'රෝයල් පාක්' ඝාතන නඩුව සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රකාශය

Royal Park case Sri Lanka Image copyright RoyalParkResidencies/Website
Image caption රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණය

'රෝයල් පාක් මිනීමැරුම' ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති නඩුවේ විත්තිකරු වන ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති සමාව දීම ගැන සලකා බලන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමඟ ඒ පිළිබඳ සමාජය තුළ ප්‍රබල සංවාදයක් මතු වී තිබේ.

"ඉවසීම නැතිවුණ තැන සිද්ධ වන්නේ මොකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. මම හිතනවා ඔබතුමන්ලාට මතක ඇති කියලා මීට වසර ගණනකට කලින් රෝයල් පාක් නිවාස සංකීර්ණයේ සිද්ධිය. ඒ තරුණයාට එතකොට වයස අවුරුදු 19යි. ඔහු තරුණිය සමඟ වාදයක පැටලිලා අවසානේ ඇයව ඝාතනය කළා. ඔහු මේ වන විට ආචාර්ය උපාධියකුත් සම්පූර්ණ කරලා තියෙනවා, මම හිතන්නේ දැන් ඔහුට වයස 32ක්," යැයි පසුගිය ඉරිදා (ඔක්තෝබර් 20) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා පැවසීය.

ඝාතන නඩුවේ පසුබිම

රාජගිරිය රෝයල් පාර්ක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ පියගැට පෙළ මතදී 2005 වසරේ ජූනි 30 වෙනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ගෙල සිර කර හිස පොළොවේ ගසා ඝාතනය කිරීමේ චෝදනාවට ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහ එම වසරේ දීම අත්අඩංගුවට ගැනිණි.

ස්වීඩන් ජාතික පියෙකු හා ශ්‍රී ලාංකික මවකගේ දියණියක වූ ඉවොන් ජොන්සන් සිද්ධිය වූ දින ඇඟලා සිටි ඇඳුමකින් ගෙල සිර කර තිබූ අතර, හිස සිමෙන්ති පොළොවේ ගැසීමෙන් හිස් කබලේ බිඳීම් 64ක් තිබූ බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වීය.

ඉන්පසු කොළඹ මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු 2012 වර්ෂයේ දී ඔහුට දොළොස් වසරක සිර දඬුවමක් නියම කෙරිණි.

Image copyright Getty Images

එයට එරෙහිව පැමිණිලිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයෙන් පසු අභියාචනාධිකරණය 2012 වර්ෂයේ දී ඔහුට මරණ දඬුවම ලබා දුන්නේය. පසුව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කරන ලද අතර, එහිදී නැවතත් විත්තිකරුට මරණ දඬුවම ස්ථීර කරමින් තීන්දුවක් ලබා දුන්නේය.

මහාධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයට ද මරණ දඬුවම පැනවිය හැකි බවට 2014 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නේය.

කෙසේවෙතත්, ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනිට 2016 වර්ෂයේ දී විශේෂ ජනාධිපති සමාවක්‌ යටතේ ජීවිත සමාව හිමිවෙමින් ඔහුගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්‌ ලෙස ලිහිල් කර තිබේ.

ජනාධිපති සමාව දෙවෙනි වරටත්?

ධනවත් පවුල් දෙකක දරුවන් සම්බන්ධ නඩුවක් වීමත් සමඟ මෙය සමාජයේ දැඩි කතා බහට ලක් වූ අතර, සිද්ධියට අදාළ තරුණ තරුණියන්ගේ ජීවන රටාව ගැන ද දැඩි විවේචන එල්ල විණි.

අදාළ ඝාතනය පිළිබඳව යළිත් වරක් අවධානය පළ වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රකාශයත් සමඟය.

"මේ සිද්ධිය සම්බන්ධයෙන් සිරගත වෙලා ඉන්න ළමයාගේ පාර්ශවයෙන් මට ඉල්ලීමක් ආවා ජනාධිපති සමාව යටතේ ඔහුව නිදහස් කර දෙන්න කියලා. සිරගෙදර දී ඔහු යහපත් කල් ක්‍රියාවෙන් සිටි නිසා මම මේ ඉල්ලීම ගැන සලකා බලනවා. ඉවසීම නැති නිසා වූ සිද්ධියක් මත සිරගත වෙනකොට ඔහුට වයස 19යි," ජනාධිපතිවරයා පැවසුවේය.

එමෙන්ම තමන් කුඩා කළ සිට ඉවසීම ප්‍රගුණ කළේ කෙසේදැයි ජනාධිපතිවරයා විස්තර කළේය.

Image copyright Getty Images

"මම කුඩා කාලේ දවසක් බයිසිකලේ පැදගෙන පාසලට යනකොට, කලින් දවසේ වුණ රණ්ඩුවක් මුල් කරගෙන, මග රැක හිටපු ළමයෙක් මට කොහු මිටෙන් ගැහුවා. ඔක්කොම පොත් එක්ක මම බිම වැටුණා. පස්සේ මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්නකොට එදා මට කොහු මිටෙන් ගහපු කෙනා මගේ ළඟට ආවා එයාගේ දරුවට රැකියාවක් ලබා දෙන්න කියලා ඉල්ලගෙන."

"එදා සිද්ධිය මට මතකයට ආවත්, මම ඉතා ඉක්මනට ඔහුට හොඳ රැකියාවක් සොයලා දුන්නා. එහෙමයි මම එයාට සැලකුවේ. රෝයල් පාක් කතාව, කොහු මිටේ කතාව වගේම අනික් කතාවලින් කියවෙන්නේ ඉවසීමේ වැදගත්කම ගැන. හොඳ වැඩවල නිරත වෙලා, හොඳ අධ්‍යාපනයක් ලබලා විනීත ජීවිතයක් ගත කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ," රැස්ව සිටි තරුණ පිරිස අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

නැගණියගේ ප්‍රතිචාරය

කෙසේනමුත්, මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව තිබූ අතර, ඝාතනයට ලක් වූ ඉවෝන් ජොන්සන්ගේ නැගණිය, කැරොලයින් ජොන්සන් ද බදාදා (ඔක්තෝබර් 23) සිය ෆේස්බුක් පිටුවේ දීර්ඝ සටහනක් පළ කර තිබිණි.

"ජනාධිපතිවරයා මගේ සහෝදරියගේ ඝාතකයාට සමාව ලබා දෙන්න යනවා කියන ප්‍රකාශයට පිළිතුරු දෙන්න වෙන එක ගැන ඉවොන්ගේ සහෝදරිය ලෙස මට ඇතිවෙන්නේ විශාල දුකක් නමුත්, මෙය මගේ වගකීමක්" යැයි කැරොලයින් සිය සටහන ආරම්භයේ සඳහන් කර තිබිණි.

Image copyright Facebook/CarolineJonsson-Bradley
Image caption ඉවෝන් ජොන්සන්ගේ නැගණිය, කැරොලයින් ජොන්සන් සහ ඔවුන්ගේ මව

"මගේ සහෝදරිය සාහසික ලෙස මරා දැමීමෙන් පසු අපේ ලෝකය උඩු යටිකුරු වුණා කිව්වොත් එය ඌන ප්‍රකාශයක්. මළගෙදර ආපු හැමෝම දැක්කා ඇයගේ දේහය පොළොව යටට යනවා, නමුත් එයත් සමඟ මමත් වැළලී ගියා. ඒ වගේම මගේ අම්මා සහ තාත්තාත්. අපේ ජීවිත නැවත ගොඩනගා ගන්න අපි සෑහෙන උත්සහයක් ගත්තා. නමුත් වසර 15කට පස්සේත් අපි තාම යුක්තිය වෙනුවෙන් සටන් කරනවා."

"අවාසනාවට අපිට දැන් සූදානම් වෙන්න වෙලා තියෙන්නේ මෙතෙක් වුණ අතිශය නරකම සිද්ධියට මුහුණ දෙන්නයි. ඒ මගේ සහෝදරියගේ මිනීමරුවාට සමාව දීමයි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා යුක්තිය ජය ගනියි කියලා...," කැරොලයින් සිය සටහනේ සඳහන් කර තිබුණි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ගැන ප්‍රතිචාරය පළ කරමින් අරුණි ටී නම් තරුණිය, එමගින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට ලබාදෙන පණිවුඩය කවරක් දැයි ප්‍රශ්න කරන්නීය.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරා දැමිය යුතු බව පවසන ජනාධිපතිවරයා, ඒ අතරම මිනීමැරුමකට වැරදිකරු වූ පුද්ගලයෙකු නිදහස් කරන බව පවසන්නේ කෙසේ දැඩි අනෝජි ඒකනායක ප්‍රශ්න කර තිබුණි. "මට එයාගේ තර්කය තේරුම් ගන්න බෑ," ඇය පවසන්නීය.

ජනාධිපති සමාව යනු කුමක් ද?

සිරකරුවන්ට සමාව ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙනි.

34 වගන්තියේ (1) අනු වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයක තීන්දුවක් යටතේ වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය පැවරේ.

එමෙන්ම, වරදකරුට ලබා දෙන්නේ සම්පූර්ණ සමාවක් ද නැතහොත් නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් ද යන්නත් ජනාධිපතිවරයාට තීරණය කළ හැකිය.

අදාළ වරදකරුට නියම කර ඇති දඬුවම වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමට හෝ නියම කරන ලද දඬුවම මුළුමනින්ම නිශ්ප්‍රභ කිරීමට ද ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථාවෙන් බලය හිමි වී තිබේ.

මේ තොරතුරුද කියවන්න:

මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකුට සමාව දිය හැකිද?

අධිකරණයකින් මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකුට සමාව ලබා දීමේ දී 34 (ඈ) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට යම් සීමා පනවා තිබේ.

Image copyright Getty Images

එවන් පුද්ගලයෙකු නිදහස් කිරීමට පෙර අදාළ නඩුව විභාග කළ විනිසුරුගෙන් වාර්තාවක් ලබා ගත යුතුය. එම වාර්තාව ජනාධිපතිවරයා අතට ලැබුණු පසු, ඒ ගැන නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය.

එම වාර්තාව නීතිපතිවරයාට යැවිය යුත්තේ අදාළ උපදෙස් ලබා දීමෙන් පසු අධිකරණ විෂය භාර අමාත්‍යවරයාට යවන ලෙස උපදෙස් ලබා දෙමිනි.

ඉන්පසු, අදාළ අමාත්‍යවරයා සිය නිර්දේශ ද සඳහන් කරමින් වාර්තාව නැවත ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබයි.

"මරණ දඬුවමට නියම වූ පුද්ගලයෙකුට සමාව ලබාදීමේ දී හැර වෙනත් අවස්ථාවල දී ජනාධිපතිවරයාට විශේෂ ඉල්ලීම් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය බොහොම පුළුල් ලෙස අර්ථකථනය කරන්න පුළුවන් විදියට සකසලා තිබෙන්නේ," යනුවෙන් නීතිවේදිනී ජී මනෝරි රණසිංහ ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට විස්තර කළාය.

"ජනාධිපති සමාව ලබාදීමේදී සලකා බැලිය යුත්තේ මොනවගේ කරුණු දැයි නීතියේ පැහැදිලිව සඳහන් කර නැහැ. ජනාධිපතිවරයා රටේ සුභසිද්ධිය සහ සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයෙකු සේ සලකා සිය අභිමතය අනුව ක‍්‍රියා කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති තවත් බලයක් ලෙස මා මෙය දකිනවා," ඇය තවදුරටත් සඳහන් කළාය.

"නිර්ණායක නැහැ"

ජනාධිපතිවරයාගේ සමාව හිමිවිය යුතු සිරකරුවන් තෝරා ගැනීමේදී කිසිදු නිර්ණායකයක් සලකා නොබලන්නේ ද?

Image copyright Getty Images
Image caption වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් වී යන සිරකරුවන් පිරිසක්

ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ එවැනි සම්මත නිර්ණායක මාලාවක් නොපවතින නමුත් අධිකරණ අමාත්‍යංශය මගින් ඒ ඒ අවස්ථාවන් හි නිර්ණායක ඉදිරිපත් කරන බවය.

"සම්මත නිර්ණායකයක් කියල කියන්න බැහැ. මේ වන තෙක් තිබෙන අත්දැකීම් අනුව කියන්න පුළුවන් බොහෝ වෙලාවට බරපතළ නොවන වැරදි වලට සිටින අය තමයි නිදහස් කරන්නේ," ඔහු පැවසීය.

"යම් කෙනෙක් නිදහස් වීමට අදාළ පසුබිම අපට අදාළ නැහැ. ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කරනවා. සමහරවිට අමාත්‍යංශය හරහා නිර්දේශ වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්." ඔහු පැවසීය.

මේ අතර, ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසින් සකස් කරන ලද වාර්තාවක් මෙම වසරේ ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණ අතර, සිරකරුවන් නිදහස් කිරීම සඳහා ජනාධිපතිවරයා සතු බලතල සංශෝධනය විය යුතු බවට එහිදී යෝජනා වී තිබේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවූ බව නීති විශාරදයෝ පවසති.

ජනාධිපති සමාව අභියෝගයට ලක් කළ හැකිද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය අනුව ජනාධිපති ධූරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි ලෙස සඳහන් වී තිබේ. නමුත්, එම ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වෙනි සංශෝධනයෙන් ලැබී ඇත.

Image copyright Getty Images
Image caption සිරකරුවන්ට සමාව ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙනි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමෙන් සන්ධ්‍යා එක්නැලිගොඩගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට හැකියාව ලැබී ඇත්තේ මේ හේතුවෙනි.

"ජනාධිපති සමාව ලබා දීම වරදක් යැයි පවසමින් සෘජුව නඩු පවරන්න නීති නැහැ. නමුත්, 19 වෙනි සංශෝධනය යටතේ යම් වරදකරුවෙකු නිදහස් කිරීම මගින් තවත් පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ වී තිබෙන බව සඳහන් කරමින් නඩු පවරන්න පුළුවන්," නීතිවේදිනී ජී මනෝරි රණසිංහ පැවසීය.

"ඒ හැර, අනෙක් සෑම අවස්ථාවකදීම අදාළ කාරණා සලකා බැලීමෙන් පසු ජනාධිපතිවරයාට හැකියාවක් තියෙනවා වරදකරුවාට කොන්දේසි රහිත සමාවක් හෝ කොන්දේසි සහිත සමාවක් ලබා දෙන්න. ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් පුද්ගලයාගේ තරාතිරම හෝ වෙනත් කරුණු කිසිවක් බලපාන්නේ නැහැ."

කෙසේනමුත්, ජනාධිපති සමාව ලබා දිය යුත්තේ කිනම් වරදකට සිරගත වූ පුද්ගලයන්ට දැයි ශ්‍රී ලංකා නීතියේ සඳහන් වී නොමැත.

ජනාධිපති සමාව සමාජයේ කතාබහට ලක් වූ අවස්ථා කිහිපයක්

  • අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි 2019 ජූලි මස ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම.
  • 2004 වර්ෂයේ දී පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක ද අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරගත කෙරිණි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ රජයේ ප්‍රබල ඇමැතිවරයකුව සිටි එස් බී දිසානායක කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස ද කටයුතු කළේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2006 දී එස් බී දිසානායකට ජනාධිපති සමාව ලබා දුණි.
  • හිටපු හමුදාපතිවරයෙකු වන ෆීල්ඩ් මාෂල් ජනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව තිබූ සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ක්‍රියා කළේය.
  • ජනාධිපති පොදු සමාව යටතේ 71 කැරැල්ලේ ප්‍රධාන විත්තිකරුවා වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරට ජනාධිපති සමාව ලැබීම.
  • නැක්සලයිට් චෝදනාව යටතේ සිරගත කෙ‍රුණු විජය කුමාරතුංග ජේ ආර් ජයවර්ධන ජනාධිපති සමාව යටතේ නිදහස් වීම.
Image copyright Getty Images
Image caption 1883 දී ශ්‍රී ලංකාවේ පිහිටි සිර කඳවුරක චිත්‍රයක්
  • මිනීමැරුම්, පුද්ගලයන් පැහැරගෙන යෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් සිරදඬුවම් ලැබ සිටි පාතාලයට සම්බන්ධ පුද්ගලයෙකු වන ගෝනවල සුනිල් ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ සමාව ලැබීය. පසුව ඔහුට මුළු දිවයිනටම බලපාන පරිදි සාමදාන විනිශ්චයකාර පදවියක් ද ප්‍රදානය කෙරිණ.
  • රජයේ බදු මුදල් විශාල වශයෙන් වංචා කිරීමේ චෝදනා යටතේ සිරදඬුවම් නියමව සිටි වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකුට ජනාධිපති සමාව ලැබීම.
  • පුද්ගලයකු ඝාතනය කර මහාධිකරණයෙන් මරණ දඬුවමට ලක්ව සිරගතව සිටි හිටපු ඇමැතිවරයකුගේ භාර්යාවක ජනාධිපති සමාව යටතේ නිදහස් වීම.

තවදුරටත් අදහස දැක්වූ නීතිවේදිනී ජී මනෝරි රණසිංහ: "මීට කලින් ජනාධිපති සමාව ලබා දුන් අවස්ථා කිහිපයක් ගැන දැඩි ලෙස පසුතැවීමක් ඇති වුණත්, ඒ කාලයේ හැටියට ජනතාවට එළිපිට අදහස් දක්වන වටපිටාවක් තිබුණේ නැහැ. වාචික විවේචන එල්ල වුණත් ඒවා ප්‍රබල වුණේ නැහැ. නමුත් දැන් එහෙම නෙමෙයි. සමාජ මාධ්‍ය ජාල සහ වෙබ් අඩවි ඔස්සේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා රජයට දැඩි බලපෑම් එල්ල කරන්න පුළුවන්," යනුවෙන් කියා සිටියාය,

"අදාළ නීති රීති, නිර්ණායක නැති වුණත් විධායකය සහ රජයට දැඩි පීඩනයක් එල්ල කිරීමේ හැකියාව ජනතාවට ලැබිලා තිබෙනවා. එය පසුගිය කාලයේ සිදු වූ සිද්ධි කිහිපයකදීම ඔප්පු වුණා," ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

තවත් තොරතුරු: