ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවාගත නොහැකිව 170 දෙනෙකු දිවි නසා ගත්තාද?

Image caption "සල්ලි දෙන්න විදියක් නැති නිසා පොඩි කතාවක් ගිහිල්ලා මගේ හස්බන්ට ගහන්න පැන්නා. මම ගහන්න දුන්නේ නෑ. ඒ වෙලාවේ මට හෙල්මට් එකකින් ගැහුවා. ඒක පොලිසි ගිහින් සමථ මණ්ඩලයටත් දැම්මා" - ඩී පී එස් සාගරිකා

''අපි එක ලෝන් එකක් ගෙවාගන්න බැරිව තව ලෝන් ගත්තා. සල්ලි පොළියට ගත්තා. දැන් ඒ එකක්වත් ගෙවාගන්න බැරිව අපි අසරණ වෙලා ඉන්නේ," ඩී පී එස් සාගරිකා මා සමඟ අදහස් පළ කළේ හැඬු කඳුළින් යුතුවය.

කොළඹ කොටහේනේ පදිංචි ඇගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද අඩාලවී ඇති අතර, අධික ණය බර නිසා පවුල් ආරවුල් වලට ද මැදිව සිටින්නීය.

තමන් මෙලෙස අසරණ වී සිටින්නේ ''ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට'' හසුවූ නිසා බව සාගරිකා බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 170 ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවාගත නොහැකිව සිය දිවි නසාගෙන ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්විණ.

ඇය මට හමුවූයේ ඒ පිළිබඳව වැඩිදුර විස්තර සොයා ගිය ගමනකදීය.

සාගරිකා ජිවත්වන නිවසට යාබදව තවත් නිවාස 15ක් තිබේ. ක්ෂුද්‍ර මූල්‍ය ණය (Micro Finance Loan) ලබා ගෙන ආපසු ගෙවාගත නොහැකි අය කවුරුන්දැයි මම ඇසුවෙමි. එවිට එහි සිටි නාලිකා ප්‍රියදර්ශනී මවෙත පෙරලා ප්‍රශ්නයක් නැගුවාය.

''මහත්තයා, පුළුවන් නම් මේ ගෙවල් 15න් ඒ ලෝන් අරගෙන නැති ගෙයක්, පවුලක් හොයල කියන්න.''

ඒ හා සමඟම අනෝරා වැස්සක් ඇදහැලෙන්නට විය. මම නිවසකට ගොඩවීමි. ඒ නිවසේ වහලේ සිදුරු අතරින්ද වැහි ජලය ඇද වැටෙයි. දරිද්‍රතාවෙන් පෙළෙන මේ අසරණ මිනිසුන් නිරන්තර කඳුළු වැස්සකින් ද තෙමෙන බව මොහොතකින් මට පසක් විණි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන ඇති වැඩිදෙනා කාන්තාවන්ය.

Image caption "මේක අපේ අම්මලාගේ ගේ. ඇත්තටම අපිට දැන් ගෙවන්න ක්‍රමයක් නෑ. නඩු දානවා නම් නඩු දාපුවාවේ" - නාලිකා ප්‍රියදර්ශනී

තිදෙනෙකු හෝ පස්දෙනකුගෙන් සමන්විත කුඩා කණ්ඩායම් සෑදී එකිනෙකාට ඇප වෙමින් ඔවුන් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගෙන තිබේ. 2019 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 14 වැනි සැසිවාරයට ඉදිරිපත් කෙරුණු, ණය සහන හා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥවරයාගේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන ඇති සංඛ්‍යාව 2,898,232කි.

ණය ලබාදුන් ආයතන විසින් ණය ගෙවාගත නොහැකිව සිටින අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටී. ඇතැම් පැමිණිලි අධිකරණය හමුවේ ගොනුකර ඇති අතර ඇතැම් පැමිණිලි සමථ මණ්ඩල වෙත යොමුකර ඇත.

2018 දෙසැම්බර් 03 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නියෝගයට අදාළව ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා අය කළ හැකි වාර්ෂික උපරිම පොලී අනුපාතය 35%කි. එහෙත් ඇතැම් මූල්‍ය ආයතන ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගත් පුද්ගලයන්ගෙන් 20% සිට 220% දක්වා පොලී මුදල් අය කරන බව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියක වන රධිකා ගුණරත්න බීබීසී සිංහල සේවයට පැවසුවාය.

''බොහෝ ආයතන කටයුතු කරන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීමේ අරමුණට පටහැනිව. ඒ අයගේ ඉලක්කය අධික පොළියට සල්ලි දෙන එක. එතකොට ගමේ ගිනිපොලී අය කරන මුදලාලිලා සහ මේ මූල්‍ය සමාගම් අතර ඇතැම් විට වෙනසක් පේන්නේ නෑ," රධිකා ගුණරත්න පවසන්නීය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය අවශ්‍ය ඇයි?

බොහෝ අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට මූලික මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය අහිමි වී ඇත. බැංකු ණය හෝ වෙනත් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට වැටුප් වාර්තා හෝ වෙනත් ඇපකර ඉදිරිපත් කිරීම බොහෝ විට ඔවුන්ට දුෂ්කරය. එබැවින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීම මගින් අපේක්ෂා කරනු ලබන්නේ එම අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආදායම් උත්පාදනය දිරිමත් කිරීමට ආයෝජන මාර්ග විවර කිරීමය.

දිළින්දන් හට සහයෝගිතාව දැක්වීමේ උපදේශාත්මක සමූහය (CGAP -Consultative Group to Assist the Poor) විසින් නිර්වචනය කර ඇති පරිදි ''ක්ෂුද්‍ර මූල්‍ය ණය'' යනු අඩු ආදායම්ලාභීන්ට සේවය සැපයීම බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ තුළින් අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථිකය ශක්තිමත් කර රටේ ආර්ථික සංවර්ධනය අපේක්ෂා කෙරේ.

ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රාථමික මට්ටමේ ක්ෂුද්‍ර මූල්‍ය පද්ධතියක් පැවති බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ''සීට්ටු'' ක්‍රමය ඊට නිදසුනකි.

ණය එකතු කරන්නන් නිවෙස්වල ''පදිංචි වීම''

ක්ෂුද්‍ර මූල්‍ය ණය එකතු කිරීම බොහෝවිට සිදු වන්නේ අදාළ මූල්‍ය සමාගමේ නියෝජිතයන් ණයකරුවන් සොයා නිවාස වෙත යෑම මගිනි. එලෙස පැමිණෙන ණය එක්රැස් කරන නියෝජිතයින් ඇතැම් විට මුදල් ලබා දෙනතුරු පෙරවරු 9 සිට සවස 6 පමණ තෙක් නිවෙස් තුළ රැඳී සිටින අවස්ථා කොටහේනේදී මට අසන්නට ලැබුණි.

''ලෝන් කාරයත් යන්නේ නෑ. ඔහේ ඉන්නවා මේ පුටුවට වෙලා කකුළක් පිට කකුළක් දාගෙන. සමහර විට පුතාලා හැංගෙනවා. එතකොට කියනවා කීයට හරි එයිනේ කියලා ඒ මිනිස්සුත් ගෙදර නතර වෙලා ඉන්නවා. එතකොට ඉතිං තව කොහේට හරි ණය වෙලා කීයක් හරි දීලා යවනවා," විමලාවතී පීරිස් පැවසුවාය.

එලෙස ණය එක්රැස් කරන පුද්ගලයෙකු සිය නිවසේ නතරවී සිටියදී සැමියා නිවසට පැමිණීම නිසා ඇතිවූ ආරවුලක් ඩී පී එස් සාගරිකා මෙලෙස විස්තර කළාය.

''මට බනිස් ගෙඩියක්වත් ගන්න එදා සල්ලි තිබුණේ නෑ. ලෝන් සල්ලි වල පළවෙනි වාරිකය රුපියල් 800ක් ඉල්ලගෙන හිටියා ගෙදරට වෙලා. මම අද දෙන්න විදියක්ම නෑ කිවුවාම තවත් අයට කෝල් කරලා එයා ගෙන්න ගත්ත. දැන් හතර පස්දෙනෙක්ම මේ ගේ ඇතුළේ. මහත්තයත් ආවා. සල්ලි දෙන්න විදියක් නැති නිසා පොඩි කතාවක් ගිහිල්ලා මගේ හස්බන්ට ගහන්න පැන්නා. මම ගහන්න දුන්නේ නෑ. ඒ වෙලාවේ මට හෙල්මට් එකකින් ගැහුවා. ඒක පොලිසි ගිහින් සමථ මණ්ඩලයටත් දැම්මා," යනුවෙන් සාගරිකා පැවසුවාය.

ණය පියවීමට ණය 'අලුත් කිරීම'

ණය ගෙවාගත නොහැකිව සිටින පුද්ගලයන්ගෙන් දඩ පොලියද සහිතව මුදල් අය කර ගනී. ඇතැම් අවස්ථාවලදී ණය ගෙවීම සඳහා මුදල් නොමැති බව පැවසූ විට හිඟ මුදල ගෙවීමට එදිනට ඇති ශේෂයට ඉදිරියට පොළිය ගණනය කර කාලය දීර්ඝ කර තවත් ණය මුදලක් ලෙස අලුත් ණයක් ලබා දෙන බව ණය වූවෝ පවසති. එවිට සිදුවන්නේ පොළියට වැල් පොළිය ගෙවමින් තවත් ණය වීමය.

මුදල් එකතු කරන නියෝජිතයන් අදාළ ආයතන වලින් රැකියාවෙන් ඉවත්කළ පසුව ද ණයකරුවන්ගෙන් මුදල් එකතු කිරීමේ සිද්ධීන්ද අසන්නට ලැබුණි.

Image caption "මම නැති වෙලාවේ ණය සල්ලි එකතු කරන්න ගෙදරට ආපු කෙනා නෝනට හොඳටම බැනලා අහලා තිබුණා මිනිහගේ කොන්ද පණ නැද්ද කියලා" - සුරංග ලක්මාල්

නියාමනයට ලක් නොවූ ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාකාරකම්, නීති විරෝධී තැන්පතු භාරගැනීම්, අධික පොලී අනුපාත හරහා ගනුදෙනුකරුවන් සූරාකෑම මෙන්ම ආචාරශීලි නොවන නැවත අයකර ගැනීමේ ක්‍රියාවලි පිළිබඳව මහ බැංකුවට ද වාර්තා වී තිබේ. එබැවින් ක්ෂුද්‍ර මූල්‍ය නියාමන යාන්ත්‍රණ කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව ඇත.

ණය මුදලක් ලබා ගත් පසුව ඒවා නැවත ගෙවීමට ද ණය ලබාගත් අය බැඳී සිටින බව පොදු පිළිගැනීමකි. එසේ ණය නොගෙවන්නේ නම් ඒවා අය කර ගැනීමේ පිළිගත් ක්‍රමවේදයන් ඇත. එහෙත් එම පිළිගත් ක්‍රමවේද අනුගමනය නොකර කාන්තාවන් විවිධ අපසුතාවන්ට ලක් කිරීම ගැන ද අසන්නට ලැබේ.

''නොහොබිනා ලෙස බැනවැදීම්''

''මම නැති වෙලාවේ ණය සල්ලි එකතු කරන්න ගෙදරට ආපු කෙනා නෝනට හොඳටම බැනලා අහලා තිබුණා මිනිහගේ කොන්ද පණ නැද්ද කියලා,'' යනුවෙන් සුරංග ලක්මාල් පවසද්දී නාලිකා ප්‍රියදර්ශනී ද සිය අත්දැකීම් මෙලෙස විස්තර කළා ය.

''රෙදි ඇඳගෙනද තමුසෙලා කතා කරන්නේ. තමුසෙලාට ලැජ්ජා නැද්ද ? තමුසෙලා ඇඳුම් ඇදගෙනද ඉන්නේ ? කියල අපේ ගෙදරට ඇවිත් බැන බැන යනවා. නඩු දානවලු. ඔය ගෙයින් එලියට ඇදල දානවා කියලත් කියනවා. මේක අපේ අම්මලාගේ ගේ. ඇත්තටම අපිට දැන් ගෙවන්න ක්‍රමයක් නෑ. නඩු දානවා නම් නඩු දාපුවාවේ."

මේ අතර නියගය නිසා ණය ගෙවා ගත නොහැකි වූ ගෙවිළියන් හැත්තෑ පන්දහසකගේ ක්ෂුද්‍ර ණය කපාහැරීමට රජය 2018 අගෝස්තු 01 දා පියවර ගත්තේය. එහිදී මුදල් අමාත්‍යාංශය පැවසුවේ රුපියල් ලක්ෂයක් හෝ ඊට අඩුවෙන් පිළිගත් ආයතනවලින් ලබාගත් මාස තුනක් තිස්සේ නොගෙවූ ණය කපා හරින බවය.

ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ ආයතන නියාමනය සඳහා නීති පැනවීමට දශකයකට වැඩි කාලයක් විවිධ උත්සාහ ගෙන තිබේ. අනතුරුව 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත 2016 ජූලි 16 වැනි දින සිට බලාත්මක වේ.

නීතියෙන් බැඳී නැති ආයතන

මෙම ගැටලු ගැන ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති අනුර අතපත්තුගෙන් විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ ක්ෂුද්‍ර මූල්‍ය පනත යටතේ මහා බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන පවතින්නේ තුනක් පමණක් බවය.

"ඇයි මෙහෙම වුණේ කියන එකට ප්‍රධාන හේතුව තමයි ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය ව්‍යාප්ත වුණ වේගයෙන් රජය විසින් අදාළ නියාමන ක්‍රමවේදයක් ගෙනාවේ නෑ. 2002 ඉඳන් ක්ෂුද්‍ර මූල්‍ය පනත් හයක් ආවා. හයවෙනි එක තමයි අන්තිමට 2016 අනුමත කළේ. හරි නියාමනයක් තිබ්බනම් මේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට මෙහෙම හැසිරෙන්න බෑ. අවසානයේ වුණේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන අතරට ආවා මේ රටේ මූල්‍ය සමාගම්. ඒ වගේම සමහර ක්ෂුද්‍ර මූල්‍ය ආයතනත් මූල්‍ය ආයතන බවට පත් වුණා. ඒකෙන් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය දියුණු වුණේ නෑ වගේම ඒ අරමුණු ඉටුවුණෙත් නෑ," යනුවෙන් ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන මූල්‍ය සමාගම් හා ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් උපරිම පොලිය 35% සීමාවට යටත් වේ.

නියාමනයට ලක් නොවන වෙනත් ආයතන ඊට වැඩි පොලියට ණය ලබා දුන්න ද රජයට කළ හැකි දෙයක් නොවන බව ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති අනුර අතපත්තුගේ අදහස වී ඇත.

ලංකා ක්ෂුද්‍ර මූල්‍ය ණය වෘත්තිකයන්ගේ සංගමය යටතේ පමණක් ක්ෂුද්‍ර මූල්‍ය ණය සපයන ආයතන 54ක් පමණ තිබේ. ඒ අතර කිසිදු නියාමනයකට ලක් නොවන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ද වේ.

ක්ෂුද්‍ර මූල්‍ය ණය මුදල් ගෙවා ගත නොහැකිව සිටින කාන්තාවන්ට නීති ආධාර සැපයීම සහ ඔවුන් දැනුවත් කිරීම සිදු කරන නෙළුම් යාය පදනම, ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සහ නීතිය හා සමාජ භාරය පවසන්නේ සියදිවි නසාගත් පුද්ගලයන් ගැන තොරතුරු වාර්තා වී තිබෙන බවය. එම මරණ වලට හේතුව ණය ගෙවා ගත නොහැකිවීම බව සෘජුව සඳහන් නොවුන ද ඔවුන්ගේ ඥාතීන් ලබාදුන් තොරතුරු අනුව ඊට හේතුව ''ණය උගුලේ පැටලීම'' බව වාර්තා වී ඇතැයි නෙළුම් යාය පදනමේ වැඩසටහන් අධ්‍යක්ෂ නීතිඥ රධිකා ගුණරත්න පවසන්නීය.

කියවන්න: