ජනාධිපතිවරණය: ව්‍යාජ පුවත් සහ "කඩේ යන" ෆේස්බුක් පිටු ගැන ඔබ දැනුවත් ද?

Image caption කිසිවෙකු විසින් ව්‍යාජ ජනප‍්‍රියතාවක් ලබාගැනීමේ අරමුණින් සිය නමින් සමාජ ජාල තුළ පළ කරනු ලැබ ඇති ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් අසත්‍ය බවට ජනසෙත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙත පැමිණිලි කර තිබිණි

ජනාධිපතිවරණ උණුසුමත් සමග ආධාරකරුවෝ සහ අනුගාමිකයෝ තමාට හිතැති අපේක්ෂකයන් පිළිබඳ ගුණ වයති. වර්ණනා කරති. ඔවුහු සමාජ ජාල ඔස්සේ සිය අපේක්ෂකයාගේ හැකියාවන්, පෞරුෂය, ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශස්ති ගයන අතරේ ප්‍රතිවාදීන්ට අවලාද නගති.

ඒ අතරම සමාජ ජාල ඔස්සේ තමන්ට එරෙහිව ව්‍යාජ පුවත් පළ කරන බවට ඇතැම් ජනාධිපති ධුර අපේක්ෂකයන් මෙන්ම ඔවුන්ගේ අනුගාමිකයෝ ද එකිනෙකාට චෝදනා කර ගනිති.

ජනාධිපතිවරණය හෝ ඕනෑම මැතිවරණයකදී සමාජ ජාල ඔස්සේ අපේක්ෂකයන්ගේ ප්‍රතිරූපයට කළ හැකි බලපෑම අති මහත්ය.

2016 වසරේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුර අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට අවාසිසහගත වන සේ ව්‍යාජ පුවත් පළ කළ බවට ඇමරිකානු ඔත්තු සේවා එවක රුසියාවට චෝදනා කළේය.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් 2016 වසරේ පැවති ජනමත විචාරණයේදී ද සමාජ ජාල ඔස්සේ බොහෝ ව්‍යාජ පුවත් පළ වී ඇතැයි පසුව වාර්තා විය.

ශ්‍රී ලංකාවේ ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් සිය ප්‍රතිවාදීන්ට එරෙහිව ව්‍යාජ පුවත් පළ කිරීම සඳහා මෙන්ම තමන් වෙනුවෙන් "කඩේ යාමට" සමාජ ජාල පිටු වෙත මුදල් ලබා දී ඇති බවට චෝදනා එල්ල වන්නේ මෙවන් පසුබිමකදීය.

2015 සහ 2019 ජනාධිපතිවරණ

සමාජ ජාල විශ්ලේෂක නාලක ගුණවර්ධන සඳහන් කරන පරිදි 2015 වසර වන විට ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය භාවිත කළ පිරිස මුළු ජනගහනයෙන් 25% කි.

2019 වන විට එම ප්‍රතිශතය 33% - 35% ක් ඉහළ ගොස් ඇතැයි පවසන ඔහු ඉන් අති බහුතරය අවම වශයෙන් එක් සමාජ ජාලයක් හෝ භාවිත කරන බව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් භාවිත කරන සමාජ ජාලය ෆේස්බුක් වන අතර එම පිරිසෙන් 63% ක් අවුරුදු 18 ත් 34 ත් අතර වයසේ පසුවන්නන්ය.

මේ අතර 2019 ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වී ඇති ඡන්ද දායකයන් අතරින් මිලියනයක පමණ පිරිසක් ඡන්දය භාවිත කරන්නේ පළමු වතාවටය.

2015 ජනාධිපතිවරණය හා සැසඳීමේදී සමාජ ජාල ඔස්සේ ජන මතයට එල්ල කළ බලපෑම ඉහළ ගොස් ඇතුවා සේම එහි ඇති බැරෑරුම්භාවය දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ප්‍රචාරණ මෙහෙයුම් කණ්ඩායම් ද වටහාගෙන ඇති හැඩක් පෙනෙන්නට ඇතැයි සමාජ ජාල විශ්ලේෂක නාලක ගුණවර්ධන පවසයි.

ඔහු පෙන්වාදෙන පරිදි ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ සමාජ ජාල ගිණුම් සහ පිටු කොටස් හතරකට බෙදිය හැක.

ඒවා නම්:

  • ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ නිල පිටු
  • ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් සහ ඔවුන් වෙනුවෙන් ප්‍රචාරණයේ යෙදෙන පිටු
  • ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජීය අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින අපක්ෂපාතී පිටු
  • කරුණු විකෘති කර සිය ප්‍රතිවාදීන්ට අවාසි සහගත කරුණු සහ වෛරී ප්‍රකාශ පළ කරන සමාජ ජාල පිටු

ඩිජිටල් සාක්ෂරතාව

ජනසෙත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමි නමින් ඇති ෆේස්බුක් ගිණුමක් මගින් උන්වහන්සේගේ ඉදිරි දර්ශනය යැයි සඳහන් කරමින් පළ වූ පුවත් පසුගිය දිනවල විශාල වශයෙන් හුවමාරු විය.

යම් අයකු විසින් ව්‍යාජ ජනප‍්‍රියතාවක් ලබාගැනීමේ අරමුණින් සිය නමින් පළ කර ඇති එම ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් අසත්‍ය බවට උන්වහන්සේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙත පැමිණිලි කර තිබිණි.

සමාජ ජාල ඔස්සේ පළ වන ඉහත කී ආකාරයේ සාවද්‍ය පුවත් 'share' කිරීමට පෙර දෙවරක් සිතා බැලිය යුතු බව සමාජ ජාල විශ්ලේෂක නාලක ගුණවර්ධන පවසයි.

"මේ සාවද්‍ය පුවත් පළ කරන්නේ සීමිත පිරිසක්. නමුත් එවැනි පුවත් විශාල වශයෙන් හුවමාරු වෙන්නේ (Viral) බොහෝ දෙනෙක් හරියට හිතන්නේ නැතිව 'share' කිරීම නිසයි" යනුවෙන් ඔහු සඳහන් කළේය.

එසේම දේශපාලන අරමුණකින් ඔබ්බට ගොස් සිය සමාජ ජාල පිටු වෙත "හිට්ස් වැඩි කර ගැනීමටත්" ඒ ඔස්සේ ලාභය වැඩි කර ගැනීමටත් උත්සහ දරන පිරිස් පිළිබඳව ද අවධානයෙන් පසුවිය යුතු බව ඔහු පැවසීය.

ව්‍යාජ පුවතක් හඳුනා ගන්නේ කෙසේද?

  • අදාළ පුවත පළ කර ඇත්තේ අනන්‍යතාව තහවුරු කළ ගිණුමකින් දැයි හඳුනා ගන්න - සමාජ ජාල විසින් සහතික කරන ලද (verified) ලකුණ සහිත පිටු
  • අදාළ පුවත දෙස තාර්කිකව බැලීම
  • අදාළ පුවත ගුවන් විදුලියේ, රූපවාහිනියේ හෝ පුවත්පතක පළකොට ඇත්දැයි සොයා බැලීම
  • අදාළ පුවත පළ කරනු ලැබ ඇති ආයතනය හෝ ෆේස්බුක් පිටුව පිළිබඳ මීට පෙර අසා තිබේද?
  • අදාළ පුවත පළ කරන ලද වෙබ් අඩවියේ විශ්වසනීයත්වය
  • ඡායාරූප හෝ වීඩියෝ දර්ශනවල ස්වභාවය (ඇතැම් විට සංස්කරණය කරන ලද ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඇතුළත් ව්‍යාජ පුවත් පළ වේ)
  • අදාළ පුවත විශ්වාසය දනවන සුළු දැයි යන්න සිතාබැලීම

සමාජ ජාල, මාර්ග උපදේශ සහ ආචාර ධර්ම

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ව්‍යාජ පුවත්: 'Share කරන්න කලින් සිතන්න'

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ වගන්තිය යටතේ ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට මාධ්‍යයේ හැසිරීම සම්බන්ධයෙන් උපමාන නිකුත් කිරීමේ බලය පවතී.

ජනාධිපතිවරණ කාල සීමාව තුළ මාධ්‍ය හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මේ වනවිට එම උපමාන ගැසට් කර ඇත.

නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදන අනුව දඬුවමට ලක් කළ හැක්කේ රාජ්‍ය මාධ්‍ය පමණි.

මානව හිමිකම් කොමිෂන් සභාව, ජනමාධ්‍ය අමාත්‍යංශය සහ විදුලි සංදේශ කොමිෂන් සභාව සමග එක්ව සකස් කළ උපමාන සම්බන්ධයෙන් සෙසු මාධ්‍ය ආයතන සමග සාකච්ඡා කර එකඟතාවකට පැමිණ ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේය.

සමාජ ජාල ඔස්සේ ඉහත කී උපමාන කඩ කරන පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බවට ෆේස්බුක්, යූටියුබ් සහ ගූගල් යන ආයතන එකඟ වූ බව ද එම ප්‍රකාශකයා පැවසීය.

මේ අතර සාවද්‍ය ප්‍රකාශ සහ වෛරී කතන සම්බන්ධයෙන් සමාජ ජාල දෙසට අවධානය යොමු වුවත් එවැනි පුවත් පළමුව සමාජ ගත කරන්නේ ශ්‍රී ලංකාවේ මුද්‍රිත සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය බව වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍ය පර්යේෂණ ප්‍රධානී දීපාංජලි අබේවර්ධන පවසයි.

"මුද්‍රිත සහ ඉලෙක්ට්‍රෝනික මාධ්‍ය හරහා සමාජ ගත කරන මේ පුවත් සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් පැතිර යන බව පසුගිය කාලයේ සිදුවීම් දෙස බලද්දී පේන දෙයක්."

ෆේස්බුක් ඇතුළු ඇතැම් සමාජ ජාල විසින් එම පිටු පවත්වාගෙන යනු ලබන පුද්ගලයන් සහ පරිශීලකයන් සඳහා ප්‍රජා මාර්ග උපදේශ (Community guidelines) හඳුන්වා දී ඇතත් එම මාර්ග උපදේශ කඩවන අවස්ථා දුලභ නොවේ.

නියාමනය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

Image copyright Getty Images
Image caption ව්‍යාජ පුවත් සහ එහි ඇති අනතුර පිළිබඳ මගීන් දැනුවත් කිරීම සඳහා ක්වාලාලම්පූර් ප්‍රවාහන සේවාවල දර්ශනය කර ඇති දැන්වීමක්

ඒ සඳහා පිලියමක් වශයෙන් ලොව ඇතැම් රටවල් නියාමන දෙසට යොමු වූ අවස්ථා ඇති අතර සිය ප්‍රතිවාදීන් සහ විරුද්ධ මත යටපත් කිරීමට එම නීති යොදා ගන්නා බවට ඒ සමගම චෝදනා එල්ල වේ.

අන්තර්ජාලයේ විවිධ මත ඉදිරිපත් කරන වෙබ් අඩවි සහ පෞද්ගලික අදහස් හුවමාරු කර ගන්නා අන්තර්ජාල වේදිකා (Online platforms) තහනම් කළ හැකි පරිදි බලය පැවරෙන ව්‍යාජ පුවත්වලට එරෙහි ආන්දෝලනාත්මක නීතියක් සම්මත කිරීමට සිංගප්පූරුව පසුගිය මැයි මස කටයුතු කළේය.

එහිදී විවේචකයින් කියා සිටියේ එය සිවිල් නිදහසට බරපතළ තර්ජනයක් බවය.

"ව්‍යාජ පුවත් සහ වෛරී කතනවලට වැට බැඳීම සඳහා නියාමනයක් අවශ්‍යද? නොඑසේ නම් ඉහත කී ප්‍රජා ආචාර ධර්ම ප්‍රමාණවත්ද? එම ආචාර ධර්ම කඩවන්නේ නම් ෆේස්බුක් වැනි අදාළ සමාජ ජාල ආයතන ඒ සඳහා වගකිව යුතු නොවේද?" යන කරුණු පිළිබඳ ලොව පුරා සංවාදයක් පවතින බව වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍ය පර්යේෂණ ප්‍රධානී දීපාංජලි අබේවර්ධන පෙන්වා දෙයි.

මුද්‍රිත සහ ඉලෙක්ට්‍රෝනික මාධ්‍ය සම්බන්ධයෙන් ආචාර ධර්ම (Ethics) හඳුන්වා දී ඇතත් සමාජ ජාල ඔස්සේ ජනමාධ්‍යවේදීන් ලෙස පෙනී සිටින පුද්ගලයන්ට ආචාර ධර්ම සම්බන්ධයෙන් ඇති දැනුම අල්ප බව ඇය කියා සිටී.

"ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ ගොඩක් තැන්වල දකින්න තියෙන දෙයක් තමයි ඡායාරූපයක් පළ කරලා කතාවක් කරපු ගමන් කෙනෙක් ජනමාධ්‍යවේදියෙක් වෙනවා. එතකොට මෙහි සීමා මායිම් ලකුණු කරන්නේ කොතනින්ද කියන එක බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා."

පුවතක් පළ කිරීමට පෙර අවම වශයෙන් මූලාශ්‍ර (Sources) දෙකක හෝ ඊට වැඩි ගණනකින් ඒ පිළිබඳ තහවුරු කර ගැනීම ජනමාධ්‍යවේදයේ මූලික සිද්ධාන්තයකි.

සමාජ ජාල පිටු මෙහෙයවන පුද්ගලයන් පමණක් නොව ඇතැම් ජනමාධ්‍යවේදීන් ද එකී සිද්ධාන්තයෙන් බැහැරව පුවත් පළ කරන තත්ත්වයක් දක්නට ඇති බැවින් ඩිජිටල් සාක්ෂරතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ මීට වඩා වැඩි අවධානයක් යොමු විය යුතු බව වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍ය පර්යේෂණ ප්‍රධානී දීපාංජලි අබේවර්ධනගේ අදහසය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර