ශ්‍රී ලංකාව හා තමිල්නාඩුව යාකරන යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ

යාපනය ගුවන්තොටුපළ Image copyright Transport Min

සාමාන්‍යයෙන් යාපනයේ ජිවත්වන පුද්ගලයෙක්ට විදේශගතවීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමට කිලෝමීටර් 350ට වැඩි පැය 8ක පමණ වෙහෙසකර ගමණක නියැලීමට සිදුවේ.

කෙසේ නමුත් එම තත්ත්වය යම් තරමකට ඉදිරියේ වෙනස් වීමට නියමිත වන්නේ ඉන්දියාවේ ගමනාන්ත කරා වූ ගුවන් ගමන් යාපනය සිටම ක්‍රියාත්මක කිරීමට ඇති සුදානම හේතුවෙනි.

දැනට දේශීය ගුවන් ගමන් සඳහා යොදාගන්නා යාපනය පලාලි ගුවන් තොටුපළ මේ මස 17 වැනිදා ශ්‍රී ලංකාවේ තුන්වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත වීමට නියමිතය.

"යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ" ලෙස නම් කර ඇති මෙම පලාලි ගුවන්තොටුපළ, රුපියල් බිලියන 3ට ආසන්න මුදලක් වැය කරමින් ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස වැඩිදියුණු කොට තිබේ.

එයාර් ඉන්දියා ගුවන්සමාගමට අයත් කලාපීය ගුවන් සේවාවක් වන එලායන්ස් එයාර්හි විශේෂ ගුවන් යානයක් ලබන 17 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිට යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමත් සමග යාපනය ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් මගීන් සඳහා විවෘතවේ.

ජාත්‍යන්තර ඉයාටා (IATA) ගුවන් සමාගම් කේත අනුව යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ JAF ලෙස හැඳින්වීමට නියමිතය.

Image copyright RDA
Image caption යාපනය ගුවන්තොටුපළ

1960 සහ 1970 දශකවල යාපනය සහ චෙන්නායි නගර අතර විනාඩි 45කින් යා හැකි ගුවන් සේවයක් තිබී ඇති අතර එය පසුව ආරක්ෂක හේතුන් මත නවතා දමා තිබේ.

ඉන්පසු යාපනයේ පලාලි ගුවන්තොටුපළ ආරක්ෂක අංශ යටතේ ක්‍රියාත්මකවූ අතර යාපනය සහ කොළඹ අතර ගුවන් ගමන් සඳහා එම ගුවන්තොටුපළ යොදා ගැනිණි.

2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසු නැවත ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා පලාලි ගුවන්තොටුපළ යොදාගන්නා ලෙස ඉල්ලීම් කෙරුණද එය ක්‍රියාත්මක නොවිණි.

මෙම ගුවන්තොටුපළ සංවර්ධනයට ආයෝජනය කෙරෙන සම්පුරුණ මුදල රුපියල් මිලියන 2250ක් වන අතර එයින් රුපියල් මිලියන 300ක් ඉන්දියාව ආධාරයක් ලෙස සපයා තිබේ. අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන මෙම මෙම ව්‍යාපෘතියේ පළමු අදියර දැනට අවසන් කර ඇති අතර ඒ සමඟම ආසන 80ට අඩු ගුවන් යානා පලාලි ගුවන්පොළෙහි හැසිරවීමේ අවස්ථාව උදා වේ.

ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ දී සිදු කෙරෙන්නේ ප්‍රධාන ධාවන පථය කිලෝ මීටර් 1.5 දක්වා අලුතින්ම ආස්ථරණය කර තවත් විශාල ගුවන්යානා මෙහි ගොඩබෑමට හැකි ආකාරයට සකස්කිරීමය.

ඉන්දියාවේ චෙන්නායි, ට්‍රිචිසහ කෝචි යන නගරවලට යාපනයේ සිට සතියකට ගුවන් ගමන් තුනක් ඇරඹීමට එලායන්ස් එයාර් සමාගම දැනට එකඟවී තිබෙන බව වාර්තා වන අතර ඉදිරි ගුවන් ගමන් ඒ සඳහා තිබෙන ජනතා ඉල්ලුම අනුව තීරණය කිරීමට එම සමාගම එකඟ වී තිබේ.

ශ්‍රී ලංකාවේ යාපනය සිට දකුණු ඉන්දියාව දක්වා ගුවන් ගමන් යළි ආරම්භවීමෙන් ඉන්දු- ශ්‍රී ලංකා සම්බන්ධතාවල නව පරිච්ඡේදයක් ආරම්භයක් විය හැකි බව මේ සම්බන්ධයෙන් ලිපියක් පළකළ ඉන්දියාවේ හින්දු පුවත්පත පැවසීය.

Image copyright Transport Min
Image caption ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග යාපනයේ පලාලි ගුවන්තොටුපලේ සංචාරයක නියැලෙමින්

උතුරේ ජනතාවද සමාජ මාධ්‍ය තුළ මෙම ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත වීම ගැන සතුට පළකර ඇති අයුරු දක්නට ලැබිණි.

"මම අහලා තියෙනවා අපේ සියා කියනවා ඒ දවස්වල මේ ගුවන් සේවය තියෙද්දී චිත්‍රපට බලන්න චෙන්නායි වලට උදේ ගිහිල්ලා හවස එනවා කියලා. මේක ලොකු දෙයක් ගොඩක් උතුරේ අයට තමිල්නාඩුවේ නෑදෑයෝ ඉන්නවා, අනික ආගමික කටයුතු වලට වගේම ෂොපිං කරන්නත් අපිට එහෙ යන්න පුළුවන්. දැන් කොළඹ ඇවිල්ල යන එක අධික වියදමක් වගේම කාලය ගතවන එකක්" බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ යාපනයේ පුද්ගලික ආයතනයක රැකියාවක නියුතු ශාන්තිනි තවෙන්ද්‍රන් කියා සිටියාය.

මේ අතර මේවන විට සැලසුම් කර ගෙන යන මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කළ විට මඩකලපුව සිට චෙන්නායි දක්වාද ගුවන් සේවයක් ක්‍රියාත්මක කිරීමට එලායන්ස් එයාර් කැමැත්ත පළකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස උතුරු සහ නැගෙනහිර පළාත්වල ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් විවෘත වීමට සුදානම් වෙද්දී දකුණු පළාතේ ආරම්භකළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට දැනට වසරකට වැඩි කාලයක් ගමනාන්තයක් වශයෙන් කිසිදු මගී ගුවන් යානාවක් නොපැමිණෙන ස්ථානයක් බවට පත්ව තිබේ.

පුද්ගලික ගුවන්යානා සහ හදිසියේ අයහපත් කාළගුණික තත්ත්ව හමුවේ ගුවන් යානා ගොඩබෑමක් සිදුවුවහොත් මිස මත්තල ගුවන්තොටුපළ භාවිත වීමක් සිදුනොවේ. රුපියල් 100ක ප්‍රවේශ පත්‍ර මිලකට විදේශ සහ දේශීය සංචාරයකයන්ට දැන් මත්තල ගුවන්තොටුපළ නැරඹීමට විවෘතව තිබේ.

ආණ්ඩුව පවසන්නේ කිසිදු මගී ගුවන් සමාගමක්, මගීන් නොපැමිණෙන මත්තල ගුවන්තොටුපළ භාවිතයට ගැනීමට සුදානම් නොමැති බවකි. කෙසේ නමුත් විපක්ෂය පෙන්වා දෙන්නේ දේශපාලන හේතුන් මත ආණ්ඩුව මත්තල ගුවන්තොටුපළ අතහැර දමා ඇති බවය.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ 2013 වසරේදී විවෘත කළ අතර එය ඉදිකිරීමට චීනයෙන් ඩොලර් මිලියන 240ක ණය මුදලක් ලබාගෙන තිබිණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර