හබරණ අලි මරණ : "කසිප්පු මතට හුරු වූ" ශ්‍රී ලංකාවේ වන අලි

Image copyright Getty Images

හබරණ දී ඇතින්නියන් හත් දෙනෙක් මිය ගියේ ස්වභාවිකව ද එසේත් නැතිනම් මානව ක්‍රියාකාරකමක් නිසා සිදුවූවක් ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැත.

මරණ වලට හේතුව තවමත් අභිරහසක් ව පවතින නමුත් අඟහරුවාදා (ඔක්තෝබර් 01) මාධ්‍ය හමුවක් කැඳවමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මේ ඇතින්නියන් විෂ ශරීරගතවීම නිසා මිය යන්නට ඇතැයි සැක කරන බවය.

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන පශු වෛද්‍යවරුන් ගේ ද මූලික අදහස එය වේ.

සත්ව වේදීන් පවසන්නේ අලියෙකුට විෂ ශරීරගතවීමක් සිදුව ඇත්නම් පැය දෙකක් වැනි කාලයක් තුළ ඒ සම්බන්ධයෙන් නිගමනයකට පැමිණිය හැකි බවය.

මේ අතර වස විස දී අලි ඇතුන් මරාදැමීමේ නවතම ප්‍රවණතාවක් ගැන පරිසර වේදීහු කරුණු දක්වති.

"අලියෙකුට විසක් ශරීරගත වුණානම් පශ්චාත් මරණ පරීක්ෂණය තියල මූලික ලක්ෂණ හොයාගන්න පුළුවන්. පැය දෙකක් තුනක් යද්දි ඒක නිශ්චිතව කියන්න පුළුවන්. මේ කලාපයේ අලි දැන් කසිප්පු, ගෝඩා වගේ මත්පැන් බොන්න හුරුවෙලා. ජාවාරම් කාරයෝ තමන්ගේ බූලි ආරක්ෂා කරගන්න වහ දෙනවා සතුන්ට. අපිට සැකයි මේ මරණත් ඒ විදිහටම සිදුවුණාද කියලා," යනුවෙන් පරිසරවේදී නයනක රන්වැල්ල බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

මත් පැන් බොන අලි

Image copyright Getty Images

වර්තමානයේ වන අලි වනාන්තර ආශ්‍රිතව රහසිගතව පෙරන මත් පැන් පානය සඳහා හුරුවී ඇති බව පශු වෛද්‍යවරු ද තහවුරු කරති.

එවැනි හොර මත්පැන් පෙරන ස්ථානවලට පැමිණෙන අලි ඇතුන් මත් පැන් බී අවසිහියෙන් එම ස්ථාන විනාශ කරන බැවින් ජාවාරම් කරුවන් වල් නාශක මිශ්‍ර කර සතුන්ට දීමට හුරුව ඇති බව වාර්තා වේ.

පරිසරවේදී නයනක රන්වැල්ල පවසන පරිදි මේ තත්වය උග්‍ර වශයෙන් පවතින බව වාර්තා වන්නේ හබරණ වනජීවී කලාපය ආශ්‍රිතවය.

"දැන් මේක ලොකු ප්‍රශ්නයක්. වෙරි උනාම අලි පාර පුරා යනවා. හරියට මනුස්සයෙක් මත් උනාම වගෙයි. එකපාරම වැටෙනවා. පැය හය හතක් නැගිටගන්න බෑ. හබරණ අලියෙක් දවසක් රෑ හොඳටම බීල හවස් වෙනකම් පාර හරහා වැටිලා හිටියා. සිංහරාජේ අලියාත් එහෙමයි. අලි මෙහෙම බොන්න කැමති උනාට ඒක කසිප්පු ව්‍යාපාරයේ නිරත අයට ලොකු ප්‍රශ්නයක්. ඔවුන් ඉන්නේ අලිත් එක්ක සෑහෙන්න කේන්තියෙන්."

මත් පැනට වස මිශ්‍ර කිරීම

පොළොන්නරුව සහ අනුරාධපුර වනජීවී කළාප භාර පශුවෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් හබරණ දී මියගිය ඇතුන් සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකෙරිණ.

මතට ඇබ්බැහි වූ අලි ඇතුන් සම්බන්ධයෙන් තමන්ට ද අත්දැකීම් පවතින බව පරීක්ෂණ භාරව සිටින පශු වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී වෛද්‍ය චමින්ද ජයසිංහ ද පවසයි.

ඔහු පවසන්නේ ජාවාරම් කරුවන් රහසිගතව කැලයේ සඟවා ඇති ගෝඩා බැරල් සොයා පැමිණෙන අලි ඒවා පානය කරන බවය.

"අලි බීමත්ව හැසිරෙනවා දැකල තියනවා. අවසිහියෙන් ඉන්නේ එතකොට. සමහර අලි වැනි වැනි පාරේ පවා ඉන්නවා. දැන් කාලයක සිට මේ ප්‍රවණතාව පවතිනවා. භයානක දේ තමයි මේ අලින්ට කසිප්පු සමග මිශ්‍ර කර දෙන්නේ වල් නාශක. වල් නාශක දුන්නම මේ සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතියට හානි වෙනවා. හැබැයි එකපාරම මැරෙන්නේ නෑ. සෑහෙන්න දුක් විඳිනවා. කන්න බැරිවෙනවා. අන්තිමේ විඳවලා මැරෙනවා," පශු වෛද්‍ය චමින්ද ජයසිංහ පැවසීය.

"හබරණ ඇතින්නියන්ට විෂ ශරීරගතවෙලා"

Image caption හබරණ දී මියගිය ඇතින්නක්

හබරණ දී මියගිය ඇතින්නියන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අවසන්ව තිබේ.

මුලිකව ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව කෙරුණු පරීක්ෂණ වලදී මේ සතුන්ට විෂ ශරීරගතවීමක් සිදුව ඇතැයි තහවුරු කරගත් බව පශු වෛද්‍ය චමින්ද ජයසිංහ අනාවරණය කළේය.

"සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් උනාම අපි ඒ සතුන් සැරිසැරූ පරිසරය, වගේම ඉතිහාසයත් අධ්‍යයනය කරලා බලනවා. අපි මේ සතුන්ගේ සාම්පල අරගෙන යැව්වා රජයේ රස පරීක්ෂකට වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයටත්. එතනදී බලන්නේ විෂ ශරීරගත වුණේ කොහොමද කියලා. සමහර විට කර්මාන්ත ශාලාවකින් පිට වූ වායුවක් නිසාද? නැත්නම් ඇල්ගී වලින් නිකුත් වූ විස ද්‍රව්‍යයක් හෝ ශාක වර්ගයක් ආහාරයට අරගෙනද? එසේත් නැත්නම් පිටස්තරව ලැබුණ විසක් නිසා මියගිහින්ද කියල බලන්න වෙන්නේ අවසන් වාර්තාව ලැබුනට පස්සේ," වෛද්‍ය චමින්ද ජයසිංහ තහවුරු කළේය.

"මිය ගිහින් ඉන්නේ නිරෝගී සත්තු"

Image caption හබරණ දී මියගිය ඇතින්නක්

"මේ හැම සතෙක්ම නිරෝගී සත්තු. මිය යනකොට උදරය පිරෙන්න ආහාර අරන් හිටියේ හැම සතෙක්ම. අපි මේ සතුන්ගේ ජීරණ පද්ධති පරීක්ෂා කළා. දිරා ගිය ශාක කොටස්, කැකිරි ඇට වගේ සාමාන්‍ය දේවල් තමයි උදරයේ තිබී හමුවුණේ. නමුත් ඉන්ද්‍රියන් පරීක්ෂා කිරීමේදී විෂ ශරීරගත වූ බවට සාධක පවතිනවා."

පරිසරවේදී නයනක රන්වැල්ල පවසන පරිදි ස්වභාවික පරිසරයේ හටගන්නා විෂ සහිත ශාකමය ආහාරයකට අමතරව, අලියෙකු මරා දැමීම සඳහා බාහිරින් විෂ අඩංගු කළ ශාකමය ආහාර තුළින් අලියෙකු මරා දැමීම අසීරුය.

නමුත් විෂ වායුවක් ආඝ්‍රාණය හෝ දියරයක් මාර්ගයෙන් අලියෙකුට විෂ ශරීරගත කළ හැකිය.

හබරණ මියගිය ඇතින්නියන් හත්දෙනාගේ උදරයේ සාම්පල සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂා කිරීමේදී විෂ සහිත ශාකමය ආහාරයක් ශරීරගතව පැවති බවට මෙතෙක් නිශ්චිත සාක්ෂි නොමැති වුවත් ආහාර ජීර්ණ පද්ධතිය අධ්‍යයනය කිරීම තුළ විෂ ශරීරගත ව ඇති බව හඳුනාගෙන තිබේ.

"හබරණ ඇතින්නියන් විස මත්පැන් පානය කළද?

Image copyright AFP
Image caption හබරණ දී මියගිය ඇතින්නක්

"එහෙම මත්පැන් පානය කළා ද යන්න හරියටම කියන්න බෑ. නමුත් මේ මරණ උග්‍ර විසක් ශරීර ගතවීම නිසා සිදුවුණා වෙන්න පුළුවන්. මොකද ක්ෂණික මරණ සිදුව තිබෙන්නේ. දිගු කාලීනව ඉන්ද්‍රියන්ට වූ බලපෑමක් නිසා වූවක් නොවෙයි. නමුත් තවමත් අපි පරීක්ෂණ පවත්වනවා," පශු වෛද්‍ය වරයා තහවුරු කළේය.

ශ්‍රී ලංකාවේ වන අලි සංගණනයක් අවසන් වරට සිදු කෙරුණේ, 2011 වසරේදීය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, එම වන අලි සංගණනයට අනුව වන අලි 5879 දෙනෙකු පිළිබඳ දත්ත රැස් කර ගත් බවය.

2019 වසර ආරම්භයේ සිට මේ දක්වා මිනිස් ක්‍රියාකාරකම් නිසා අභයභූමි ආශ්‍රිතව දිවි ගෙවන වන අලි 296 ක් මියගොස් තිබේ.

අලි මිනිස් ගැටුම නිසා වසරේ මේ දක්වා අහිමිව ඇති මිනිස් ජීවිත සංඛ්‍යාව 91 කි.

අලි ඝාතනය කිරීමේ අරමුණ ඇතිවම සිදුවන මිනිස් ක්‍රියාකාරකම් අතර හක්ක පටස් සහ වස ලබාදීම ප්‍රමුඛ වේ.

ඒ අතරින් වස විස දීම කෙරෙහි වැඩි අවධානය යොමුවන්නේ ඒ සම්බන්ධයෙන් පරිසරවේදීන් මෙන්ම පශු වෛද්‍යවරුද තහවුරු කරන ඇතැම් කරුණු නිසාවෙනි.

"දෙපාර්තමේන්තුවත් වගකිව යුතුයි"

Image copyright Ranjith Aluwihare/facebook
Image caption රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ

වනජීවී සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, නිලධාරීන්ගේ වගකීම් විරහිත ස්වභාවය නිසා අලි සම්පත පමණක් නොව සමස්ථ සත්ව ආරක්ෂණ ක්‍රියාවලියම අඩපනව ඇති බවය.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ රටේ වන සම්පත ආරක්ෂා කරගැනීම සඳහා දෙපාර්තමේන්තුව සතුව විධිමත් සැලැස්මක් නොමැති බවය.

ඔහු සඳහන් කළේ අලි මරණ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම විශේෂඥ කමිටුවකට පැවරූ අතර නිලධාරීන් සම්බන්ධයෙන් ආයතනික මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වෙන බවය.

අමාත්‍යවරයා පවසන්නේ සීමා මායිම් සම්බන්ධයෙන් නිසි ආරක්ෂණ වැඩපිළිවෙලක් නොමැති නිසා බාහිර පුද්ගලයින් අභයභූමි සහ රක්ෂිත වෙත අනවසරයෙන් ඇතුල්වීම පාලනය කිරීම අසීරු කටයුත්තක් බවය.

ඉදිරියේදී යුද හමුදාවේද සහය හිමිවන වනාන්තර ආරක්ෂා කිරීමේ නිසි වැඩපිළිවෙලක අවශ්‍යතාව මතුව ඇති බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එහිදී අනවසර දැව ජාවාරම, දඩයම මෙන්ම නවතම ප්‍රවණතාවක්ව පවතින හොර මත්පැන් ජාවාරම පාලනය සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුකරන බවය.

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර