ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය: ඡන්ද කාලෙට දෙවියන් මතක් වෙන දේශපාලකයෝ

Image caption කපුරු දුම් දල්වා පොල් ගැසීමට සූදානම් දේශපාලනඥයෙක් - රෝහිත අබේගුණවර්ධන

මන්ත්‍රාචාර්යවරු නැකැත් හදා දෙති. ජන්ම පත්‍රවල ග්‍රහ තරු පිහිටීම් පිරික්සමින් රාජයෝග සොයති. ජයග්‍රාහකයන් පිළිබඳව අනාවැකි කියති. ඇදුරෝ යාතුකර්ම කරති. කපුවෝ දෙවියන්ට භාරහාර වෙති.

මෙය ශ්‍රී ලංකාවේ මහ මැතිවරණ සහ ජනාධිපතිවරණ සමයන්හි සාමාන්‍යකරණයට ලක්ව ඇති අභිචාර විශේෂ වෙයි.

දේශපාලනය ලෞකික විෂයකි. එහෙත් ලෝකයේ බොහෝ රටවල පාලන තන්ත්‍රයේ නිරත වෙන්නන් දේශපාලනයේ එම ලෞකික පදනම අමතක කරමින්, බලය ලබා ගැනීමට සහ ලබා ගත් බලය තහවුරු කර ගැනීම සඳහා මිථ්‍යා ඇදහිලි සහ විශ්වාස - යාගහෝම පුදපූජා - කෙරෙහි නැඹුරු වීම රහසක් නොව, රූපවාහිනී කැමරා ඉදිරියේ පවා එළිපිට ම ප්‍රදර්ශනය කෙරෙන ප්‍රවණතාවකි. එම ප්‍රවණතාව විශේෂයෙන් ම දක්නට ලැබෙන්නේ 'බලය' සඳහා කෙරෙන දේශපාලන අරගලවලදීය.

මිනිසුන් සිය දුක් ගැහැටවලදී ඔවුන්ගේ සහනය සඳහා ආගම්වල පිහිට - ආශීර්වාදය පැතීමේ සමාජ චර්යාව සහ "දේශපාලන වරප්‍රසාද" වෙනුවෙන් අද්භූත මිථ්‍යා ඇදහිලි සහ විශ්වාස පසුපස යාම අතර වෙනස පැහැදිලිව හඳුනා ගත යුතු විෂය ක්ෂේත්‍රයන් දෙකකි.

කෙසේවුවද, බොහෝ දේශපාලකයෝ විශේෂයෙන් ම මැතිවරණ කාලවලදී දෙවියන්, ග්‍රහතාරකා සහ බොහෝ මිථ්‍යා ඇදහිලි හා විශ්වාස පිටුපස යාම වත්මන් සමාජයෙහි සාමාන්‍ය චාරිත්‍රයක් වැනි තත්වයකට පත්ව ඇත.

ජනාධිපති සහ අගමැති පදවිය වැනි ප්‍රධාන තනතුරු සඳහා තරගවදින්නන් ගේ ජන්ම පත්‍රවල රාජයෝග පිරික්සීම නක්‍ෂත්‍රකරුවන් විසින් පවරා ගන්නා ලද 'රාජකාරියක්' බවට පත් වී තිබේ.

අපේක්ෂකයන් නාම යෝජනාවලට අත්සන් තැබීම සහ ඒවා භාරදීම පවා බොහෝවිට සිදු කරනු ලබන්නේ නක්‍ෂත්‍රකරුවන් විසින් නියම කරන ලද ශුභ මුහුර්තීන්ට අනුවය.

කන්‍යාවියන් අතින් පැන් සනහා ගනිමින්

ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයෙක් නිරුවත්ව කන්‍යාවියන් අතින් දිය ස්නානය කරවා ගනිමින්, සිය සිරුරින් අඩක් මල්ගොඩකින් වසාගෙන සිටින මොහොතක සිදුකර ගත් 'යාතු කර්මයක්' පිළිබඳව පුවතක් එක්තරා අවධියක සමාජය තුළ පැතිර යමින් තිබුණි.

එපමණක් නොව, තමන්ට මුහුණ දීමට සිදු වු "දේශපාලන අපල" මග හරවා ගැනීම සඳහා එම නායකයා හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් දිවයින පුරා 'අබ' විසුරුවා හැරීමක් සිදුකළ බවක් ද ඒ සඳහා ඔහුට සහයෝගය දුන් ඇමතිවරයකු විසින්ම පසුව හෙළිදරව් කරනු ලැබුණි.

'මලයාලම්' කට්ටඩියන් ගෙන්වා ගනිමින් ශාන්තිකර්ම කරගත් එම දේශපාලනඥයා මන්ත්‍රීවරුන් තමාට එරෙහිව යාම වළක්වා ගැනීම සඳහා මධ්‍යම රාත්‍රියක පාර්ලිමේන්තුව අඳුරු කොට මන්ත්‍රී ආසනවල සූකර තෙල් ගෑ බවක් ද වාර්තා විය.

එක් පුද්ගලයෙක් කේන්ද්‍ර කර ගනිමින් එවැනි පුවත් ප්‍රචාරය වුවත් එම සිද්ධීන් මගින් පෙන්නුම් කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ගෙන් වැඩිදෙනෙක් තමා කෙරෙහි හෝ මහජනයා කෙරෙහි නොව මිථ්‍යා මත සහ ඇදහිලි කෙරෙහි තබා ඇති අපරිමිත විශ්වාසයයි.

කාලි අම්මාට එළුවෙක්

ස්ථානය; කොළඹ මහජන පුස්තකාලයීය ශ්‍රවනාගාරය

මෙයින් වසර කීපයකට පෙර දේශපාලන සාකච්ඡාවක් පෙරට යමින් තිබියදී නැගී සිටි ජාතික ඇඳුමින් සැරසුන තැනැත්තෙක් සිය නම සහ අනන්‍යතාව තහවුරු කරමින් මෙසේ සඳහන් කළේය.

"මම පසුගිය මැතිවරණයේ දී ......ඇමතිතුමා වෙනුවෙනුයි වැඩ කළේ. ඇමතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිදු කළ සියලුම ආගමික කටයුතු සම්බන්ධීකරණය කළේ මම. එක අවස්ථාවක දී ඇමතිතුමාගේ ජන්ම පත්‍රය පරීක්ෂා කළ කෙනෙක් ඔහුට කාලි අම්මා වෙනුවෙන් පූජාවක් කරන ලෙස උපදෙස් දී තිබුණා. ඒ අනුව අපි එළුවකු ගෙන ගිහින් කාලි කෝවිලේ දී එම එළුවාගේ බෙල්ල කපා ඇමතිතුමාගේ ජයග්‍රහණය සහතික කිරීමට කටයුතු කළා. ඇමතිතුමා මෙය නැතැයි කියනවානම් එය ඔප්පු කරන්නට මම සූදානම්."

එම කතාව කියන තැනැත්තා අදාළ දේශපාලනඥයා නමින්ම සඳහන් කරමින් එම සිද්ධිය ප්‍රසිද්ධියේ හෙළිදරව් කළ නමුත් කිසිවෙකු ඔහුට අභියෝග කළේ නැත.

Image copyright Twitter
Image caption හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දකුණත රැඳී ඇති "වජ්රය" ජාත්‍යන්තර මාධ්‍යවල පවා සාකච්ඡාවට ලක්ව ඇත

කියවන්න:

මැතිවරණ සටනක් ආරම්භවීමත් සමඟ ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලනඥයන් අද්භූත බලවේගවල පිහිට පතමින් විවිධ පුදපූජා කිරීම සුලභ කරුණක්ව ඇත.

ඔවුන් අයත් ආගම කුමක් වුවත් බලය ලබා ගැනීමට අවශ්‍ය වූ විට ඊට පිහිටක් වනු ඇතැයි සිතන ඕනෑම ආගමක හෝ අද්භූත විශ්වාසයක පිහිට යැදීමට ඔවුහු පසුබට නොවෙති.

තිරුපති දේව වන්දනාවේ

ශ්‍රී ලංකාවේ වත්කම් සහිත ඉහළ මට්ටමේ දේශපාලනඥයන් ඉන්දියාවේ 'තිරුපති' දෙවොල කරාගොස් විවිධ පුද පූජාවන් සිදුකරමින් භාරහාරවීම ඇතැම්විට මාධ්‍යයට පවා ප්‍රධාන මාතෘකාවක් වෙයි.

ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි 'තිරුපති' දෙවොල වන්දනා කළ ශ්‍රී ලංකාවේ දේශපාලකයන් අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අගමැති රනිල් වික්‍රමසිංහ සහ බලයේ සිටි සහ සිටින තවත් ප්‍රධාන පෙළේ ඇමතිවරුන් රාශියක් වෙති.

අගමැති රනිල් වික්‍රමසිංහ 'තිරුපති' දෙවොලට තම සිරුරෙහි බරට පුද පඳුරු පුදන ලද ආකාරය පසුගියදා මාධ්‍ය මගින් වාර්තා කරන ලද්දේ පින්තූර සහිතවය.

දේශපාලනයේ ඉහළ පදවියක් කෙරෙහි කාලයක සිට බලා සිටින හිටපු ඇමතිවරයෙක් තිරුපති වන්දනාවෙන් පසු හිස බූගා සිටිනු පසුගිය කාලයෙහි දක්නට ලැබුණි.

Image copyright Getty Images
Image caption සිය පිහිට පතා එන ශ්‍රාවකයන් ඉදිරියේ විස්කම් දක්වන සත්‍ය ශ්‍රී සායිබාබා ඇතැම් දේශපාලකයන්ගේත් ගැලවුම්කරුවා විය

සත්‍ය ශ්‍රී සායිබාබාගෙන් පිහිටක්

සත්‍ය ශ්‍රී සායිබාබා ජීවමාන අවධියෙහි දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන් ද ඇතුළු ශ්‍රී ලාංකිකයන් සැලකිය යුතු පිරිසක් සායිබාබා ගේ ආශීර්වාදය පතා 'පුත්තපර්ති' (ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටා ඇත)කරා යාම වාර්ෂික චාරිත්‍රයක මට්ටමක පැවතුනි.

බීබීසී සිංහල සේවය සමඟ වරක් සාකච්ඡාවකට සහභාගී වූ හිටපු විපක්ෂනායක සහ කතානායක අනුර බණ්ඩාරනායක, සිය දේශපාලන ගමනට සත්‍ය ශ්‍රී සායිබාබා ගේ පිහිට සහ ආශීර්වාදය ලැබෙන බව සඳහන් කළේය.

පටිගත කරන ලද එම ගුවන් විදුලි සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර බණ්ඩාරනායක, එම සාකච්ඡාව සිදු කෙරුණ මොහොතේත් තමා පැළඳ සිටින්නේ සායිබාබා විසින් ඔහුට දෙන ලද ඔරලෝසුවක් යයි සඳහන් කළේය.

"කවුරු කොහොම කිව්වත් මට කමක් නැහැ-සායිබාබාගේ ආශීර්වාදය මට ලැබෙනවා," බීබීසීය දිගින් දිගටම ප්‍රශ්න මතු කරන විට අනුර බණ්ඩාරනායක කියා සිටියේය.

ආගම සිය දේශපාලන කටයුතුවල දී වැඩි මැදිහත් කර ගැනීමක් නොමැති දේශපාලනඥයකු ලෙස නමක් දිනාසිටි හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධනත් සත්‍ය ශ්‍රී සායිබාබා වෙසෙන 'පුත්තපර්ති' ආශ්‍රමයේ චාරිකාවක නිරත විය.

පොල්ගැසීම සහ ගම්මිරිස් ඇඹරීම

ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ සිදු කෙරෙන විවාද වලදී එකිනෙක පාර්ශ්ව සහ එකිනෙකා කෙරෙහි බැන අඬ ගසා ගැනීමෙන් නොනැවතී දේවාල කරා ගොස් සිදුකරන "පොල් ගැසීම්" සහ කන්නලව් කිරීම් ද මේ අතර වෙති.

දකුණු වෙරල තීරයේ මුහුද මැද කුඩා දූපතක පිහිටි සීනිගම දේවාලය සතුරන්ට ශාප කිරීමට සුදුසුම තැනක් ලෙස එවැනි අද්භූත බලයන් පිළිබඳව විශ්වාසය තබන ඇතැමෙකුගේ අදහස වෙයි.

Image copyright Sri Devol Devalaya-Seenigama
Image caption ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලකයන් පොල් ගැසීම සඳහා තෝරාගත් ප්‍රමුඛ ස්ථානය සීනිගම දේවාලයයි

එවැනි මතධාරීහු තමන්ට සතුරු යයි සිතන පුදගලයන්ට ශාප කරමින් සීනිගම දෙවොල ඉදිරියේ පොල් ගැසීම සහ ගම්මිරිස් ඇඹරීම ප්‍රසිද්ධියේ සිදු කරති.

එවැනි පෞද්ගලික එදිරිවාදීකම් වලින් ඔබ්බට ගොස් දෙවියන්ට කන්නලව් කරන දේශපාලන එදිරිවාදීකම් පසුගිය කාලය පුරා සීනිගම දී දක්නට ලැබුණි.

2005 ජනාධිපතිවරණයේ දී එවකට අගමැති පදවියේ සිටි මහින්ද රාජපක්ෂ ඊලඟ ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස ඉල්ලමින් හිටපු ඇමතිවරයකු වූ අමරසිරි දොඩන්ගොඩ සීනිගමට ගොස් පොල් ගසන ලද්දේ සිය ආධාරකරුවන් කණ්ඩායමක්ද පිරිවරා ගනිමිනි.

පසුගිය කාලය තුළ විපක්ෂයේ පමණක් නොව ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන් විසින් ද සීනිගමදී පමණක් නොව විවිධ ආගමික ස්ථාන ඉදිරිපිට එවැනි පොල් ගැසීම් සිදු කරන ලද ආකාරය වීඩියෝ පට මගින් මාධ්‍ය ඔස්සේ විකාශනය කරනු ලැබුණි.

කියවන්න;

පිරිත් කඹ සහ ජප කරඬු

පිරිත් නූල් ගැටගැසීම චිරකාලීන බෞද්ධ චාරිත්‍රයකි.

භික්‍ෂූන් වහන්සේ තම ආශීර්වාදය පතන ගිහි ජනයාගේ අත්වල පිරිත් නූලක් ගැට ගැසීම ආශීර්වාදයක මට්ටමින් පැවැත එන බෞද්ධ සම්ප්‍රදායකි.

එහෙත් අද බල තරඟයෙහි නිරත බොහෝ දේශපාලකයන්ගේ ( ඇතැම් ව්‍යාපාරිකයන් ද ඇතුළුව) අත්වල ගැටගසා ඇති වර්ණවත් (පිරිත්) නූල් රැහැන් මගින් පෙන්නුම් කෙරෙන්නේ එම පෞරාණික බෞද්ධ සම්ප්‍රදාය නොව අලුත් ප්‍රදර්ශන සංස්කෘතියකි.

ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලනඥයන් පිරිත් නූල්වලට අතිරේකව වෙනත් ශුභපල උදා කෙරෙන විශේෂ වළලු පැළඳ සිටින ආකාරය රහසක් නොවේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතෙහි, පිරිත් නූල් සහ විශේෂ වළල්ලකට අමතරව වශීකරනාත්මක බලයක් ඇතැයි කියන විශේෂ "ජප කරඬුවක් " බොහෝ විට දක්නට ලැබෙයි.

දේශපාලනයේ සාමූහිකත්වය බිඳ වැටීම

මිථ්‍යා ඇදහිලි, විශ්වාස කරා දේශපාලකයන් ඇදී යන වේගයටම, අනිත් අතින් 'සමූහය' බිඳී වෙන්ව යමින් පුද්ගලයන් හැටියට තනි තනිව පෙනී සිටින දේශපාලන පරිසරයක් ද නිර්මාණය වෙයි. එහි අවසාන ප්‍රතිවිපාකය දේශපාලන බලවේග "පෞද්ගලික ආධිපත්‍යයට" යට වීමය.

උදාහරණයක් වශයෙන්,මහ මැතිවරණයක දී පක්ෂයේ හෝ කණ්ඩායමේ ජයග්‍රහණය නොව පුද්ගලයන් වශයෙන් ජය ගැනීමේ අභිලාශය පෙන්වා දිය හැකිය.

Image copyright Reuters
Image caption පිරටවල දේශපාලන පෙරැළි වලටත් ආගම පාවිච්චි කරන ආසියානුවන් කණ්ඩායමක්- ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජය වෙනුවෙන් ඉන්දියානු හින්දු පුද පූජා

දැනට බල පැවැත්වෙන මැතිවරණ ක්‍රමය තුළ මනාප තරඟය ඊට කදිම නිදසුනකි.

එකම පක්ෂයක අපේක්ෂකයන් කණ්ඩායමක් දෙවියන් හෝ වෙනත් නොපෙනෙන බලවේගයක් ඉදිරිපිට කන්නලව් කරන්නේ 'කණ්ඩායම' වෙනුවෙන් නොව තමන්ගේ 'මනාප ගොඩ' වැඩිකර දෙන ලෙසය.

මෙහිදී මතුකළ හැකි වැදගත් ප්‍රශ්නයක් වන්නේ දේශපාලකයන් මිථ්‍යා ඇදහිලි විශ්වාස ක්ෂේත්‍රයට පිවිසුණේද? නැත්නම් මිථ්‍යා ඇදහිලි විශ්වාස දේශපාලන ලෝකය ආක්‍රමණය කළේද? යන්නය.

කියවන්න;