මුස්ලිම් විරෝධී ප්‍රකාශ: විරෝධය හමුවේ මධුමාධව ඉල්ලා අස්වේ

පිවිතුරු හෙළ උරුමය සම්මේලනය Image copyright PHU

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් වේයන්ගොඩ ප්‍රදේශයේ පැවැත්වූ ජන්ද ප්‍රචාරක රැස්වීමකදී  මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරගනිමින් වෛරී ප්‍රකාශ කළ බවට චෝදනා එල්ලවූ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද එම පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. මධුමාධව අරවින්ද කළ ප්‍රකාශය අඩංගු වීඩියෝ පටයක් ඊයේ (ඔක්තෝබර් 08) සමාජ මාධ්‍යවල මුදාහැර තිබුණු අතර එය දැඩි කතාබහට ලක්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන ගෝඨාභය රාජපක්ෂගේ නීතිවේදි අලි සබ්රි විසින් එම ප්‍රකාශයට දැඩි විරෝධය පළකරනු ලැබූ අතර ඔහු ඒ පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුමට පණිවිඩයක්ද එක් කර තිබුණි. 

"සියලු අන්තවාදීන් හා ජාතිවාදීන් පරාජය කළ යුතුය. විවිධත්වය ශක්තියක් කරගතයුතුය. මානසික රෝගීන්ට ප්‍රතිකාර කළ යුතුය !" යනුවෙන් එහි සඳහන් කර තිබිණි. 

මධුමාධව අරවින්ද කළ මෙම ප්‍රකාශය ගැන පිවිතුරු හෙළ උරුමයද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණි. එම පක්ෂයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පසුව මාධ්‍යට දැනුම්දුන්නේ මධුමාධව අරවින්ද පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වූ බවකි. මධුමාධව අරවින්දගේ ඉල්ලා අස්වීමේ ලිපියද පිවිතුරු හෙළ උරුමය විසින් මාධ්‍යට නිකුත් කරනු ලැබ තිබේ. 

"මුස්ලිම් ප්‍රජාව පිළිබඳව මා විසින් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව අද දින රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මතු කරන ලද කරුණු පිළිබඳව මම ගැඹුරින් අවධානය යොමු කළෙමි. එම ප්‍රකාශයෙන් පක්ෂයේ ප්‍රතිරූපයට හානියක් සිදුවීම පිළිබඳව මම කණගාටුවන අතර ඒ පිළිබඳව මම සමාව අයදිමි" යනුවෙන් සඳහන් කරමින් මධුමාධව අරවින්ද සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ. 

Image copyright PHU
Image caption ඉල්ලා අස්වීමේ ලිපිය

ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳව අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කෙරුණු අවස්ථාවේ  මධුමාධව අරවින්ද සිය ෆේස්බුක් ගිණුමෙහි, අදාළ පෙත්සම ඉදිරිපත් කළ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගත්කතුවර ගාමිණී වියන්ගොඩ සම්බන්ධයෙන් සටහනක් තැබීය.

"වියන්ගොඩ වගේම තවත් නමක් තිබෙනවා.. එක්නැළිගොඩ කියලා.. සුභපැතුම් දෙපළටම" යනුවෙන් එහි සඳහන් කර තිබුණි. එම ප්‍රකාශය බොහෝ දෙනා විසින් පෙන්වා දෙනු ලැබුවේ අතුරුදහන්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩට අත්වූ ඉරණම මෙම දෙපලට ද එල්ල වීමක් ගැන ඉඟි කිරීමක් ලෙසිනි.

එම ප්‍රකාශය ව්‍යංගයෙන් කළ ජිවිත තර්ජනයක් බව පවසමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගත්කතුවර ගාමිණී වියන්ගොඩ පොලිසිය හමුවේ පැමිණිල්ලක්ද කළහ. 

කෙසේවෙතත්, මධුමාධව අරවින්ද අදාළ සටහන පළකළ ඔහුගේ ෆේස්බුක් ගිණුම මේවන විට අක්‍රියව පවතී.

මින් පෙර මධුමාධව අරවින්ද පාස්කු ප්‍රහාර අවධියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ මුස්ලිම් විරෝධී ප්‍රහාර පිටුපස සිටි බවට චෝදනා එල්ල වූ අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර