ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය: සුවිශේෂී කරුණු 7 ක්

Image copyright Getty Images

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ඒ වෙනුවෙන් පවතින උද්යෝගය දිනෙන් දින ඉහල යමින් පවතී.

පෙර අවස්ථාවන්ට වඩා මෙවර ජනාධිපතිවරණය යම් වෙනස් මුහුණුවරක් ගැනීමට බලපෑ සුවිශේෂී කරුණු කිහිපයකි.

1. ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු තෝරාගන්නා පළමු ජනපති

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමටත් පෙර සිටම මීළඟට තේරී පත්වන ජනාධිපතිවරයාට හිමිවන බලය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මුල සිටම පරස්පර අදහස් මතුවෙමින් තිබිණ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නැංවීම හමුවේ අග්‍රාමාත්‍යවරයාට වැඩි බලතල ප්‍රමාණයක් හිමිවන බවට පිරිසක් තර්ක කරන අතර සමහරු ඊට විරුද්ධ මතයක් දරති.

එම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ මුල් කෙටුම්පතෙහි "විධායක ජනාධිපති ධූරය" අහෝසි කරමින් විධායක බලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකට පැවරීමට අවශ්‍ය විධිවිධාන ඇතුළත් වූ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකින් අනතුරුව එම වගන්ති ඉවත් කෙරිණ.

කෙසේ වෙතත්, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බලාත්මක කෙරුණ අසීමිත ජනාධිපති ධූර කාලය දෙවතාවකට සහ වසර හයක් ව තිබූ එක් ධුර කාලයක් වසර පහකට සීමා කෙරිණ.

එමෙන්ම ජනාධිපති ධුරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි බවට වූ ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් සම්බන්ධ නඩු පැවරීමේ හැකියාව 19 වන සංශෝධනයෙන් ලැබී තිබේ.

එමෙන්ම, රාජ්‍ය පරිපාලනයට අදාළ කොමිෂන් සභා පිහිටුවීම, අධිකරණ විනිසුරුවරුන්, නීතිපති සහ පොලිස්පති වැනි තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේදී පෙර පැවති ජනාධිපති බලය ද සීමා කෙරිණ.

ඒ අනූව නව ජනාධිපතිවරයා තේරී පත්වන්නේ පැවති විධායක ජනාධිපති බලතල යම් තාක් දුරකට කප්පාදුවකට ලක්වූ පසුබිමකය.

2. වාර්තාගත අපේක්ෂකයින් පිරිසක්

Image copyright INFDPT

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 20 දෙනෙකු පමණ ඉදිරිපත් වනු ඇතැයි විශ්වාස කරන බවය.

එය 2015 වසරේ ජනාධිපතිවරණය හා සන්සන්දනය කිරීමේදී එක් අපේක්ෂකයෙකුගේ වැඩිවීමක් පමණි.

කෙසේ වෙතත් ඉකුත් සැප්තැම්බර් (19) සිට ඔක්තෝබර් (06) වෙනි දින දක්වා අපේක්ෂකයින් 41 දෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබූ අතර ඉන් 06 දෙනෙකුගේ පමණක් නාම යෝජනා ඉදිරිපත් කර නොතිබිණ.

ඒ අනූව අපේක්ෂකයින් 35 දෙනෙක් නාමයෝජනා පත්‍ර භාර දුන් අතර ඉන් දෙදෙනෙකුට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතා දෙකක් ප්‍රතික්ෂේප කෙරිණ.

ඒ අනුව එම 35 දෙනාම අපේක්ෂකත්වය වෙනුවෙන් සුදුසුකම් ලැබූහ. එය ඉකුත් ජනාධිපතිවරණ අපේක්ෂක ලැයිස්තුව හා සැසඳීමේදී දෙගුණයකට ආසන්න වැඩිවීමකි.

පසුව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ලබාදී ඇති ආදර්ශ ඡන්ද පත්‍රිකාව අසාමාන්‍ය දිගකින් යුක්ත වන බවය.

මෙම සියලු නම් තනි ලැයිස්තුවක සටහන් කිරීමට දායක වන උප පත්‍රිකාවද ඇතුළුව සමස්ථ ආදර්ශ ඡන්ද පත්‍රිකාව දිගින් අඟල් 26 කි.

එය 2015 හා සැසඳීමේ දී දෙගුණයක දිගින් යුක්ත වේ.

ඒ අනුව ජනාධිපතිවරණ ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව ඡන්ද දායකයින්ට දකින්නට ලැබෙනු ඇත.

3.වාර්තාගත වියදමක්

Image copyright Getty Images

සෑම ඡන්ද විමසීමකටම මැතිවරණ කොමිසම අධික මුදල් සම්භාරයක් වැය කරන බව නොරහසකි.

මැතිවරණය ප්‍රකාශයට පත් කරන ලැබූ දිනයේ සිට ඒ වෙනුවෙන් සිදුකෙරෙන පූර්ව සුදානම් වීමේ සිට මැතිවරණය අවසානය දක්වා විවිධ අවශ්‍යතා වෙනුවෙන් එම මුදල් යොදවන බව එම කොමිසම පෙන්වා දෙයි.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් මුලින් වියදම් වෙතැයි අපේක්ෂා කර තිබූ මුදල රුපියල් කෝටි 400 ක් බව කොමිසම පැවසීය.

නමුත් අපේක්ෂක සංඛ්‍යාව වාර්තාගත අයුරින් ඉහළයාම තුළ තවත් අමතර කෝටි 100 ක පමණ මුදලක් ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුවනු ඇතැයි කොමිසම අපේක්ෂා කරයි.

  • ඡන්ද පෙට්ටි නැවත සකස් කිරීම හෝ ප්ලාස්ටික් පෙට්ටි ආනයනය
  • ඉඩ පහසුකම් ඇති ඡන්ද පොළ වෙත විතැන් වීම
  • ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන නාමිකව පරීක්ෂා කර ඉඩ පහසුකම් ඇති ස්ථාන වෙත යොමුවීම
  • ඡන්ද පොළ කාර්යමණ්ඩල සහ ගණන් කිරීමේ කාර්ය මණ්ඩලය වැඩි කිරීම
  • ඡන්දය ගණන් කිරීම ප්‍රමාද වන බැවින් කාර්ය මණ්ඩලයේ සුබසාධන සහ ප්‍රවාහන පහසුකම් කෙරෙහි අවධානය යොමුකිරීම
  • විදුලිය, ජලය, දුරකථන වැනි පොදු පහසුකම් සඳහා අපේක්ෂිත වියදම ඉහළ යාම

මෙසේ වියදම වැඩිවීමට හේතුව බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.

4. ජනපතිවරයෙක්, අගමැතිවරයෙක් හෝ විපක්ෂ නායකවරයෙක් නොමැති ජනාධිපතිවරණය

Image copyright WWW.NEWS.LK

1978 විධායක ජනාධිපති ධුරය ස්ථාපනය කිරීමෙන් පසුව හයවන විධායක ජනාධිපති ධුරය දක්වා පැවති සියළුම ජනාධිපතිවරණ එක්තරා පොදු ස්වභාවයක් ඉසිලීය.

ඒ සෑම ජනාධිපතිවරණයකටම අග්‍රාමාත්‍යවරයෙක් හෝ ජනාධිපතිවරයෙක් තරග කිරීමය.

1982 වසරේ ශ්‍රී ලංකාවේ පැවති පළමු ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් එවක ජනාධිපති ධුරය හෙබවූ ජේ ආර් ජයවර්ධන ඉදිරිපත් වූ අතර ප්‍රතිවාදියා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඉදිරිපෙළ නායකයෙක් වූ හෙක්ටර් කොබ්බෑකඩුව විය.

ඉන් අනතුරුව 1988 වසරේ යළි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එවක අග්‍රාමාත්‍ය ආර් ප්‍රේමදාස සහ ලොව ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක දෙපළ ප්‍රධාන සටන් බිමට එක්වූහ.

ජනාධිපති ආර් ප්‍රේමදාස ගේ හදිසි අභාවයත් සමඟ අග්‍රාමාත්‍ය ඩිංගිරිබණ්‌ඩා විඡේතුංග වැඩබලන ජනාධිපති ධුරයට පත් වූ අතර කර්මාන්ත විද්‍යා හා තාක්‌ෂණ අමාත්‍ය ධුරය හොබවමින් සිටි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.

බස්නාහිර පළාත් සභාව නියෝජනය කරමින් දේශපාලනය ඇරඹු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක පසුව පැවති මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ධුරයට පත්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවාය.

ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක යළිත් 1999 වසරේ පැවති ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර, ප්‍රතිවාදී අපේක්ෂක රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍ය වරයකු මෙන්ම එවකට විපක්ෂ නායකයා ද විය.

2005 වසරේ ජනාධිපතිවරණයට ප්‍රථම වරට මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වූයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවමින් සිටියදීය. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායක මෙන්ම එවකට විපක්ෂ නායක පදවිය දැරූ රනිල් වික්‍රමසිංහය.

2010 වසරේ ජනාධිපතිවරණය තරමක් වෙනස් මුහුණුවරක් ගනිමින් පොදු අපේක්ෂක භූමිකාව ප්‍රථම වරට කරළියට පැමිණි නමුත් මහින්ද රාජපක්ෂ තරග කළේ ජනාධිපති පදවිය ද දරමිනි.

අවසන් වරට 2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ හයවන විධායක ජනාධිපති ධුරයට පත්වූයේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව තුන්වෙනි වරටත් තරඟ වැදුණු, එවකට ජනාධිපති ධුරය හොබවමින් සිටි මහින්ද රාජපක්ෂ පරාජය කරමිනි.

කෙසේ වෙතත් 2019 මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින්නේ අග්‍රාමාත්‍ය, ජනාධිපති හෝ විපක්ෂ නායක යන භූමිකා එකක් හෝ හොබවා නැති ප්‍රධාන අපේක්ෂකයින් දෙපලක් ඇතුළු අපේක්ෂකයන් 35 දෙනෙකි.

5. අවුරුදු 20 කට පසු අපේක්ෂිකාවක්

Image copyright AJANTHA PERERA

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසය සැලකීමේදී අපේක්ෂිකවන්ගේ සහභාගිත්වය මෙලෙස ප්‍රසාරණය කළ හැක.

1982 - අපේක්ෂකයන් 5යි. කාන්තාවන් නොමැත

1988 - අපේක්ෂකයන් 3යි.එක් කාන්තා අපේක්ෂිකාවක් (සිරිමාවෝ බණ්ඩාරනායක)

1994 - අපේක්ෂකයන් 6යි, අපේක්ෂිකාවන් 2යි (චන්ද්‍රිකා කුමාරතුංග, ශ්‍රීමනී දිසානායක)

1999 - අපේක්ෂයකයන් 13යි. අපේක්ෂිකාවන් 1 (චන්ද්‍රිකා කුමාරතුංග)

2005 - අපේක්ෂකයන් 13යි. කාන්තාවන් නොමැත

2010 - අපේක්ෂකයන් 22යි, කාන්තාවන් නොමැත

2015 - අපේක්ෂකයන් 19යි, කාන්තාවන් නොමැත

ඒ අනුව බලන කළ 1999 වසරේ සිට අවසන් ජනාධිපතිවරණ තුනේදීම කිසිදු අපේක්ෂිකාවක් ජනාධිපතිවරණයට තරග කිරීමට ඉදිරිපත් නොවීම සුවිශේෂී කරුණකි.

කෙසේවෙතත් මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂිකාව ලෙස පරිසරවේදීනී ආචාර්ය අජන්තා පෙරේරා ඉදිරිපත්ව සිටී.

ඇය ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේම උපදේශිකාවක ලෙස ද කටයුතු කර තිබේ.

ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳව මුලිකත්වය ගෙන කටයුතු කරන පරිසරවේදීනී ආචාර්ය අජන්තා පෙරේරා සමාජ සේවිකාවක ලෙස ද ප්‍රකටය.

6. ප්‍රධාන දේශපාලන පක්ෂ තම සංකේත නොමැතිව සටන් බිමට

Image copyright Getty Images

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සැලකීමේදී ජනාධිපතිවරණ වෙනුවෙන් බොහෝ අවස්ථාවල එකී පක්ෂයේ නිළ වර්ණය මෙන්ම ඔවුන්ගේ ලාංඡන භාවිත කර තිබේ.

ඉතිහාසයේ ඇතැම්විට එම පක්ෂ සන්ධාන ගතවීමේදී සන්ධානයේ ලකුණ භාවිත කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එවැනි උදාහරණ තිබේ.

එම පක්ෂය සිය අත ලකුණ වෙනුවට පොදුජන එක්සත් පෙරමුණ හා සන්ධනගත වීමේ දී පුටුව ලකුණත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවීමේදී ගතවීමේදී බුලත් කොළයත් සිය ලාංඡනය බවට පත්කරගත්තේය.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය අවසන් වරට සිය ලාංඡනය වන අලියා ලකුණින් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූයේ, 2005 වසරේදීය. ඊට අමතරව, 2005 වසරෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ද ජනාධිපතිවරණයකට ඉදිරිපත් කර නොමැත.

එක්සත් ජාතික පක්ෂයද දෙවරක් හංසයා ලකුණින් සන්ධානගතවීම සිදුවිය.

නමුත් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද සිය පක්ෂ ලාංඡනයන්ගෙන් බැහැරව සන්ධානගතව තරග බිමට පිවිස සිටී.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය සුපුරුදු හංසයා ලකුණද, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සන්ධානය මාලිමාව ලකුණින්ද මෙවර ජනාධිපතිවරණයට තරග වැද සිටින අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ ප්‍රථම වරට වෙනත් පක්ෂයක අපේක්ෂකයකුට සිය සහය පළ කර තිබේ.

7. ද්විත්ව පුරවැසි භාවය

Image copyright Getty Images

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලද හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ 2015 ආණ්ඩු පෙරළියෙන් පසු පරිපාලන හා දේශපාලන ක්‍ෂේත්‍රයෙන් ඈත් වී කටයුතු කළේය.

රාජපක්ෂ පාලනය සමයේ ජනමාධ්‍ය ආයතනවලට සහ ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර දියත් වූ ඇතැම් ප්‍රහාර සම්බන්ධයෙන් මෙන් ම දූෂණ වංචා සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල විය.

එහෙත් දේශපාලන "පළිගැනීම් සහ මඩ ගැසීම්" ලෙස පවසමින් ඔහු එකී චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මෙවර ජනාධිපතිවරණයේ දී ඔහු කෙරෙහි වැඩි අවධානය යොමුවූ කරුණු අතරින් ද්විත්ව පුරවැසි භාවයට අදාළ ගැටළුව මූලිකත්වය ගෙන තිබිණ.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ලේඛක ගාමිණී වියන්ගොඩ අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කරමින් ඔහුගේ ශ්‍රී ලාංකික පුරවැසි භාවය අභියෝගයට ලක්කර තිබිණ.

නාමයෝජනා භාරදෙන අවසන් මොහොත දක්වා දේශපාලන වේදිකාවේ එය උණුසුම් මාතෘකාවක් වූ අතර පසුව අභියාචනාධිකරණය එම පෙත්සම නිෂ්ප්‍රභ කළේය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් අතරින් ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධ ගැටලුවකට මැදිවූ එකම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ ය.

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර