ශ්‍රී ලංකාවේ ප්‍රහාර: සංචාරකයින් ඕනෑ කර තිබේ

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට ගොදුරු වී 250කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.එමෙන්ම රටේ සංචාරක ව්‍යාපාරය බිඳ දැමීමට ද එම ප්‍රහාරය තර්ජනයක් විය. නමුත්, ප්‍රහාරයෙන් පස්මසක් ගත වීමෙන් ඉක්බිති ක්ෂිතිජ ඉමේ බලාපොරොත්තුවක් රැඳී පවතින බව බීබීසීයේ අම්බරාසන් එතිරාජන් කොළඹ සිට වාර්තා කරයි.

මේරි ප්‍රනාන්දු වසර 30කට අධික කාලයක් තිස්සේ මීගමුව වෙරළට පැමිණෙන සංචාරකයන්ට රෙදිපිළි විකුණා ජීවත් වූ කාන්තාවකි.

කුඩා කපු මලු කිහිපයක් දෑතේ එල්ලාගෙන එක් සංචාරක කණ්ඩායමකින් තවත් කණ්ඩායමක් වෙත ඇය පිය මනින්නීය. තමන්ගෙන් මලු තුළ ඇති ඇඳුම් ආයිත්තම් මිලදී ගැනීම සඳහා සංචාරකයන් පෙළඹවීමට ඇය උත්සහ කරන්නීය.

නිවාඩු නිකේතන සහ හෝටල්වලින් ගහන මේ වෙරළ තීරයේ සංචාරකයන්ට යමක් විකුණා ජීවත් වන කාන්තාවන් රැසක් අතර මේරි එක් අයෙකු පමණි.

Image caption මගේ ආදායමෙන් තුනෙන් දෙකක්ම අහිමිවෙලා -මේරි ප්‍රනාන්දු

රට නැරැඹීමට පැමිණෙන විදේශිකයන් ඔවුන්ගේ ප්‍රධාන ගනුදෙනුකරුවෝ වෙති. මේ කාන්තාවන්ගේ පවුල් නඩත්තු වන්නේ ඒ ආදායමෙනි.

නමුත් පසුගිය පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයෙන් පසුව විදෙස් සංචාරකයෝ ශ්‍රී ලංකාවෙන් ඈත් වුහ.

ප්‍රහාරයට ගොදුරු වී මියගියවුන් අතර විදේශිකයෝ 42 දෙනෙකු ද වූහ. ප්‍රහාරයෙන් සතියක් අවෑමෙන් සංචාරකයින් ගේ පැමිණීම 70%කින් පහත වැටිණි.

"දැන් සංචාරකයෝ ටික දෙනයි ඉන්නේ. මගේ ආදායමෙන් තුනෙන් දෙකක්ම අහිමි වෙලා. ඩොලර් 20ක රෙදි ටිකක් විකුණගන්නත් දැන් ගොඩක් අමාරුයි. ඉක්මනින් සංචාරකයෝ ආපහු එයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා." මේරි ප්‍රනාන්දු පැවසුවාය.

ප්‍රහාරයේ බලපෑම ඉතා ප්‍රබල ය. මේරි ගේ ස්වාමි පුරුෂයා ධීවරයෙකි. වසරේ මාස හතරක් හෝ පහක් මුහුද රළු ය. ඔහුට මුහුදු යා නොහැකිය. ඒ කාලය තුළ පවුල නඩත්තු වන්නේ මේරි ගේ ආදායමෙනි.

දශක තුනකට ආසන්න කාලයක් පුරා එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවති යුද්ධය නිමා වීමත් සමඟ 2009 පටන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපූරුවට හිස ඔසවාගෙන පැමිණි ආකාරය සුබවාදී පුවතක් විය.

ඒ ආර්ථික වර්ධනය වැඩි වශයෙන් සිදු වූයේ රට වටා පවතින ආකර්ශනීය වෙරළ තීරය, කඳුකරය, වනජීවි සම්පත සහ ඓතිහාසික උරුමයන්ට ස්තුතිවන්නට ය.

Image caption "සංචාරය කිරීමට හොඳ ම රට"

වෙරළ තීරය ඔස්සේ සහ සංචාරකයන්ගේ සිත් ඇදගන්නා වෙනත් ස්ථානවල හෝටල් සහ නිවාඩු නිකේතන හතු පිපෙන්නාක් මෙන් ඉදිවෙන්නට පටන් ගත්තේය. ඒ හරහා රැකියා දස දහස් ගණනක් උත්පාදනය විය.

පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවට ඇදී ආ සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන 2.2ක් ලෙස වාර්තා ගත විය. ඉන් ලැබූ ආදායම ඩොලර් බිලියන 4.4ක් පමණ විය. 'ලෝන්ලි ප්ලැනට්' (Lonely Planet) විසින් 2019 වසරේ සංචාරය කිරීමට හොඳ ම රට ලෙස ශ්‍රී ලංකාව නම් කරනු ලැබීය.

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයෙන් රටේ ප්‍රතිරූපය බිඳ වැටුණි. එම මනුෂ්‍ය ඝාතනය සහ ඉන් ඇතිවූ කම්පාව ලොව වටා විකාශනය විය.

ශ්‍රී ලංකාවෙන් ඉවත් වී සිටින ලෙස බොහෝ රටවල් තම සංචාරකයන්ට උපදෙස් නිකුත් කළේය. විදෙස් සංචාරකයන් විශාල පිරිසක් තම සංචාර අවලංගු කළහ.

හෝටල් කර්මාන්තය සහ එහි සේවකයෝ මින් දැඩි බලපෑමක් ඇති වූ තවත් පිරිසකි.

සේවයෙන් ඉවත් කළ හෝ සිය තාවකාලික කොන්ත්‍රාත්තුව දීර්ඝ නොවූ හෝටල් සේවකයන් දහස් ගණනක් වන බව ඇස්තමේන්තු සඳහන් කරයි.

Image caption මට මගේ රැකියාව අහිමි උනා - ජිලන් රාජිත

ජිලන් රාජිත පසුගිය තුන් වසර පුරාවට සේවය කරමින් සිටියේ බෙන්තොට සංචාරක හෝටලයක ය. හිටි හැටියේම ඔහුගේ ජීවිතය වෙනස් විය.

"පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ මට මගේ රැකියාව අහිමි උනා. සංචාරකයෝ එක පාරටම ගමන් අවලංගු කළා. අපේ හෝටලයේ වැඩ කළ 50 දෙනෙකුට රස්සාව නැතිවුනා. සර්ෆින් උගන්වලා (දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාව) කීයක් හරි හොයා ගන්න මම දැන් උත්සාහ කරනවා. ඒත් ඔයාලට පේනවනේ ඒ තරම් සංචාරකයෝ මෙහේ නැති බව." දර්ශනීය බෙන්තොට වෙරළ තීරය පෙන්වමින් ඔහු පැවසීය.

එම වෙරළ තීරය පාලුවට ගොසිනි. එහි දක්නට ඇත්තේ රන්වන් වැලි තලාව මත සෙමෙන් පා නගන හෝ දිව යන සංචාරකයන් ටික දෙනෙකු පමණි.

පීඩාවට පත් වූයේ සංචාරක හෝටල් සහ එහි සේවකයන් පමණක් නොවේ. සංචාරක මග පෙන්වන්නන්ට, ආපන ශාලා සේවකයන්ට සහ සංචාරක සමාගම්වලට ද පහර වැදුනි.

කෙසේ නමුත් පාස්කු ප්‍රහාරයෙන් පස්මසක් අවෑමෙන් තත්වය ක්‍රම ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතී.

සංචාරයට අවදානම් රටක් ලෙස හඳුන්වමින් නිකුත් කොට තිබූ නිවේදන ඉවත් කරගෙන තිබේ. රටේ හදිසි නීතිය ඉවත් විය.

සංචාරක කර්මාන්තය මුහුණ පා ඇති අතිශය අනතුරුදායක තත්වය තේරුම් ගෙන ශ්‍රී ලංකාවේ රජය විසින් සහනදායී පියවර කිහිපයක් ගනු ලැබ තිබේ.

Image caption "දෙවියන්ට ස්තුති වන්නට, ඊට වඩා වේගයෙන් අපිට නැගිටින්න පුළුවන් වෙයි."

"ප්‍රාග්ධනය සඳහා ණය ලබා ගෙන ඇති හෝටල්කරුවන් තම පොලිය හෝ ණය වාරිකය වසරක් යන තුරු ගෙවිය යුතු නැහැ. ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා අඩු පොලියට ණය ලබා දී තිබෙනවා." ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක ප්‍රකාශ කළේය.

එමෙන්ම ණය ලබාගෙන ඇති හෝටල් සේවකයන්ට ද සිය ණය වාරික ගෙවීම සඳහා සහන කාලයක් ලබා දී ඇති බව ඔහු පැවසීය.

සංචාරකයන් වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීම සඳහා, රටවල් 40කට අධික ප්‍රමාණයකට පනවා තිබූ වීසා ගාස්තු අතහැර දැමීමට රජය තීරණය කළේය.

විශාලතම දිරි ගැන්වීම වී තිබෙන්නේ බොහෝ හෝටල් මහා පරිමාණයෙන් වට්ටම් ලබා දීමයි. ඇතැම් හෝටල් ගාස්තු 50%කින් අඩු කර තිබේ.

"වෙනත් රටවල අතීත අත්දැකීම් අනුව බැලුවම අපිට ඔලුව උස්සන්න මාස 9ක් සහ අවුරුද්දක් අතර කාලයක් ගතවිය හැකි බව තමයි පෙනෙන්නට තිබුණේ. දෙවියන්ට ස්තුති වන්නට, ඊට වඩා වේගයෙන් අපිට නැගිටින්න පුළුවන් වෙයි." ශ්‍රී ලංකාවේ හෝටල් සහ නිවාඩු නිකේතන කිහිපයක් පවත්වාගෙන යන 'ජෙට් වින්ග්' සමූහ ව්‍යාපාරයේ හිරාන් කුරේ පැවසීය.

"අපේ හෝටල්වල සම්පුර්ණ කාමර ප්‍රමාණයෙන් 50% - 60%ක් පමණ දැන් පිරිලා තියෙනවා. හැබැයි දේශීය සංචාරකයොත් ඇතුළුව."

දිගටම පවත්වාගෙන යා හැකිද?

පසුගිය මාස පහ ඇතුළත සංචාරකයන්ගේ පැමිණීම 28%ක් දක්වා පහළට වැටී ඇති බවට සංඛ්‍යා ලේඛන සඳහන් කරයි.

නමුත් මැයි මාසයෙන් පසුව සංචාරකයන්ගේ පැමිණීම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව සැබවි.

දැන් පවතින ප්‍රශ්නය වන්නේ එම වර්ධනය දිගටම පවත්වාගෙන යා හැකිද යන්නයි.

ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයක් කරා පිය නගමින් සිටී. එය පැවැත්වෙන්නේ නොවැම්බරයේ දීය. මෙහිදී ඡන්දදායකයන් වාර්ගික සහ ආගමික වශයෙන් පෙළ ගැස්වීමට දේශපාලන පක්ෂ උත්සාහ දරන බවක් දක්නට ලැබේ.

මුස්ලිම්වරුන්ට එරෙහිව....

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයෙන් අනතුරුව රටේ පළාත් කිහිපයක මුස්ලිම්වරුන්ට සහ ඔවුන්ගේ ව්‍යාපාරවලට පහර දීම් සිදු විය. මුස්ලිම්වරුන්ට එරෙහිව වෛරී ප්‍රකාශ යොදා ගන්නා බවට බෞද්ධ දැඩිමතධාරීන්ට චෝදනා එල්ල විය.

උණුසුම් තත්වයක් නැවත ඇතිවිය හැකි බවට සේයාවක් හෝ මතු වුවහොත් සංචාරකයන්ගේ පැමිණීම අඩු විය හැක.

එමෙන්ම, පාස්කු ප්‍රහාරය පිටුපස සිටි සියලු දෙනා මේ වනවිට කොටුකර ගෙන ඇත්දැයි යන සැකය තවමත් පවතී.

ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන 70 දෙනෙකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති නමුත් ප්‍රහාරකයන් ගේ සමස්ත ජාලයම බිඳ දමා හමාර බවට සියලු දෙනා සෑහීමකට පත් වූ බවක් පෙනෙන්නට නැත.

ශ්‍රී ලංකාවේ තත්වය දැන් සාමකාමී බවටත් සංචාරකයන්ට ශ්‍රී ලංකාව නැවතත් ආරක්‍ෂිත බවටත් රජය අවධාරණය කරයි.

නමුත්, ප්‍රචණ්ඩත්වය අතීතයට පමණක් සීමා වූ දෙයක් ලෙස සිතන්නට ලොව වටා සිටින ජනතාව පෙළඹවීමේ අභියෝගය තවමත් එලෙසම පවතී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර