ළමා සාහිත්‍ය කෘති සඳහා රාජ්‍ය සම්මාන පහක් දිනූ ලේඛිකාව

Image caption තනුජා එන් අයගම රාජ්‍ය සම්මාන සමඟ

සාහිත්‍ය මාසය අවසන්වීමත් සමග කියවීමේ මාසය උදාවී තිබේ. එබැවින් පොත්පත් වලට ඇලුම් කරන අය අතර නව සාහිත්‍ය නිර්මාණ පිළිබඳ කතිකාව තවම අවසන් නැත.

මේ ළමා සාහිත්‍ය නිර්මාණ සඳහා රාජ්‍ය සම්මාන පහක් දිනූ ලේඛිකාවක ගැන කතාවකි.

ලේඛකයෙකුට තම නිර්මාණයක් වෙනුවෙන් ජාතික මට්ටමේ ඇගයීමක් වන ''රාජ්‍ය සාහිත්‍ය සම්මානයක්'' දිනාගැනීමට හැකි වන්නේ ඉතා කලාතුරකිනි. එහෙත් තනුජා එන් අයගම අවසන් වරට පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල අටක දී වසර පහක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිකර ගැනීමට සමත් වූවාය. ඇය මේ වන විට ශ්‍රී ලංකා ළමා හා යොවුන් පොත් මණ්ඩලයේ සම්බන්ධිකරණ ලේකම් වශයෙන් ද ක්‍රියා කරන්නීය.

"හරි පුදුමයි! හරි පුදුමයි!''

2019 වසරේ පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී තනුජා රාජ්‍ය සම්මානයට පාත්‍රවූයේ ''හරි පුදුමයි! හරි පුදුමයි!'' කෘතිය රචනා කිරීම වෙනුවෙනි. 1997 වසරේදී ''චූටි කවිතරු'' කෘතිය ප්‍රකාශයට පත්කරමින් ග්‍රන්ථ කතුවරියක ලෙස පාඨකයන් අතරට පිවිසි ඇය පළමු වරට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් හිමිකර ගත්තේ 2012 දී ය. ඉන් අනතුරුව 2014, 2016 සහ 2017 වසර වලදී ද තනුජා එන් අයගම රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්‍ර වූවාය.

''මං තුළ ළමයෙක් ඉන්නවා. ඒ ළමයා පොත් කියවන්න ආසයි. කාගේ හරි හොඳ ළමා පොතක් ගැන දැනගන්න ලැබුණොත් අනිවාර්යෙන්ම ඒක හොයාගෙන කියවනවා. ඒ තුළින් තමයි මගේ නිර්මාණ ඉස්සරහට යන්නේ," තනුජා එන් අයගම බීබීසී සිංහල සේවයට පැවසුවාය.

කළුතර, උග්ගල්බඩ මහා විද්‍යාලයෙන් සහ කළුතර බාලිකා ජාතික පාසලෙන් අධ්‍යාපනය ලබා ඇති ඇය ළමා සාහිත්‍ය නිර්මාණ වෙනුවෙන් රාජ්‍ය සම්මාන වලට අමතරව තවත් බොහෝ සම්මාන දිනාගෙන තිබේ. ඇගේ නිර්මාණ කාර්යයන් සඳහා පවුලේ ආභාෂය මෙන්ම ගැමි පරිසරය වස්තුබීජ සපයා තිබේ.

දියණියගේ ජීවන ගීතය වෙනස් කළ පියාගේ කවි රිද්මය

''මම 'මහපොත' විදියට සළකන්නේ මගේ තාත්තාව. තාත්තා හොඳ කවියෙක්. තාත්තා කියපු කවි රිද්මය තවම හොඳට මගේ ඇඟේ තියෙනවා. අම්මා නලවපු තාලය තවම තියෙනවා. සීයාගේ තොවිල් කවි තවම ඇහෙනවා. කරත්ත මාමගේ ගව මඩුව මට මැවිලා පේනවා. හරකබාන, කුඹුර ඒ ලස්සන පරිසරයේ සුන්දරත්වය අපි වින්දා," යනුවෙන් තනුජා ප්‍රකාශ කළාය.

පියා රැකියාව සඳහා දුරබැහැර ප්‍රදේශවලට ගොස් සිටියදී විස්තර දන්වා ලිපි එවා තිබෙන්නේද කවියෙනි. ඒ නිසාම පුංචි සන්දියේ පටන් කවියට පෙම් බැඳි ඇය කවි ලියන්නට ද දස්කම් දක්වන්නීය. හය ශ්‍රේණියේ ඉගෙනුම ලබන විට ඇගේ පළමු කවි නිර්මාණය පුවත්පතක පළවී තිබේ. උග්ගල්බඩ මහා විද්‍යාලයේ එවකට විදුහල්පතිවරයාව සිටි විජේසිංහ මහතාගෙන් සහ සිංහල විෂය ඉගැන්වූ ධර්මදාස පිටිගල ගුරුතුමියගෙන් ද තනුජාගේ නිර්මාණශීලී ලේඛනයට අත්තටු ලැබී තිබුණි.

දරුවන්ගේ ලෝකය යහපත් කිරීමට වෙර දරන ගුරු දෙවිවරු සැමදා ගරු බුහුමන් වලට ලක්වන බවට මේ කතාවද එක් නිදසුනකි.

''විජේසිංහ සර් පාසලේ රැස්වීම් අතරතුර මාව ඉස්සරහට ගෙන්නලා මගේ බොහෝ නිර්මාණ අගය කළා. සර්ගේ නීතියක් තිබුණා හැම වෙලාවේම සර්ව මුණගැහෙන්න බෑ. ඒත් දවසක් ඔෆිස් එකේ වැඩකරන කෙනාට කිවුවා මේ ළමයා එන්නේ පත්තරවලට මොනවා හරි දාන්න ලියුම් අත්සන් කරගන්න නිසා ඕනෑම වෙලාවක මාව මුණගැහෙන්න එවන්න කියලා," යනුවෙන් තනුජා පැවසුවේ මේ වන විට ජීවත්ව නොසිටිය ද ඒ ආදරණීය විදුහල්පතිතුමා කෙරෙහි වූ හදපිරි ගෞරවයෙනි.

Image caption තනුජා, ප්‍රවීන ලේඛිකා සිබිල් වෙත්තසිංහ සමඟ

සම්මාන පෙරහැර

ගෙවුණු දශක දෙක තුළ තනුජා එන් අයගම ''ගාන්ධර්වයා අශ්වයා සහ මහල්ලා'' නමින් කෙටි කතා කෘතියක් සහ ළමා සාහිත්‍ය කෘති විස්සක් දැයේ දූ දරුවන් වෙත තිළිණ කර ඇත. ඇය බොහෝවිට කළුතර සිට කොළඹ යන්නේ දුම්රියෙනි. සමනල කන්ද සිප හමා එන මද සුළඟ ගත දැවටෙන කළුතර පසුකර කොළඹ දෙසට දුම්රියේ ගමන් කරන අයෙකුට මුහුද සහ අහස බොහෝ දුරක් යනතුරු දර්ශනය වේ. ඒ අත්දැකීම ලද තනුජා 2012 වසරේදී පළමු රාජ්‍ය සම්මානය දිනාගත් ''අහස් ගමට ගිය පුංචි සිත්තරා'' කෘතියට එම සිදුවීම් පාදක කරගත්තාය.

ඇය රචනා කළ ''මුහුද සහ දෝණි'' කෘතියට 2014 වසරේදී ද ''ඉර එළිය'' කෘතියට 2016 දී ද රාජ්‍ය සම්මාන හිමිවිය. 2017 වසරේදී තනුජා යළිත් රාජ්‍ය සම්මාන ලබන්නේ ''මගේ ගුරුතුමා'' වෙනුවෙනි. ඇය රචනා කළ ''කවුද හැඩ'' කෘතිය ද 2017 වසරේදී රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ වීම තවත් විශේෂත්වයකි. ඇගේ '' පුංචි බිංදු ලොකු ගමනක්'' කෘතියට 2018 වසරේදී හොඳම ළමා සාහිත්‍ය කෘතියට හිමි බෞද්ධ සම්මානය හිමි විය.

"දැන් මට මාව අභියෝගයක් වෙලා. දැන් මම තවත් හැදෑරීම් කරලා ඉදිරියට තවත් සාහිත්‍ය නිර්මාණ කරනවා," යනුවෙන් තනුජා පැවසුවාය.

තාක්ෂණය පිරි ලෝකයේ දරුවන්ට මග කියන හැටි

අද වන විට බොහෝ දරු දැරියෝ පරිගණකය සහ ජංගම දුරකතනය ඇසුරු කරති. එබැවින් පෙළපොත්වලට අමතරව බාහිර පොත්පත් කියවීමේ අඩුවක් දක්නට ලැබෙන බවට බොහෝ මව්පියෝ මැසිවිලි නගති.

ඒ පිළිබඳව කළ විමසීමේ දී තනුජාගේ අදහස වී තිබෙන්නේ නව තාක්ෂණික දැනුම යහපත් ලෙස භාවිතයට දරුවන් යොමු කිරීම වැඩිහිටියන් සතු පැහැරහැරිය නොහැකි වගකීමක් වන බවය.

"අද අන්තර් ජාලයේ ඊ බුක්ස් තියෙනවා. ඕඩියෝ බුක්ස් තියෙනවා. වීඩියෝ තියෙනවා. ළමයින්ට වැදගත් ඉතා හොඳ රුපවාහිනී වැඩසටහන් තියෙනවා. කෙටි චිත්‍රපට තියෙනවා. අර වැරදියට යොදාගන්න තාක්ෂණයම යහපතට යොදා ගන්න දරුවන් හුරු කරන්න පුළුවන්.'' යනුවෙන් ඇය වැඩිදුරත් විස්තර කළේ පොතක් පෙරළන විට දැනෙන සුවඳ අද බොහෝ දරුවන් නොහඳුනන බවය.

එහෙත් කිසිදු ප්‍රමිතියකට නොමැති, දරුවන්ට හානිකර දේ අන්තර්ගත පොත් ඉතා අඩු මිළට බස්රථ තුළ, දුම්රියේ හෝ පදික වේදිකාවල අලෙවි කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව තනුජා එන් අයගම බීබීසී සිංහල සේවයට පැවසුවාය.

''ළමා සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදෙන අය අධ්‍යයනය කළ යුතු පුළුල් පරාසයක් තියෙනවා. විශේෂයෙන් ළමා මනෝ විද්‍යාව වැනි කාරණා. ලේඛකයොත් දැනගන්න ඕන තමන්ගේ නිර්මාණය අදාළ නිර්ණායකයන්ට අනුකුලව තියෙනවද කියල පරික්ෂා කරලා බලන්න. ඒ වගේම වැඩිහිටියොත් බුද්ධිමත් වෙන්න ඕනා ප්‍රමිතියක් නැති නිර්මාණ ප්‍රතික්ෂේප කරන්න. විශේෂයෙන් පුස්තකාල සඳහා පොත් මිළදී ගැනීමේදී මේ ගැන වඩාත් කල්පනාකාරී වෙන්න ඕනා.'' යන්න තනුජාගේ අදහස වී ඇත.

කියවන්න:

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්