ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35ක්, වියදම කෝටි 400කට අධිකයි

Image copyright Www.news.lk

නොවැම්බර් මස 16 වන දින පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 8 වන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු තරග වැදීමට නියමිතය.

සදුදා (ඔක්: 07) උදෑසන රාජගිරිය මැතිවරණ කොමිසම් කාර්යාල පරිශ්‍රයේදී ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම සිදුවූ අතර එහිදී තරගකරුවන් 35 දෙනෙක් නාම යෝජනා භාර දුන්හ.

ඉරිදා (ඔක්: 06) දිනය වන විට ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට අපේක්ෂකයන් 41 දෙනෙකු ඇප මුදල් බැඳ තිබූ නමුත් ඔවුන්ගෙන් 6 දෙනෙකු සදහා නාම යෝජනා භාරදීම සිදු නොවිණි.

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ චමල් රාජපක්ෂ එලෙස නාම යෝජනා ලබා නොදුන් 6 දෙනා අතර වෙති.

ඉදිරිපත් වූ නාම යෝජනා සඳහා විරෝධතා දෙකක් ඉදිරිපත්ව තිබූ අතර ඒ දෙක ම ප්‍රතික්ෂේප විය.  නාම යෝජනා ලබා දුන් අපේක්ෂකයන්ට අනුව මෙවර ජනාධිපතිවරණය ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ ජනාධිපතිවරයෙකු, අගමැතිවරයෙකු හෝ විපක්ෂ නායකවරයෙකු තරග නොකරන පළමු ජනාධිපතිවරණය බවට පත්වේ. 

ජනාධිපතිවරණය සදහා ආණ්ඩු බලය හිමි එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් තරග වදින අමාත්‍ය සජිත් ප්‍රේමදාස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ  නාම යෝජනා ලබා දීම සිදුකළේය. 

කොළඹ අලුත්කඩේ පිහිටි තම පියාවන දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරව සජිත් ප්‍රේමදාස නාම යෝජනා ලබාදීම සඳහා පැමිණ තිබිණි. 

Image copyright Info Dept
Image caption නාම යෝජනා භාර දුන් ජනාධිපති අපේක්ෂකයන් පිරිසක්

ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාම යෝජනා ලබා දුන් අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ හිටපු කතානායක චමල් රාජපක්ෂ ද එම අවස්ථාවට එක්ව සිටියහ. 

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය ව්‍යාපාරය වෙනුවෙන් නාම යෝජනා ලබා දුන්නේය.

2019 ජනාධිපතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයන් මෙසේය.

සිරිතුංග ජයසූරිය - එක්සත් සමාජවාදී පක්ෂය

බත්තරමුල්ලේ සීලරතන හිමි - ජන සෙත පෙරමුණ

ආචාර්ය අජන්තා පෙරේරා - ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය

ඒ.එස්.පී. ලියනගේ - ශ්‍රී ලංකා කම්කරු පක්ෂය

සමන් ප්‍රසන්න පෙරේරා - අපේ ජන බල පක්ෂය

බැද්දෙගමගේ නන්දිමිත්‍ර - නව සම සමාජ පක්ෂය

දුමින්ද නාගමුව - පෙරටුගාමී සමාජවාදී පක්ෂය

අජන්ත ද සොයිසා - රුහුණු ජනතා පෙරමුණ

රොහාන් පල්ලෙවත්ත - ජාතික සංවර්ධන පෙරමුණ

නාමල් රාජපක්ෂ - ජාතික සමගි පෙරමුණ

වජිරපානි විජේසිරිවර්ධන - සමාජවාදී සමානතා පක්ෂය

අනුර කුමාර දිසානායක - ජාතික ජනබල ව්‍යාපාරය

අරුණ ද සොයිසා - ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය

සරත් මනමේන්ද්‍ර - නව සිහළ උරුමය

සුබ්‍රමනියම් ගුණරත්නම් - අපේ ජාතික පෙරමුණ

සජිත් ප්‍රේමදාස - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

මහේෂ් සේනානායක - ජාතික ජනතා පක්ෂය

ගෝඨාභය රාජපක්ෂ - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ප්‍රියන්ත එදිරිසිංහ - ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ සංවිධානය

ආරියවංශ දිසානායක - ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ

සමරවීර වීරවන්නි - ස්වාධීන

ජයන්ත කැටගොඩ - ස්වාධීන

මහාචාර්ය රජීව විජේසිංහ - ස්වාධීන

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා - ස්වාධීන

ඉල්ලියාස් මොහොමඩ් - ස්වාධීන

පියසිරි විජේනායක - ස්වාධීන

අපරැක්කේ පුණ්‍යානන්ද හිමි - ස්වාධීන

චමින්ද අනුරුද්ධ - ස්වාධීන

මිල්රෝයි ප්‍රනාන්දු - ස්වාධීන

මොහමඩ් හසන් අලෙවි - ස්වාධීන

සරත් කීර්තිරත්න - ස්වාධීන

අශෝක වඩිගමංගාව - ස්වාධීන

සිරිපාල අමරසිංහ - ස්වාධීන

එම්.කේ. සිවාජිලිංගම් - ස්වාධීන

සමන්සිරි හේරත් - ස්වාධීන

ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් පිළිබදව නිල නිවේදනයක් කිරීමෙන් අනතුරව ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඇමතූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනෙකු ඉදිරිපත් වීම හේතුවෙන් මැතිවරණයට දරන වියදම රුපියල් කෝටි 400 සිට 500 දක්වා වැඩි වීමට නියමිත බව සඳහන් කළේය.

ජන්ද පොළ නියෝජිතයන් අවශ්‍ය නොවන අපේක්ෂකයන් ඒ බව කලින් දැනුම් දෙන ලෙස ද මෙහිදී කොමසාරිස්වරයා ඉල්ලා සිටියේය.

තවදුරටත් කියවන්න.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර