ජනපති නිල නිවස: අතීත ජනපතිවරුන්ගේ නිල නිවාස සහ මෛත්‍රීගේ ක්‍රියාකලාපය

ජනපති නිල නිවසේ අර්බුදය Image copyright PMD

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන දැනට භාවිත කරන කොළඹ 07 මහගම සේකර මාවතේ පිහිටි නිල නිවස විශ‍්‍රාම ගැනීමෙන් පසුව ද ඔහුගේ පාවිච්චිය සඳහා ලබා දීමට ගෙන ඇති තීරණය පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබේ.

මේ සඳහා අනුමැතිය හිමි වූයේ, ඔක්තෝබර් 15 වන දා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ සංදේශයකට අනුවය.

විශ‍්‍රාමික ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථානුකූලව ලබා දිය යුතු සියලු වරප‍්‍රසාදවලට අමතරව මෛත‍්‍රීපාල සිරිසේනගේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට ද කැබිනට් මණ්ඩලය එහිදී තීරණය කර තිබිණි.

මෙම කරුණ සමාජගත වීමත් සමග ම ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වූ අතර සමාජ මාධ්‍ය තුළ ද එය උණුසුම් මාතෘකාවක් බවට පත් විය.

ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත

Image copyright documents.gov.lk

ජනාධිපතිවරයින් විශ්‍රාම යාමෙන් පසු ඔවුන්ට හිමි විය යුතු ප්‍රතිලාභ ඇතුළත් ගැසට් පත්‍රයට අත්සන් තැබුවේ 1986 වසරේ පෙබරවාරි මස 18 වන දාය. එය එම වසරේ පෙබරවාරි මස 21 වන දා නිකුත් කෙරිණි.

'1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත' අනුව,

"සෑම හිටපු ජනාධිපතිවරයෙකුට ම සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ම ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතුය."

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, යම් හෙයකින් උචිත නිවාසයක් සැපයීමට නොහැකි අවස්ථාවක අදාළ ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන දීමනාවක් නිවාස කුලිය ලෙස ලබා දිය යුතු බවය.

මෙම පනත අනුව හිටපු ජනාධිපතිවරයෙකු අභාවයට පත් වුවහොත් හිමි විශ්‍රාම වැටුපෙන් තුනෙන් දෙකකට සමාන විශ්‍රාම වැටුපක් සහ නිල නිවස බිරිදට හෝ සැමියාට ඔවුන් ජීවත් වන තුරු ලබා දිය යුතුය.

මීට අමතරව, 2005 වසරේදී සිවිල් පුරවැසියන් දෙදෙනෙකු විසින් ගොනු කරන ලද නඩුවක තීන්දුවක් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට එරෙහිව ගොනු කර තිබූ නඩුවකට අදාළ ව එවක අගවිනිසුරු සරත් එන්. සිල්වා 2007 වසරේ මාර්තු 02 වන දා දුන් නඩු තීන්දුවක් අනුව හිටපු ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාදවල සංශෝධන සිදුවී තිබේ.

එහිදී මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් (SC FR503/2005) ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් පෙත්සම්කරුවන්ට පක්ෂව තීන්දුවක් ලබා දෙමින්, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති ධූරයේ කටයුතු කරමින් සිටියදී ම ඇයගේ ප්‍රදාන සහ හිමිකම් පිළිබඳව ගෙන තිබූ කැබිනට් තීන්දු අවලංගු කළේය.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ට හෝ සැමියන්ට විශ්‍රාම වැටුප්, කාර්ය මණ්ඩලය, නිල නිවාස, ආරක්ෂක භටයින්, රථවාහන සහ ඉන්ධන වියදම් ද හිමි වන බව ජනාධිපති කාර්යාලය පවසයි.

Image copyright JR JAYEWARDENE CENTRE JRJC/FACEBOOK
Image caption විශ්‍රාම ගැනීමෙන් පසු රජයේ නිල නිවාසයක් භාර නොගත් ශ්‍රී ලංකාවේ එක ම ජනාධිපතිවරයා වන්නේ, ජේ. ආර්. ජයවර්ධනය

පෙර සිටි ජනාධිපතිවරුන්ට හිමි වූ නිල නිවාස

  • ජේ. ආර්. ජයවර්ධන:

ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව රජයේ නිල නිවාසයක් ලබා නොගත්තේය. ඔහු සිය විශ්‍රාම දිවිය ගත කළේ, කොළඹ වෝර්ඩ් පෙදෙසේ පිහිටි සිය පාරම්පරික නිවස වූ බ්‍රේමා මැදුරේය.

ඒ අනුව, විශ්‍රාම ගැනීමෙන් පසු රජයේ නිල නිවාසයක් භාර නොගත් ශ්‍රී ලංකාවේ එක ම ජනාධිපතිවරයා වන්නේ, ජේ. ආර්. ජයවර්ධනය.

  • රණසිංහ ප්‍රේමදාස:

ජේ. ආර්. ජයවර්ධනගෙන් පසු ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා බවට පත්වූ රණසිංහ ප්‍රේමදාස ධූරය දරන අතරතුර අභාවප්‍රාප්ත වීම හේතුවෙන් ඔහුට හිමි නිල නිවස ඔහුගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසට හිමි විය. පළමුව කොළඹ ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ පිහිටි නිවසක් ඇයට ලබා දී තිබූ අතර පසුව කොළඹ 07, ග්‍රෙගරි මාවතේ පිහිටි සී - 80 දරන නිවස ඇයට ලබා දෙන ලදී.

  • ඩී. බී. විජේතුංග:

තෙවන විධායක ජනාධිපතිවරයා ලෙස කෙටි කලක් ධූරය හෙබවූ බී. බී. විජේතුංග විශ්‍රාම ගැනීමෙන් පසුව වාසය කළේ, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වාසය කරන කොළඹ, මහගම සේකර මාවතේ (පැජට් පාර ලෙස මීට පෙර නම් කර තිබිණි) පිහිටි නිවසේය. එකිනෙකට සම්බන්ධ අමාත්‍ය නිල නිවාස දෙකක් එක් නිවසක් ලෙස ඩී.බී. විජේතුංග භාවිතයට ගෙන තිබිණි.

  • චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග:

සිව් වන විධායක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය විශ්‍රාම දිවිය ගත කිරීම සදහා තෝරා ගත්තේ, කොළඹ 07, නිදහස් මාවතේ, අංක 27 දරන නිවසය. ඇය තවමත් එම නිල නිවස පරිහරණය කරයි.

  • මහින්ද රාජපක්ෂ:

පස් වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ විශ්‍රාම යාමෙන් පසු කොළඹ 07, විජේරාම මාවතේ, අංක 11 දරන නිවස ඔහුගේ නිල නිවස වශයෙන් ලබා දෙන ලදී. ජනාධිපති කාර්යාලය පවසන්නේ, "විශාල මුදලක්" වැය කර එම නිවස ප්‍රතිසංස්කරණය කර ඉහළ මහලට යාම සදහා විදුලි සෝපානයක් ද සවි කළ බවය.

මෛත්‍රීපාල සිරිසේනට වෙන් කෙරුණු මහගම සේකර මාවතේ නිවසේ වගතුග

Image copyright PMD
Image caption 2016 වසරේදී පැජට් පාර, මහගම සේකර මාවත ලෙස නම් කළේය.

මෙම නිල නිවස ඩී.බී. විජේතුංග හිටපු ජනාධිපතිවරයා සිය විශ්‍රාම දිවිය ගත කිරීමට තෝරා ගැනීමට පෙර පැවතියේ, අමාත්‍යවරුන් දෙදෙනෙකු සදහා වෙන් කෙරුණු එකිනෙකට යාබද නිල නිවාස දෙකක් ලෙසය.

ඩී. බී. විජේතුංගගේ අභාවයෙන් පසු එම නිවස පසුකලෙක අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල සිය නිල නිවස ලෙස භාවිත කළේය.

පසුව එය ප්‍රතිසංස්කරණය කර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිල නිවස ලෙස භාවිතයට ගත්තේය. ඒ, කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය භාවිත කළහොත් ඒ සදහා විශාල මුදලක් වැය වන බව පවසමිනි.

එම නිවස ජනාධිපති නිල නිවස වශයෙන් ප්‍රතිසංස්කරණයට හා වෙනත් කටයුතු සඳහා ඉල්ලා තිබූ රුපියල් මිලියන 180ක මුදලක් පිළිබඳව එවක මාධ්‍ය ඔස්සේ කතබහට ලක් විය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය ප්‍රතිචාර දක්වමින් නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබුණේ, "ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙන්නේ ඉතා පැරණි නිවාස 02 ක් එක්කර ජනාධිපතිවරයෙකුගේ පරිහරණයට උචිත ලෙස එම නිවස අලූත්වැඩියා කිරීමට සිදු වූ" අතර "ජනාධිපතිවරයා සඳහා වෙන්ව ඇති කොටුව ජනාධිපති මන්දිරය භාවිත කරන්නේ නම් ජලය, විදුලිය සහ නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් ලක්ෂ 150 ට අධික වියදමක් දැරීමට රජයට සිදුවන බවත් එම අධික වියදම නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එහි පදිංචිය ප්‍රතික්ෂේප කර ඇති බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි," යනුවෙනි.

විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට නිල නිවසක් හිමි වන්නේ සින්නක්කරව ද?

1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත අනුව විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හෝ වරියකට නිල නිවසක් සින්නක්කරව හිමි නොවේ. එම නිල නිවස හිමි වන්නේ, ජනාධිපති සැමියා හෝ බිරිද අතරින් පසුව මිය යන තැනැත්තා ජීවත් වන තුරු පමණි.

ඒ අනුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ නිවස සින්නක්කරව තමන්ට පවරා ගත් බවට පළ වන තොරතුරු සාවද්‍ය බව ජනාධිපති කාර්යාලය පවසයි.

"සාමාන්‍යයෙන් කැබිනට් අනුමැතිය ඉල්ලුවත් නැතත් ජනාධිපතිවරයෙක් විශ්‍රාම ගියා ම ජීවත් වෙන්න නිල නිවසක් ලැබිය යුතුයි. මේ වැඩේ නීත්‍යනුකූලව කරන්න ඕන නිසයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් දාන්න කියලා ඉල්ලීමක් කළේ," ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල සේවයට පැවසීය.

"බැඳියාවන් අතර ඝට්ඨනයක්"

ජනාධිපතිවරයා තවමත් සිය ධූරයේ රැදී සිටියදී, "කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් සිටින කාල සීමාව තුළදී මෙවැනි තීරණයක් ගැනීම, බැඳියාවන් අතර ඝට්ටනය පිළිබඳ විශාල ගැටලුවක් පැන නගින බව," ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර පවසන්නේ, වසර 20 ක කාලයක් සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මහගම සේකර මාවතේ පිහිටි නිල නිවස පරිහරණය කිරීම මගින් ඔහුට ලැබෙන අවම ඇස්තමේන්තුගත ප්‍රතිලාභය රුපියල් මිලියන 360ට අධික බවය.

"මෙම නිවස ලබා දීම පිළිබඳව තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරයා ම මෙහෙයවනු ලබන කැබිනට් මණ්ඩලය වන හෙයින් බැඳියාවන් අතර ඝට්ටනය පිළිබඳ ගැඹුරු සැක සංකා මතු කරන අතර පොදු දේපොළ සුරැකීම පිළිබඳව ඇති අඩු අවධානය පිළිබඳව ඉඟි මතු කරන බැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිමිකම් සම්බන්ධයෙන් වන ඕනෑ ම කැබිනට් තීන්දුවක් වහා ම අවලංගු කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය කැබිනට් මණ්ඩලයට දන්වා සිටින," බව එම ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

හිටපු ජනාධිපතිවරුන් වරප්‍රසාද ලබා ගැනීම සාධාරණ ද?

සංවර්ධනය වෙමින් පවතින මැදි ආදායම් ලබන රටක් ලෙස දේශපාලනඥයින්ට වරප්‍රසාද ලබා දීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි බලපාන ආකාරය පිළිබදව රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැහැදිලි කළාය.

Image copyright RAJARATA UNIVERSITY
Image caption මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම

ඇය පෙන්වා දුන්නේ, නිෂ්පාදන ආර්ථිකයක් නැති බදු සහ ණය මත පදනම් වූ දුර්වල ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාව වැනි රටක ජනාධිපතිවරුන්ට හෝ දේශපාලකයින්ට විවිධ වරප්‍රසාද ලබා දීමෙන් ආර්ථිකය තවදුරටත් කඩා වැටෙන බවය.

"ඉස්සර දේශපාලනඥයෝ ආවේ තමන්ට අයිති දේවල් වියදම් කරලා රටට වැඩ කරන්න. හොද ම උදාහරණය තමයි, ජේ.ආර්. ජයවර්ධන. එතුමා නිල නිවාසත් ප්‍රතික්ෂේප කරල අන්තිමට එයාට පරම්පරාවෙන් අයිති වෙලා තිබුණ දේපොළත් රජයට පවරා දුන්නා. උදාහරණයක් තමයි ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය. ඒත් පස්සේ ආපු හැම කෙනෙක් ම තමන් හම්බ කර ගත්ත එක තමයි ගොඩක් වෙලාවට කළේ," මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම පැවසීය.

"මේ වගේ බංකොලොත් ආර්ථිකයක් තියෙන රටක දේශපාලනඥයින්ට විශේෂිත ප්‍රතිලාභ දීම සාධාරණ නැහැ. දේශපාලනඥයින් බලයේ සිටින කාලය තුළත් ලබා ගන්නා වරප්‍රසාද සහ ප්‍රතිලාභ රටේ ආර්ථිකයට විශාල බරක්. ඒ නිසා මේ ප්‍රතිලාභ අඩු කරල රටේ ආර්ථිකය ගොඩ නගන්න උත්සහ කළ යුතුයි."

කෙසේ වෙතත් ඇය සදහන් කළේ, අතීතයේ සිටි ජනාධිපතිවරුන්ට හිමි වූ වරප්‍රසාද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද ලබා ගැනීම "වැරැද්දක් ලෙස හුවා දැක්විය නොහැකි," බවය.

තවදුරටත් කියවන්න.