ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට 'සියල්ල සූදානම්'

Image copyright Getty Images

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ සියලුම ප්‍රචාරක කටයුතු අඟහරුවාදා (ඔක්තෝබර් 08) මධ්‍යම රාතියෙන් පසු අවසන් වන බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ යූ චන්ද්‍රලාල් පවසයි.

ඒ අනුව බදාදා (ඔක්තෝබර් 09) සිට නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන ඕනෑම අයෙකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසීය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තෝරා පත්කරගනු ලබන සභික සංඛ්‍යාව 28 කි.

එම සංඛ්‍යාවෙන් 17ක් කොට්ඨාස මට්ටමින් තෝරාපත් කරගනු ලබන අතර සමානුපාතික නියෝජනය යටතේ පත්කරගන්නා සභික සංඛ්‍යාව 11කි.

ඡන්දය කල් ගියේ ඇයි?

පසුගිය වසරේ පැවති පළාත් පාලන මැතිවරණය සඳහා ඇල්පිටිය ප්‍රාදේශිය සභාව වෙනුවෙන් දේශපාලන පක්ෂ 5කින් නාම යෝජනා ඉදිරිපත් කර තිබිණ.

ඒ එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, පොදුජන පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණය.

එහිදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත්‍රය සම්බන්ධයෙන් විරෝධයක් මතුවිය.

පක්ෂය විසින් නම් කරන ලද නියොජිතයා හැර වෙනත් පුද්ගලයෙකු විසින් තේරිම් භාර නිලධාරියා වෙත එම පක්ෂයේ නාමයෝජනා පත්‍රය භාරදීම මේ විරෝධතාවට මුල් විය.

ඉදිරිපත් වූ එම විරෝධතාව සළකා බැලීමෙන් පසුව එම නාම යොජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලදි.

අධිකරණය හමුවට

Image copyright Getty Images

ඉන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරමින් තම නාම යෝජනා පත්‍රය පිළිගන්නා මෙන් නියෝගයක් නිකුත් කරන ලෙසත් එතෙක් මැතිවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

පෙත්සම සළකා බැලූ ශ්‍රේෂඨාධිකරණය එම නඩුව විභාග කර අවසන් වනතුරු ඡන්ද විමසීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ 2018 ජනවාරි 30 වන දිනය.

ඒ අනුව 2018 පෙබරවාරි 10 දින පැවති පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම නොපැවැත්වින.

අතුරු තහනම් නියෝගය ඉවත් කීරීම

මේ අතර පසුගිය අගෝස්තු 30 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය එම අතුරු තහනම් නියෝගය ඉවත් කරමින් ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ මැතිවරණය පවත්වන ලෙසට මැතිවරණ කොමිසමට නියෝග කළේය.

ඒ අනුව ඔක්තෝබර් මස 11 වනදින මැතිවරණය පැවැත්වීමට කොමිසම දින නියම කළේය.

මෙවර ඡන්ද විමසීමේදී ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්දය සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 53384කි.

මධ්‍යස්ථාන 47කදි ඡන්ද විමසීම පැවැත්වෙන අතර එම මධ්‍යස්ථාන වලදීම ඡන්ද ගණන් කිරිම ද සිදු කෙරේ.

අවසන් ප්‍රතිඵලය ඇල්පිටිය වෘත්තිය පුහුණු ආයතනයේ පිහිටුවා ඇති මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී ප්‍රකාශයට පත් කරන බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ සහකාර මැතිවරණ කොමසාරිස් කේ යූ චන්ද්‍රලාල් පැවසිය.

තැපැල් ඡන්ද

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම උතුරු නැගෙනහිර ඇතුලු දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 269කදී ඉකුත් සැප්තැම්බර් 27 වන දින පැවැත්විණ.

එදින තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ අයට ඔක්තෝබර් 04 වන දින ඒ ඒ දිස්ත්‍රික්කයන් හී මැතිවරණ කාර්යාල වෙත ගොස් ඡන්දය සළකුණු කිරිමට අවස්ථාව සලසා දී තිබිණ.

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය සඳහා සුදුසුකම් ලබා සිටි තැපැල් ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 1192කි.

"ආරක්ෂාව තහවුරුයි"

මැතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට මෙතෙක් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවූ බව සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර තේරීම් භාර නිලධාරී, ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසුවේ ඡන්ද විමසීම වෙනුවෙන් ප්‍රදේශයේ උපරිම ආරක්ෂාව යොදවා තිබෙන බවය.

මැතිවරණ රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරින් 800කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බව ද ඔහු පැවසීය.

එයට අමතරව හදිසි ගංවතුර තත්වයක් ඇති වුවහොත් එම ප්‍රදේශවලට නිලධාරින් සහ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා බෝට්ටු සහ සහන සේවා කණ්ඩායම් ද සූදානම් කර ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර