ පෞද්ගලික පාසල් දරුවන් විදිහට දරුවන් දෙකට බෙදලා සලකන්නේ," එලෙස පවසන්නේ සිය දරුවා මුහුණ දුන් ශාරීරික දඬුවමකට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ ශ්‍රී ලාංකික මවකි.

"දරුවන් කියන්නේ මේ රටේ පුරවැසියන්. ඔවුන් සියලු දෙනා රජයට අයිතියි. පාසල් රජයේ සහ පෞද්ගලික වශයෙන් දෙකට බෙදන්න පුළුවන්. ඒත් රටක දරුවන් එහෙම දෙකට බෙදන්නේ කොහොම ද?"

ඇය නමින් වෛද්‍ය තුෂ් වික්‍රමනායකය. Stop Child Cruelty සංවිධානයේ නිර්මාතෘවරියක වන ඇය එම සංවිධානය ආරම්භ කළේ, සිය දියණිය මුහුණ දුන් ශාරීරික දඩුවමකට එරෙහිව "සාධාරණයක් ඉටු නොවීම" හේතුවෙනි.

දරුවන්ට එරෙහි කෲරත්වය සම්බන්ධයෙන් "ශ්‍රී ලංකා රජය නිසි පියවරක් ගෙන නොමැති බවට" එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට තමන් පැමිණිලි කළ බව වෛද්‍ය තුෂ් වික්‍රමනායක බීබීසී සිංහල සේවයට පැවසුවාය.

ඇය පවසන්නේ, ළමා අයිතිවාසිකම් වෙනුවෙන් ජාත්‍යන්තර සංවිධානයකට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ පළමු පැමිණිල්ල එය බවය.

මවක ලෙස ඇය මුහුණ දුන් අත්දැකීම

වෛද්‍ය තුෂ් වික්‍රමනායකගේ දියණිය එවකට ඉගෙනුම ලැබුවේ, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලකය. මෙම සිදුවීම වාර්තා වූයේ, 2018 වසරේ ජනවාරි මාසයේ දිනකදීය.

Image copyright Dr. Thush Wickramanayake

"ඒ වෙනකොට මගේ දුවගේ වයස අවුරුදු 11යි. එයාට ඉංග්‍රීසි පොත ඉස්කෝලෙට ගෙනියන්න අමතක වෙලා තිබුණා. එදා මගේ දුවත් එක්ක තවත් දරුවන් පිරිසක් පොත අමතක කිරීමේ වරදට දණ ගස්වලා තිබුණා. ඒ විතරක් නෙවෙයි දුවගේ කණෙන් ඇදලා හිංසාවක් කරලා තිබුණා. ඒක මගේ දුවට ශාරීරිකව වගේ ම මානසිකවත් බලපෑවා," වෛද්‍ය තුෂ් වික්‍රමනායක පැවසීය.

එම සිද්ධියෙන් පසු තමන් ඒ පිළිබදව අදාළ ජාත්‍යන්තර පාසලේ කළමනාකාරීත්වයට පැමිණිලි කළ ද ඔවුන් ඊට ප්‍රතිචාර නොදැක්වූ බව ඇය සඳහන් කළාය.

"ප්‍රින්සිපල්ගේ අදහස වුණේ එයාත් පාසල් කාලයේ ගුටි කාලා හැදුණ නිසා ශාරීරික දඩුවම් කිරීම වරදක් නෑ කියන එකයි. මම දවස් 10 යනකම් උත්සහ කළා ඒ ගැන නිසි ප්‍රතිචාරයක් ලැබෙනකම්. ඒත් ඔවුන් අදාළ ගුරුවරයාට එරෙහිව කිසි ම ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. ඊට පස්සේ කරන්න දෙයක් නැති තැන මම පොලිසියට පැමිණිලි කළා. ඒකත් යට ගැහුවා."

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

පොලිසියට කළ පැමිණිල්ලට ද "නිසි ප්‍රතිචාරයක් නොලැබුණු විට" වෛද්‍ය තුෂ් වික්‍රමනායක ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පිහිට පැතුවාය.

"මානව හිමිකම් කොමිසමට ගියා ම ඒගොල්ලෝ දැනුම් දුන්නේ, රජයේ ආයතනවල මානව හිමිකම් ගැටලුවලට පෙනී සිටීමේ බලය පමණක් ඔවුන්ට තියෙනවා කියලයි. ජාත්‍යන්තර පාසලක ළමයෙකුට එතනින්වත් පිළිසරණක් නැහැ."

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු පැවසුවේ, සිය කොමිෂන් සභාවට මැදිහත් විය හැක්කේ රජයේ ආයතනවල ගැටලුවලට පමණක්" බවය.

"එතනිනුත් මට පිළිසරණක් නැති වුණා ම මම ගොඩක් අසරණ වුණා. ඊට පස්සේ මට යන්න ඉතිරි වුණේ ශ්‍රේෂ්ඨාධිකරණය විතරයි. මම ශ්‍රේෂ්ඨාධිකරණයටත් පෙත්සමක් ඉදිරිපත් කළා. ඒත් එතනිනුත් නඩුව විභාගයටවත් ගන්නෙ නැතුව අයින් කළා."

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට පැමිණිල්ලක්

"මම Stop Child Cruelty සංවිධානය ආරම්භ කළේ මගේ දුවට වුණ අසාධාරණය මුල් කරගෙන. ඒත් දැන් ඒක ජාතික ව්‍යාපාරයක් බවට වර්ධනය වෙලා තියෙනවා. ඒක දැන් මගේ පෞද්ගලික ප්‍රශ්නයක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ආයතනයක් නෙවෙයි. මම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කළේ මගේ දුවගේ සිද්ධිය කේස් ස්ටඩි එකක් විදියට ඉදිරිපත් කරලා. ඒත් මම මේ සටන ගෙනියන්නේ, සමස්ත ශ්‍රී ලංකාවේ දරුවන් කෲරත්වයෙන් මුදා ගන්නයි," ඇය පැහැදිලි කළාය.

ඇය චෝදනා කරන්නේ, රටේ අනාගතය භාර ගැනීමට සිටින ළමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදු රජයක් ළමා ප්‍රතිපත්තියක් හඳුන්වා දී නොමැති බවය.

ළමා ප්‍රතිපත්ති කෙටුම්පතක් සකස් කර ඇතත් එය තවමත් කෙටුම්පතක් පමණකි.

2018 වසරේ පළමු දෙමස තුළදී පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා හිමිකම් පිළිබඳ කමිටුවේදී, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මගින් කෙටුම්පත් කළ, පාසල් තුළ සිදුකරන ශාරීරික දඬුවම් තහනම් කිරීමේ නීති ස්ථාපනය කිරීම ද ඇතුළත් ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය නීතිගත කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ලිඛිත කරුණු ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

"මම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කළේ මගේ දුවට අසාධාරණයක් සිද්ධ වුණ ජාත්‍යන්තර පාසලට එරෙහිව නෙවේ. රජයට එරෙහිවයි."

ශාරීරික දඩුවම්

2017 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 6 ක තෝරාගත් පාසල් 32 ක් මුල් කරගෙන ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය කරන ලද සංඛ්‍යාත්මක සමීක්ෂණයේ වාර්තාවට අනුව ඊට භාජනය වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 80.4% ක් ආසන්න පිරිසක් මාස තුනක කාලයක් තුළදී කවර හෝ අන්දමේ කායික දණ්ඩනයකට ලක්වී තිබේ.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නිකුත් කළ 2018 වසරට අදාළ දත්ත අනුව ඔවුන්ට ළමුන්ට එරෙහි හිංසන සම්බන්ධ පැමිණිලි 2413ක් ලැබී ඇත. විවිධ පැමිණිලි යටතේ 2622ක් වාර්තා වී ඇති අතර වෛද්‍ය තුෂ් වික්‍රමනායක පවසන්නේ, ඉන් වැඩි සංඛ්‍යාවක් ළමා හිංසන සම්බන්ධ පැමිණිලි වන නමුත් ඒවා නිසි ලෙස වර්ගීකරණයට ලක් කර නොමැති බවය.

මේ අතර, මාසයක් තුළ සිසුන්ගෙන් 80% වැඩි ප්‍රමාණයක් අවම වශයෙන් එක් ආකාරයක හෝ ශාරීරික දඬුවමක් අත්විඳ ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් 2016 වසරේදී ශ්‍රී ලංකාවේ පාසල් තුළ ක්‍රියාත්මක කළ ළමා විනය ක්‍රම පිළිබඳ අධ්‍යනයකින් හෙළි වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය පසුගිය දා නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

ළමා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥවරියක සහ නීති උපදේශිකාවක වන ආචාර්ය චාරිකා මාරසිංහ පෙන්වා දෙන පරිදි, "දරුවෙකු දෙමාපියන්ගේ හෝ නීත්‍යනුකූල භාරකරුවෙකුගේ හෝ රැකවරණයේ සිටින අතරවාරයේ කිසිදු ආකාරයක ශාරීරික හෝ මානසික හිංසනයකට හෝ පීඩාවකට ලක් නොවිය යුතුය," යනුවෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 19 වන වගන්තියේ සඳහන් වේ.

"අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛ ජාත්‍යන්තර පාසල්වලට අදාළ නැහැ"

අධ්‍යාපන අමාත්‍යාංශය 12/2016 නමැති චක්‍රලේඛය මගින් රජයේ පාසල්වල සිසුන්ට ශාරීරික දඩුවම් පැමිණවීම තහනම් කර ඇතත්, එම චක්‍රලේඛය ජාත්‍යන්තර හෝ පෞද්ගලික පාසල්වලට අදාළ නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු ශෘඛාව බීබීසී සිංහල සේවයට පැවසීය.

"ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල් ලියාපදිංචි කරලා තියෙන්නේ සමාගම් පනත යටතේ නිසා ඒවා අපේ අමාත්‍යංශය යටතේ නියාමනය වෙන්නේ නෑ. යම් නියාමනයක් කළ යුතුයි කියලා වැඩපිළිවෙළක් ටික කාලෙකට කලින් ක්‍රියාත්මක වුණත් ඒක නැවතුණා," පාසල් කටයුතු ශාඛාවේ ප්‍රකාශිකාවක් පැවසීය.

තවදුරටත් කියවන්න: