පාස්කු ප්‍රහාර: ඇප අවලංගුයි, පූජිත් - හේමසිරි යළි රක්ෂිත බන්ධනාගාරයට

පූජිත,හේමසිරි
Image caption හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකොට සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම මගින් මිනීමැරීම පිළිබඳ සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදාහරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි බව තීන්දු කළ කොළඹ මහාධිකරණය එම ඇප නියෝගය නිෂ්ප්‍රභ කරන බව ප්‍රකාශ කළේය.

ඒ අනුව සැකකාර හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි නියෝග කළේය..

මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය කළේ අදාළ සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහිත බව සඳහන් කරමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සම් විභාගයක තීන්දුව දෙමිනි.

සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි, පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදුකළ 'ජාතික තව්හිද් ජමාත් සංවිධානය' සහ සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශය විසින් වාර්තා 347 ක් මෙම සැකකරුවන් දෙදෙනා වෙත යොමු කර තිබූ බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිය දේශනයෙන් සඳහන් කර තිබූ බව සඳහන් කළේය.

එයින් වාර්තා 131 ක් සැකකාර පොලිස්පතිවරයා වෙතත්, තවත් වාර්තා 97 ක් සැකකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙතත් යොමු කර තිබූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළ බවත් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුව මගින් පෙන්වා දෙයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ අදාළ සැකකරුවන් දෙදෙනාම නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු කළුආරච්චි, අදාළ වගන්තිය යටතේ චෝදනා ඉදිරිපත් වන අවස්ථාවක මහේස්ත්‍රාත්වරයෙකුට පැවරෙන බලතල පිළිබඳව ද විස්තර කළේය.

මහේස්ත්‍රාත් බලතල

මහාධිකරණ විනිසුරුවරයා වැඩි දුරටත් සඳහන් කළේ "මිනීමැරීම නැමති චෝදනාව යටතේ සැකකරුවකු ඉදිරිපත් කළ අවස්ථාවක ප්‍රමාණවත් සාක්ෂි නොමැති නම් මුල් අවස්ථාවේදීම සැකකරුවකු නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට බලය තිබෙන" බවය.

මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් ලඝු නොවන නඩු විභාගයක් පවත්වා එහිදී සාක්ෂි නොමැති බවට කරුණු අනාවරණය වන අවස්ථාවක එහි සැකකරු නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය පැවරෙන අතර, එම ලඝු නොවන නඩු විභාගයේ දී යම් සැකකරුවෙකුට එරෙහිව සාක්ෂි තිබෙන බවට කරුණු අනාවරණය වන්නේ නම් එම නඩු කටයුත්ත මහාධිකරණය හමුවේ තැබීමටද මහේස්ත්‍රාත්වරයෙකුට බලය තිබෙන බව මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

Image copyright Getty Images
Image caption පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි ජනතාව වෙනුවෙන් පුදපූජා

එහෙත් මෙම සිද්ධියේදී නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිසිය විසින් මෙම සැකකරුවන් දෙදෙනා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ මිනීමැරීමේ චෝදනා යටතේ සැකපිට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවක ඔවුන්ට එරෙහිව එම චෝදනාව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති බව සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ඇප මත මුදා හරිමින් දුන් නියෝගය නීතියට පටහැනි බව මහාධිකරණ විනිසුරුවරයා ගේ තීන්දුව විණි.

අදාළ චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති නිසා සැකකරුවන් ඇප මත මුදා හරින බව ද මහේස්ත්‍රාත්වරිය සිය තීන්දුවෙන් සඳහන් කර ඇතැයි පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු කලුආරච්චි, දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ චෝදනා එල්ල වන සැකකරුවකුට ඇප ලබා දීමට බලය පැවරී තිබෙන්නේ මහාධිකරණයට පමණක් බවත් මහේස්ත්‍රාත්වරයෙකුට එවැනි බලයක් නොමැති බවත් ප්‍රකාශ කළේය.

සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දීමේදී මහේස්ත්‍රාත්වරිය "නැති නීතිමය බලයක් නිර්මාණය කර ගනිමින් නීතිය ද අභිබවා ගොස්" එම නියෝගය දී ඇති බවත්, එය විනිසුරුවරයකු විසින් නොකළ යුතු නියෝගයක් බවත් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවෙන් පෙන්වා දුන්නේය.

මහේස්ත්‍රාත්වරියගේ ඇප නියෝගය බරපතළ නීතිමය දෝෂයන්ගෙන් සමන්විත බවත් ඒ හරහා නීතිය බරපතල ලෙස අපගමනය වීමක් සිදුවන හෙයින් එම නියෝගය ප්‍රතිශෝධනය කර ඇප නියෝගය ඉවත් කිරීමට තමන් තීන්දු කළ බවත් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

Image caption පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූ කීපදෙනෙක්

ආරක්ෂක බලධාරීන් දෙදෙනෙක්

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ මහාධිකරණ විනිසුරුවරයා, පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා තවත් රජයේ නිලධාරීන් දෙදෙනෙකු වශයෙන් පමණක් හඳුන්වා දීමට මහේස්ත්‍රාත්වරිය සිය නඩු තීන්දුවෙන් කටයුතු කර ඇති බව සඳහන් කළේය.

එය පිළිගත නොහැකි කරුණක් බව පෙන්වාදුන් මහාධිකරණ විනිසුරු කළුආරච්චි ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා යනු ආරක්ෂක අංශයට අණදෙන ඉහළ පෙළේ නිලධාරින් දෙදෙනෙකු බව සඳහන් කරමින් ඔවුන් වෙත ආරක්ෂාව පිළිබඳව භාරධූර වගකීමක් පැවරී තිබෙන බව පෙන්වා දුන්නේය.

එවැනි වාතාවරණයක් මත පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා තවත් රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු වශයෙන් හඳුන්වා දීම තුළින් මහේස්ත්‍රාත්වරිය ඔවුන්ගේ රාජකාරිය සැහැල්ලුවට ලක් කර ඇති බවද මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවෙන් කියා සිටියේය.

එල්ල වීමට නියමිත බිහිසුණු ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු ලැබුණු විගස පොලිස්පතිවරයා සිදුකිරීමට නියමිතව තිබුණේ වහාම පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කර රට පුරා ප්‍රබල ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා, එහෙත් එවැන්නක් පොලිස්පතිවරයා විසින් නොකරන ලද බව පෙනී යන්නේ යැයි ද සඳහන් කළේය.

ඒ වෙනුවට ඔහු සිදුකර තිබෙන්නේ සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිය තමන් යටතේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හතර දෙනෙකු වෙත යොමුකිරිම පමණක් බවද මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

Image caption පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරය විභාග කළ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ

ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට තොරතුරු ලැබී තිබියදී සිංහල අවුරුදු සමයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තුන්දෙනෙකුට නිවාඩු ලබාදීමට සැකකාර පොලිස්පතිවරයා කටයුතු කිරීමද මෙහිදී විනිසුරුවරයා සිය තීන්දුව මගින් සිහිපත් කළේය.

සැකකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ද මෙම ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා සාධනීය ක්‍රියාමාර්ග ගෙන නොමැති බව පෙනී යන්නේ යැයි විනිසුරුවරයා සඳහන් කළේය.

"මහාධිකරණයත් නැති බලයක්"

ඒ අනුව ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ අනුව එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මෙම සැකකරුවන් දෙදෙනා රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර තිබෙන බවට සහ ඒ තුළින් ඔවුන් මිනී මැරීම නමැති වරද සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් එළැඹ තිබෙන නිගමනය නීත්‍යානුකූල සහ යුක්ති සහගත නිගමනයක් බව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.

මෙවැනි තත්ත්වයක් යටතේ අඩක් පමණක් අවසන් වූ පරීක්ෂණයක ඉදිරිපත් වූ වාර්තා කිහිපයක් සහ ලේඛන කිහිපයක් පදනම් කර ගනිමින් මිනීමැරීමේ චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව සඳහන් කරමින් සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දුන් තීරණය මුළුමනින්ම නීතියට පටහැනි බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා, මෙවැනි නියෝගයක් ප්‍රකාශ කිරීමට මහාධිකරණ විනිසුරුවරයෙකුට පවා හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය.

සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පෙර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම ගැටලු සහගත බව මහේස්ත්‍රාත්වරිය විසින් සිය ඇප නියෝගයේ සඳහන් කර තිබුණද සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට පෙර ප්‍රකාශ සටහන් කළ යුතු බවට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව මහාධිකරණ විනිසුරුවරයා පැවසීය.

ඒ අනුව මහේස්ත්‍රාත්වරිය විසින් ඉකුත් ජුලි මස 09 වනදා දෙන ලද ප්‍රශ්නගත ඇප නියෝගය බරපතළ දෝෂයන්ගෙන් සමන්විත නියෝගයක් බැවින් එය නිෂ්ප්‍රභ කරන බව විනිසුරු විකුම් කළුආරච්චි මහතා කියා සිටියේය.

ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්නා ලෙස මහධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි නියෝග කළේය.

ඉන් අනතුරුව සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර භාරයට පත් කරන ලදුව පසුවකොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කරනු ලැබිණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මහාධිකරණයේ නියෝගය පරිදි සැකකරුවන් දෙදෙනා ලබන 23 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළාය.

කියවන්න;