"භාවනා නොකළ නිසා" පහරදීමට තැත්කිරීමේ චෝදනාව: පොලිස්පති පූජිත්ට ඇප

පුජිත් ජයසුන්දර Image copyright Police CCTV

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (ඔක්තෝබර් 01) අත්අඩංගුවට ගන්නා ලදුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරිනු ලැබිණි.

ඔහු අත්අඩංගුවට ගැනුණේ මින් වසර දෙකකට ඉහතදී පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක‍්‍රියාකරුවකුට පහර දිමට තැත් කර තර්ජනය කළ බවට එල්ලවූ චෝදනාවට අදාළවය,

2017 අප්‍රේල් මාසයේ දිනක පොලිස් මුලස්ථානයේ විදුලි සෝපානය ක්‍රියාකළ තමන්ට පරුෂ වචනයෙන් බැණ වැද පහරදීමට උත්සාහ කළේ යැයි සමරකෝන් බණ්ඩා නමැති විදුලි සෝපාන ක්‍රියාකරු පැමිණිලි කර තිබිණි.

මේ සම්බන්ධයෙන් සමරකෝන් බණ්ඩා විසින් පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබුනද පොලිසිය ඒ සම්බන්ධයෙන් කළේ 'පාස්කු ඉරිදා ප්‍රහාරයෙන්' පසු පොලිස්පති පුජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමෙන් අනතුරුවය.

පහරදීමට තැත්කිරීමට අදාළ සීසීටීවී වීඩියෝ දර්ශන 2017 වසරේ අගෝස්තු මාසයේදී මාධ්‍යට නිකුත්වූ අතර ඒ සම්බන්ධයෙන් ඇති වූයේ මහත් ආන්දෝලනයකි.

පොලිසියේ දිනපතා අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කෙරෙන භාවනා වැඩසටහනට සම්බන්ධ නොවීම ගැන පොලිස්පතිවරයා විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට බැනවැදුණු නමුත් කිසිම අවස්ථාවක ඔහුට පහර නොදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර එම අවස්ථාවේදී එවක ප්‍රකාශ කළේය.

සෑම දිනකම උදෑසන විනාඩි කිහිපයක් මානසික ඒකාග්‍රතාව ඇතිකරගැනීමට භාවනාව වැනි යම් කිසි මානසික ව්‍යායාමයක සියලු පොලිස් නිලධාරීන් යෙදිය යුතු බවට පොලිස්පතිවරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් එම ව්‍යායාමය පොලිස් මුලස්ථානයේ නිසිලෙස සිදුවෙනවාදැයි පරික්ෂා කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම අවස්ථාවේදී පැවසීය.

"මෙතන පැහැදිලිව පහරදීමක් වෙලා නැහැ, බැන වැදීමක් කරනවා ඒක හරි, හැබැයි පහර දෙන්නේ නැහැ" යැයි 2017 වසරේ අගෝස්තු 16 කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේය.

විදුලි සෝපාන ක්‍රියාකරු විදුලි සෝපානය ඒ අවස්ථාවේ ක්‍රියාත්මක කරන්නට ඇත්තේ යම් කෙනෙක්ට ගමන් කිරීමට නේදැයි විමසුවිට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙම ව්‍යායාමය ක්‍රියාත්මක කරන අවස්ථාවේ විදුලි සෝපාන පවා ක්‍රියාත්මක නොකළ යුතු බවකි. ඒ අවස්ථාවේ විදුලි සෝපාන ක්‍රියාකරුත් විදුලි සෝපානය නවත්වා භාවනා කළ යුතු දැයි විමසු විට ඔහු පැවසුවේ "අනිවාර්යෙන්ම එය කළ යුතු" බවය.

මෙම සිදුවීම ගැන පරීක්ෂණයක් පවත්වන බව පසුගිය ජුනි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත්කල අතර එහිදී මේ සම්බන්ධයන් පොලිසියේ 6 දෙනෙකුගෙන් ප්‍රශ්න කර කරුණු සටහන් කරගත් බව සඳහන් කර තිබිණි. පැමිණිල්ල ඉදිරිපත් කළ සමරකෝන් බණ්ඩාට අමතරව පුජිත් ජයසුන්දර බැනවැදුණු බව පවසන පොලිස් නිලධාරිනියකගෙන්ද කරුණු සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබුණි. මෙම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් විමර්ශණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

2016 වසරේ අප්‍රේල් 20 වැනිදා පොලිස්පතිධුරයට පත්වූ පුජිත් ජයසුන්දර මේවන විට සිටින්නේ අනිවාර්ය නිවාඩු යැවීමකට යටත්වය.

Image caption පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්ෂි දුන් පුජිත් ජයසුන්දර

පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් වගකීම බාරගෙන ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිස්පති පුජිත් ජයසුන්දරගෙන් ඉල්ලා සිටියේය. ඔහු එය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව 2019 වසරේ අප්‍රේල් 29 වැනිදා ඔහුව අනිවාර්ය නිවාඩු යවා වැඩබලන පොලිස්පතිවරයෙක් පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

ජුලි මස දෙවෙනි දින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සමග පුජිත් ජයසුන්දර පොලිස් අත්අඩංගුවට ගැනුණේ පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී නොසැලකිල්ල හා මිනීමැරුම් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙනි. සැකකරුවන්ට එරෙහිව මිනීමැරීම සහ නොසැලකිල්ලෙන් බරපතළ දේපළ හානි සිදු කිරීම යන චෝදනාව පවත්වාගෙන යාමට සාධාරණ කරුණු නොමැති බව තීන්දු කරමින් ජුලි 9 වෙනි දින ඔවුන් දෙපල ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයක් ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කර තිබෙන අතර එම පෙත්සමේ තීන්දුව ඔක්තෝබර් මස 09 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට සහ අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව පවසමින් ද ජනාධිපතිවරයාගේ තීන්දුව නීත්‍යනුකූල නොවන බව පවසමින් ද පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. නොවැම්බර් මස 13 වැනි දින එම පෙත්සම සළකා බැලීමට අධිකරණය තීරණය කර ඇත.

පොලිස්පති තනතුරට අයත් සියලු වැටුප් හා වරප්‍රසාද පුජිත් ජයසුන්දරට තවමත් හිමිවන අතර ඔහු තවදුරටත් පොලිස්පති නිල නිවසේද රැඳී සිටී. කොපමණ කලක් මෙලෙස වැඩතහනමකට ලක්ව ඔහුට මෙම තනතුරේ සිටිය හැකිදැයි තවමත් නිශ්චිත නොවන අතර ඒ ගැන කළ විමසුමකට පිළිතුරු දුන් ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියකු පැවසුවේ ඔහු සම්බධයෙන් පවත්වන විනය පරීක්ෂණ තවමත් අවසන්වී නොමැති බවය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ පිළිබඳව දැනට අධිකරණයේ නඩුවක්ද පැවතීම හේතුවෙන් බොහෝදුරට ඔහුගේ විශ්‍රාම යන දිනය වන 2020 වසරේ මාර්තු 15තෙක් මේ ආකාරයෙන්ම අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පතිවරයා ලෙස ඔහු සිටිනු ඇති බවකි.

පොලිස්පතිවරයා ඉවත්කිරීමට නම් නිසි විමර්ශනයක් පවත්වා බහුතර මන්ත්‍රී සහය ඇතුව යෝජනාවක් සම්මත කළ යුතු බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර