ජනාධිපතිවරණය: ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසය සහ ඡන්ද බලය

History of presidential elections in Sri Lanka Image copyright Getty Images
Image caption "ආණ්ඩු හැදීමට, පෙරැළීමට, තමන් කැමති පුද්ගලයන් පත් කරගැනීම මෙන්ම ඔවුන් ඉවත් කිරීමේ බලය සම්පූර්ණයෙන් තියෙන්නේ ජනතාව අතේ."

දිනෙන් දින උණුසුම් වන මෙවර ජනාධිපතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග වදින ජනාධිපතිවරණය බවට පත් වී තිබේ.

ජනාධිපතිවරුන් තෝරා ගැනීම සඳහා මේ වන විට ශ්‍රී ලංකාව තුළ මැතිවරණ හතක් පවත්වා ඇත. ඉතිහාසය පුරා ජනාධිපතිවරණ සඳහා අපේක්ෂකයන් විශාල පිරිසක් තරග කළත්, බොහෝ අවස්ථාවල එය ප්‍රධාන පක්ෂ දෙකක් අතර අපේක්ෂකයන් දෙදෙනකුගේ සටනක් ලෙස පෙනෙන්නට තිබිණි.

1978 දී සකසන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු පළමු වරට තෝරා ගැනීම 1982 දී සිදු විය.

හිටපු ජනාධිපති ජුනියස්‌ රිචඩ් ජයවර්ධන (ජේ ආර් ජයවර්ධන) මූලික වී සකසන ලද මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධායක බලතල අනුව "ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට නොහැකි වන්නේ ගැහැණියක පිරිමියෙකු කිරීමට හෝ පිරිමියෙකු ගැහැණියක කිරීමට පමණයි" යැයි කියැවිණි.

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 දී බිහිවිණි. ඉන් වසර කිහිපයක් ඉකුත්ව ගිය තැන දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද නිර්මාණය විය.

එසේ 1978 වසරේ බිහිවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ දක්වා සංශෝධන 19ක් හඳුන්වා දී තිබේ.

ජනාධිපතිවරණ ගමන් මග

1982 - විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ප්‍රථම ජනාධිපතිවරණය.

ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් සියයට 81ට වැඩි පිරිසක් මෙහිදී ඡන්දය භාවිත කළ අතර, අපේක්ෂකයන් හය දෙනක් ඉදිරිපත් වූහ.

Image copyright JR JAYEWARDENE CENTRE JRJC/FACEBOOK
Image caption එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ජේ ආර් ජයවර්ධන

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ජේ ආර් ජයවර්ධන 52.91%ක ප්‍රතිශතයක් ලබාගෙන ඡන්දය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හෙක්ටර් කොබ්බෑකඩුවට ලබා ගත හැකි වූයේ 39.07%ක ඡන්ද ප්‍රතිශතයකි. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඡන්ද 273,428ක් ලබා ගත්තේය. එය ප්‍රතිශතයක් වශයෙන් 4.19%කි.

"ඡන්ද ප්‍රතිශතය අඩු වුණත්, මේ රටේ ජනතාව අපි රටේ තුන්වෙනි බලවේගය හැටියට පිළි අරගෙන තිබෙනවා," ඡන්දයෙන් පසු පැවති දේශපාලන රැස්වීමක දී රෝහණ විජේවීර ප්‍රකාශ කළේය.

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නියෝජනය කළ කුමාර් පොන්නම්බලම් 2.67%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ අතර, ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු කොල්වින් ආර්. ද සිල්වා සහ නව සමසමාජ පක්ෂය නියෝජනය කළ වාසුදේව නානායක්කාර ද සුළු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්හ.

1988 - දෙවෙනි ජනාධිපතිවරණය

ශ්‍රී ලංකාව තුළ භීෂණය රජයමින් පැවති සමයකි. අවි ආයුධ අතට ගත් තරුණ සංවිධාන, පාතාල සාමාජිකයින් මෙන්ම ආරක්ෂක අංශ ද ඈඳුණු බොහෝ ඝාතන සහ අපරාධ සිදුවූ කාලවකවානුවක් විය. එම තත්ත්වය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට දැඩි බාධා එල්ල කළේය.

Image copyright Getty Images
Image caption සිරිමාවෝ බණ්ඩාරනායක

ජනපති අපේක්ෂකයන්ගේ පොරොන්දු වෙනුවට "මව්බිම නැත්නම් මරණය" වැනි වැකි සටහන් වූ පෝස්ටර් රටපුරා දක්නට ලැබිණි. දැඩි ලෙස පැතිරී තිබුණ මරණ බිය නිසා බොහෝ දෙනා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

මෙහිදී ප්‍රධාන අපේක්ෂකයන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක ඉදිරිපත් වූ අතර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රණසිංහ ප්‍රේමදාස තරග කළේය.

ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් ඔස්වින් අබේගුණසේකර ද මෙවර තරගයට ඉදිරිපත් විය.

එක රැයක් තුළ රට පුරා ඇලවුණු "මේ කවුද මොනවද කරන්නේ?" යනුවෙන් සටහන් වූ ප්‍රචාරක පෝස්ටරයක් අතරින් ජනපති සටන ආරම්භ කළ රණසිංහ ප්‍රේමදාස 50.43%ක් ලබාගෙන එවර මැතිවරණය ජයග්‍රහණය කළේය. ප්‍රතිවාදීන් වන සිරිමාවෝ බණ්ඩාරනායක 44.95% ඡන්ද ප්‍රතිශතයක් ද සහ ඔස්වින් අබේගුණසේකර 4.63%ක් ද ලබා ගත්හ.

ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 55.32% ක් පමණක් එවර ඡන්දය භාවිත කළහ. රට පුරා ඇවිළී ගිය භීෂණය මෙයට හේතු වූ අතර, අඩුම පිරිසක් ඡන්දය භාවිත කළ ජනාධිපතිවරණය ලෙස එය ඉතිහාසගත විය.

දෙමළ ඊළාම් විමුක්‌ති කොටි සංවිධානයේ බලපෑම ද මෙම කාලය තුළ දැඩි ලෙස බලපැවැත්වුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව ද ඡන්දය භාවිත කළේ අල්ප වශයෙනි.

Image copyright SajithPremadasa/Facebook
Image caption රණසිංහ ප්‍රේමදාස

1993 වසරේ මැයි දින පෙළපාලියකදී එල්ලවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මියයාමත් සමඟ එවක අගමැතිව සිටි ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපති ධූරයේ වැඩ භාර ගත්තේය.

1994 ජනපති සටන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඡන්ද 47,09,205ක් ලබා ගත් අතර, එය ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 62.28%කි. එය මෙතෙක් ජනපතිවරණ ඉතිහාසයේ වාර්තාවක් ලෙස සටහන් වේ.

මේ දක්වා පැවති ජනාධිපතිවරණ ජයග්‍රහණ කළ අපේක්ෂකයන් කිසිවෙකුත් 60% ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යෑමට සමත් වූයේ නැත.

එමෙන්ම ජනපති සටනට ප්‍රථම වතාවට කාන්තාවන් ඉදිරිපත් වූයේ ද 1994 ජනාධිපතිවරණයේදී ය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු ශ්‍රීමා දිසානායක ඡන්ද 27,15,283ක් ලබාගත් අතර, එය ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 35.91%කි. මෙහි දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ හඩ්සන් සමරසිංහට ලබා ගැනීමට හැකි වූයේ 0.78%ක් වැනි ඉතා අඩු ඡන්ද ප්‍රතිශතයක් පමණි.

Image copyright Getty Images
Image caption චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයෙන් තරග වැදුණු හරිශ්චන්ද්‍ර විජයතුංග ඡන්ද 0.43%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර, ස්වාධීන අපේක්ෂකයෙකු වන ඒ ජේ රණසිංහ සහ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ නියෝජනය කරමින් ජී ඒ නිහාල් (නිහාල් ගලප්පත්ති) 0.30% බැගින් ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්හ.

එවර ප්‍රධාන පක්ෂවලින් තරග වැදුණු අපේක්ෂකයන් දෙදෙනා සහ අනෙකුත් අපේක්ෂකයන් අතර විශාල ඡන්ද පරතරයක් දක්නට ලැබිණි.

"එකිනෙකාගේ පෞද්ගලික දේශපාලන මත සහ පුද්ගලයන් වශයෙන් විවිධ චෝදනා තියෙන්න පුළුවන්. හැබැයි කරුණු මත බැලුවොත්, 1994 ජනාධිපතිවරණය ඉතිහාසගත වී හමාරයි. විශේෂයෙන්ම කාන්තාවන් දෙදෙනෙක් ප්‍රධාන පක්ෂ දෙකෙන් තරග වැදීම සහ ඉන් කෙනෙකු වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කිරීම දුර්ලභ කාරණයක්," දේශපාලන විද්‍යා ගුරුවරියක වන කමණී පෙරේරා බීබීසී සිංහල සේවයට සිය අදහස් දක්වමින් පැවසීය.

"අවාසනාවට රටෙන් 52%ක් කාන්තාවන් වුණාට, ආපසු කාන්තාවක් ජනාධිපතිවරණයට තරග වදින්න එන්නේ මේ වසරේ. ඒ අවුරුදු 25කට පස්සේ. ප්‍රධාන පක්ෂවලින් නැතත්, මේ පුරුෂ සටනට මැදිහත් වෙන එකම ලොකු අභියෝගයක්," ඇය තවදුරටත් පැවසුවාය.

1999 ජනාධිපතිවරණය

එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවති යුද්ධය ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය බලය ලබා ගැනීමට යැයි පවසමින් සිය ධුර කාලය ඉකුත්වීමට වසරකට පෙරාතුව ජනාධිපතිවරණයක් කැඳවීමට එවක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ක්‍රියා කළාය.

Image copyright Getty Images
Image caption රනිල් වික්‍රමසිංහ

අපේක්ෂකයන් 13ක් තරග වැදුණු එම ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ රනිල් වික්‍රමසිංහය. එල්ටීටීඊ සංවිධානය සමග සාම සාකච්ඡා පැවැත්වීමට ක්‍රියා කිරීම රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ජනාධිපතිවරණ පොරොන්දුව විය.

කෙසේනමුත්, ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට දින තුනකට පෙර කොළඹ නගර සභා පිටියේ පැවති අවසාන ප්‍රචාරක රැළියේ දී බෝම්බ ප්‍රහාරයකට හසු වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ දකුණු ඇසට බරපතල හානි සිදු විය.

1999 දෙසැම්බර් 21 පැවැති ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 51.12%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ලබා ගත්තේ 42.71%ක් පමණි.

ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක නන්දන ගුණතිලකට 4.08%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණ අතර, අන් කිසිදු අපේක්ෂකයෙකුට 1% ඡන්ද ප්‍රතිශතය පසු කිරීමට නොහැකි විය.

1999 දෙසැම්බර් 22 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය දෙවෙනි ධූර කාලය සඳහා දිව්රුම් දෙන විට ද ඇයගේ දකුණු ඇස වෙළුම්පටිවලින් වසා තිබිණි.

2005 ජනාධිපතිවරණය

නියමිත කාලයට වසරකට පෙරාතුව ජනාධිපතිවරණය පැවැත්වීම නිසා, සිය දෙවෙනි ධූර කාලයට එය එකතු විය යුතු බව පවසමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළාය. නමුත් පෙත්සම නිශ්ප්‍රභ කළ අධිකරණය මැතිවරණය පැවැත්වීමට ක්‍රියා කරන ලෙස තීන්දුවක් ප්‍රකාශ කළේය.

Image copyright Getty Images
Image caption මහින්ද රාජපක්ෂ

එවර ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ තරග වැදුණු අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය.

ෆෙඩරල් ක්‍රමයක් ප්‍රතික්ෂේප කිරීම සහ එල්ටීටීඊ සංවිධානය සමග නැවත සාම ගිවිසුමක් සඳහා සාකච්ඡා පැවැත්වීමේ පොරොන්දු මත ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ජාතික හෙළ උරුමය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වී මහින්ද රාජපක්ෂට සහය ලබා දුන්හ.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ වතුකරය නියෝජනය කරන දෙමළ පක්ෂ රනිල් වික්‍රමසිංහට සහය පළ කළහ.

"මහින්ද චින්තන" ප්‍රතිපත්ති මාලාව එළිදක්වා 50.29%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ සටන ජය ගත්තේය. රනිල් වික්‍රමසිංහ 48.43%ක ප්‍රතිශතයක් ලබා ගත් අතර, තෙවෙනි අපේක්ෂකයා වන එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරියට ලබා ගත හැකි වූයේ 0.36ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

එල්ටීටීඊ සංවිධානය යටතේ තිබුණු උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙස අණ කෙරී තිබූ අතර, ඡන්දය දීමට යන පුද්ගලයන්ට දැඩි දඬුවම් දෙන බව ද පවසා තිබිණි. මේ හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත් වැසියන් බොහෝ දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකුණහ. සමස්ත ඡන්ද ප්‍රතිඵලයට මෙය දැඩි ලෙස බලපාන්නට ඇති බව පසු කාලීන දේශපාලන විග්‍රහයන් තුළ බහුලව පෙනෙන්නට විය.

මේ තොරතුරුද කියවන්න:

2010 ජනපති සටන

2009 වන තෙක් පැවති දරුණු සටන්වලින් පසු එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කිරීමට රටෙහි සේනාධිනායක වූ මහින්ද රාජපක්ෂට හැකි වීම නිසා, ඔහු අතිශය ජනප්‍රියත්වයට පත් වී සිටියේය.

Image copyright Getty Images
Image caption ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

මේ හේතුවෙන් නියමිත ධුර කාලයට වසරකට පෙර මහින්ද රාජපක්ෂ නැවත ජනාධිපතිවරණයක් කැඳවීය. එවර විපක්ෂ කිහිපයක එකතුවෙන් ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කෙරිණි. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ සහය ද ලබමින් හිටපු හමුදාපති ජෙනරල් (එවක) සරත් ෆොන්සේකා හංසයා ලකුණෙන් පොදු අපේක්ෂකයා ලෙස ජනපති සටනට ඉදිරිපත් විය.

යුද ජයග්‍රහණ සඳහා උර දුන් ප්‍රධාන පුද්ගලයන් අතරින් දෙදෙනෙකු ඉදිරිපත්වීම නිසා මැතිවරණය පෙර සිතුවාට වඩා උණුසුම් විණි.

කෙසේවෙතත්, 57.88% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. මෙතෙක් සිටි සෑම ජනපතිවරයෙකුටම සිය පළමු ධූර කාලයට වඩා දෙවැනි ධූර කාලවලදී ලබන ඡන්ද ප්‍රතිශතය අඩු වීමක් දක්නට ලැබුණ ද, මෙවර එහි වෙනසක් සිදු වීය.

ජෙනරල් සරත් ෆොන්සේකා 40.15%ක් ඡන්ද ප්‍රතිශතයක් ලබද්දී තෙවෙනියා වශයෙන් මොහොමඩ් කාසීම් මොහොමඩ් ඉස්මයිල් නමැති අපේක්ෂකයාට හිමි වූයේ 0.38%ක ඡන්ද ප්‍රතිශතයකි.

2010 ජනාධිපතිවරණයේදී රටේ සමස්ත ඡන්ද භාවිතයේ ප්‍රතිශතය 74% ක්‌ වුවත් යාපනය හා වන්නි දිස්‌ත්‍රික්‌කවල ඡන්ද භාවිතයේ ප්‍රතිශතය පිළිවෙළින් 25.66% ක්‌ 40.33% ක්‌ විය. එම ප්‍රදේශවල ජනතාව යුද්ධයේ ප්‍රතිඵලයක්‌ ලෙස අවතැන්ව සිටීම සහ හැඳුනුම්පත් නොමැතිකම ඊට හේතු විය.

අපේක්ෂකයන් 22ක් ඉදිරිපත්වූ අතර, මෙතෙක් කල් වැඩිම පිරිසක් තරග වැදුණු ජනාධිපතිවරණය බවට එය සටහන්ව තිබිණි. මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා හැර සෙසු අපේක්ෂකයන් සියලුදෙනාටම ලබාගත හැකි වූයේ ප්‍රතිශතයක්‌ වශයෙන් 1.97% ක් පමණි. ‌ මේ හේතුවෙන් එම අපේක්‌ෂකයන් 20 දෙනාගේම ඇප මුදල් රාජසන්තක විය.

2015 ජනාධිපතිවරණය

නැවත වරක් සිය ධූර කාලය දීර්ඝ කර ගැනීමේ බලාපොරොත්තුවෙන් මහින්ද රාජපක්ෂ නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් කැඳවීය. ඔහු ඉදිරිපත් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමිනි.

Image copyright Getty Images
Image caption මෛත්‍රීපාල සිරිසේන

නමුත් මෙවර ද එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක එකතුවකින් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළේය. මහින්ද රාජපක්ෂ පාලනයේ සෞඛ්‍ය ඇමති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්ව සිටි මෛත්‍රීපාල සිරිසේන එම අපේක්ෂකයා විය.

ප්‍රබල තරගයකින් පසු මෛත්‍රීපාල සිරිසේන ඡන්ද 62,17,162ක් ලබා 51.28% ක ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජය ගත්තේය. "යහ පාලන ආණ්ඩුවක්" ලබා දීම ඔහුගේ ප්‍රධාන මැතිවරණ සටන් පාඨය විය.

මහින්ද රාජපක්ෂට හිමි වූයේ 47.58%ක ඡන්ද ප්‍රතිශතයකි. අපේක්ෂකයන් 19 දෙනෙකු තරග වැදුණු එම ජනාධිපතිවරණයේදී ඉදිරියෙන්ම සිටි දෙදෙනා හැර අන් කිසිවෙකුටත් 0.15% සීමාව පසු කිරීමට නොහැකි විය.

ශ්‍රී ලාංකිකයන් නැවතත් ජනාධිපතිවරණයකට සූදානම් වෙමින් සිටිති.

පසුගිය ජනාධිපතිවරණ හතේදීම ජයග්‍රහණය කළ පුද්ගලයා 50%ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇත. එසේ නොවුවහොත් දෙවෙනි ස්ථානය දිනාගත් අපේක්‌ෂකයාගේ සහ සෙසු අපේක්‌ෂකයන්ගේ දෙවැනි මනාපය ගණන් කළ යුතුව තිබිණි.

මෙතෙක් සිටි ජනාධිපතිවරුන් ලබා ගත් ඡන්ද ප්‍රතිශතයක් ලෙස:

  • 1982 - ජේ ආර් ජයවර්ධන: 52.91%
  • 1988 - රණසිංහ ප්‍රේමදාස: 50.43%
  • 1994 - චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග: 62.28%
  • 1999 - චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග: 51.12%
  • 2005 - මහින්ද රාජපක්‍ෂ: 50.29%
  • 2010 - මහින්ද රාජපක්‍ෂ: 57.88%
  • 2015 - මෛත්‍රීපාල සිරිසේන: 51.28%

ඡන්ද බලය

1931 දී ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේ මෙරට ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ඡන්ද බලය හිමි විය.

Image copyright Getty Images
Image caption "අවාසනාවට අපි අතරින් බහුතරයක් දන්නේ නැහැ තමන්ට තිබෙන බලය ගැන.."

මේ අනුව ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා, සංවර්ධන සභා සහ ගම් සභා යන පාලන ආයතනවලට සභිකයන් පත් කර ගැනීම සඳහා වසර 88ක් පුරා ශ්‍රී ලාංකිකයෝ සිය ඡන්ද බලය භාවිත කරති.

ඒ අනුව සිය පාලකයන් තෝරා ගැනීමට මෙන්ම ඔවුන් පලවා හැරීමට ද සිය ඡන්ද බලය 'අවියක්' ලෙස ඔවුන් භාවිත කර ඇති අවස්ථා ඉතිහාසය පුරාවට දැකගත හැකිය.

"ආණ්ඩු හැදීමට, පෙරැළීමට, තමන් කැමති පුද්ගලයන් පත් කරගැනීම මෙන්ම ඔවුන් ඉවත් කිරීමේ බලය සම්පූර්ණයෙන් තියෙන්නේ ජනතාව අතේ. අවුරුදු 88 ක් තිස්සේ මෙය සිදු කරළා අපේ රටේ මිනිස්සුන්ට මේ ගැන පුළුල් දැනුමක්‌ තියෙන්න ඕනේ," නීතීඥ තක්ෂිලා ජයසිංහ බීබීසී සිංහල සේවයට සිය අදහස් දක්වමින් පැවසීය.

"නමුත් අවාසනාවට අපි අතරින් බහුතරයක් දන්නේ නැහැ තමන්ට තිබෙන බලය ගැන. ඔවුන් දේශපාලඥයන් කියන දේකට ඡන්දය දෙනවා හැර බුද්ධියෙන් තීරණ ගන්න තරමට තම මනස, හැදියාව දියුණු කරගෙන නැහැ," ඇය තවදුරටත් පැවසුවාය.

තවත් තොතුරු: