ගෝඨාභය පුරවැසි පෙත්සම: විධායක බලතල ගැන මත දෙකක්

Image copyright Getty Images

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම අභියාචනාධිකරණ හමුවේ දෙවන දිනටත් සලකා බැලින.

නඩු විභාගය පැවැත්වෙන්නේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේය.

බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 03) නඩු විභාගය ආරම්භ වූ අවස්ථාවේ තුන්වන වගඋත්තරකරු ලෙස නම් කර සිටින රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ චානක ද සිල්වා ප්‍රථමයෙන් කරුණු ඉදිරිපත් කළේය.

ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ ජනාධිපතිවරයාට විධායක බලතල පැවරී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය පාලන බලය පැවරී තිබෙන්නේ අමාත්‍ය මණ්ඩලය වෙත බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ චානක ද සිල්වා, ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සහ රජයේ ප්‍රධානියා පමණක් බව ද සඳහන් කළේය.

ඒ අනුව රාජ්‍ය පාලනය අමාත්‍ය මණ්ඩලය විසින් මෙහෙයවිය යුතු අතර, ඒ ඒ අමාත්‍යාංශවල විෂය පථය අදාළ අමාත්‍යාංශය භාර අමාත්‍යවරු විසින් ඉටුකිරීම ව්‍යස්ථාපිත අවශ්‍යතාවක් බැවින් යම් අමාත්‍යවරයකුගේ විෂය පථයට සම්බන්ධ වන කරුණු ඉටු කිරීමට ජනාධිපතිවරයාට නීතිමය හැකියාවක් නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.

වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ අයදුම් පත පවා මේ වන විට දක්නට නොමැති බව ජනාධිපති නීතිඥ චානක ද සිල්වා වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

අදාළ කරුණු පමණක්

නඩු විභාගය අතරතුර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සියලුම පාර්ශවයන්ට සම්බන්ධ නීතිඥවරුන්ට දන්වා සිටියේ කරුණු ඉදිරිපත් කිරීමේ දී කාලවේලාව සැලකිල්ලට ගෙන මෙම නඩුවට අදාළ කරුණු පමණක් ඉදිරිපත් කිරීමට කාරුණික වන ලෙසය.

ඉන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විධායක බලතල ජනාධිපතිවරයා වෙත පැවරෙන බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා යනු සෘජුවම මහජන ඡන්දයෙන් තේරී පත්වෙන අයෙකු බව පෙන්වා දුන් ඔහු, ඒ අනුව ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන්නේ මහජනතාව විසින් පවරා දුන් විධායක බලතල බව සඳහන් කළේය.

එක් එක් අමාත්‍යාංශ සදහා අමාත්‍යවරු පත්කිරීමේ බලය විධායක ජනාධිපතිවරයා සතු බවත් යම් අමාත්‍යංශයක් සඳහා අමාත්‍යවරයකු පත් නොකරන්නේ නම් එම අමාත්‍යංශය සතු බලතල ඉබේම ජනාධිපතිවරයා වෙත පැවරෙන බව ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙන්වා දුන්නේය.

තවදුරටත් කරුණු දැක් වූ ඔහු සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂට් ද්විත්ව පුරවැසිභාවය පිරිනැමූ සමයේ පුරවැසිභාවය පිරිනැමීම පිළිබඳ බලතල ආරක්ෂක අමාත්‍යවරයා වෙත පැවරී තිබූ බවය.

ආරක්ෂක අමාත්‍යවරයා සතු බලතල එම අවස්ථාවේදී ජනාධිපතිවරයා වෙත පැවරී තිබුණු බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේය.

මෙය සද් භාවයකින් යුතුව ඉදිරිපත් කළ පෙත්සමක් නොවන බව අවධාරණය කර සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා එබැවින් එය ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

පෙත්සම වැඩිදුර සලකා බැලීම සිකුරාදා ට (ඔක්තෝබර් 04) කල් තැබිණ.

මේ තොරතුරුද කියවන්න:

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ලේඛක ගාමිණී වියන්ගොඩ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වරයා, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ දී විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබා ගෙන ඇති බවය.

විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට ඔහු විසින් මෙම බලපත්‍ර ලබාගෙන තිබෙන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි පවසන පෙත්සම්කරුවෝ එබැවින් එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බව ද සඳහන් කරති.

මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ වෙත විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටින ඔවුහු පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද අධිකරණයෙන් ඉල්ලා සිටිති.

තවත් තොරතුරු: