නිළිකම පසෙක ලා කුඹුරු යායක් තනිව අස්වද්දන තරුණියක්

සකුන්තලා
Image caption සකුන්තලා

රුව ආකර්ෂණීයව තබා ගැනීමට මෙන් ම ශරීරයේ මඩ නොතැවරෙන, කය අඩුවෙන් වෙහෙසෙන රැකියාවක නිරත වෙන්නට වර්තමානයේ තරුණ තරුණියන් බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වන බව නොයෙක් විට ඇසෙන ප්‍රකාශයකි.

එහෙත්, අද වන විට වැඩිහිටියන් ද ගොවිතැනින් ඈත්ව යමින් සිටින පසුබිමක, ඉන්දියාවට ද ගොස් නාට්‍ය හා රංග කලාව පිළිබඳ අධ්‍යයනයක යෙදී නිළියක ලෙස ඇරඹු ගමන කෙටි කලකින් ගොවිතැන වෙතට හරවා තනිව කුඹුරක් අස්වැද්දීමට තීරණය කළ තරුණියක් පිළිබදව මට අසන්නට ලැබිණි. එබැවින් මම ඇය සොයා මිරීගමට යාමට තීරණය කළෙමි.

ඇය මිනිසුන්ගෙන් එල්ලවූ පීඩාවට ලක්ව අසරණ වූ සුනඛයන් හා ගවයන් වෙනුවෙන් ද කැපවී ඇති බව දැනගත්තේ මා එහි ගිය අවස්ථාවේදීය.

ඕනෑ ම දවසක හමුවිය හැකි බව කලින් පවසා තිබුණු නිසා පූර්ව දැනුම් දීමකින් තොරව මීරිගමට ගිය මම, කියා තිබූ ඉස්සව කරා ළඟා වී ඇයට දුරකතන ඇමතුමක් දුන්නෙමි.

''ගෙදරට ඇවිත් වැඩක් නෑ. මම ඉන්නේ කුඹුරේ. පාර අයිනේ මගේ රතුපාට ස්කූටිය නවත්තලා තියෙනවා,'' යනුවෙන් සකුන්තලා මාලදෙනිය පිළිතුරු දුන්නාය.

මග හසර අසන්නට කිසිවෙකුත් නැති පාළු වෙල් යාය දිගේ මම ඇය සිටින බව පැවසූ ඉසව්ව සොයා ගියෙමි. දුටුවන්ගේ නෙත් වසඟ කරන සොඳුරු පරිසරයක මිහිර විඳිමින්, මඩ පිරි නියර දිගේ යන විට කුඹුරු කොටන තරුණියක දක්නට ලැබිණි.

''මම තමයි සකුන්තලා,'' ඇය උදැල්ල පසෙක තබා මඩ ගෑවුණු දෙඅත් වක්කඩින් සෝදමින් ප්‍රකාශ කළාය.

දැඩි හිරු රශ්මිය අතරේ රූරා වැටෙන දහදිය පිස දමමින් ඇය මා ඉදිරියට පැමිණෙන විට මම පළමු ප්‍රශ්නය ඇසුවෙමි. "මේ වගේ දෙයක් කරන්න තීරණය කළේ ඇයි ?"

''මේකප් ගානවට වඩා මට ලොකු සතුටක් දැනෙනවා උදේ ම කුඹුරේ මඩ ටිකක් ගෑවෙනකොට. මේක මගේ රට. මට ඕනා උපන් බිමට ණයකාරයෙක් නොවී මැරෙන්න. මේ සොබාදහමට කවදාහරි මාව පස් වෙන දාට අපි මහපොළවට බරක් වෙන්න හොඳ නෑ,'' යනුවෙන් සකුන්තලා මාලදෙනිය බීබීසී සිංහල සේවයට පැවසුවාය.

මීරිගම, කහඳව ප්‍රාථමික විද්‍යාලයෙන් සහ ඩඩ්ලි සේනානායක ආදර්ශ මහා විද්‍යාලයෙන් අධ්‍යපනය ලැබූ ඇය කලා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට තිබේ. අනතුරුව ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලට ඇතුළත්ව නාට්‍ය හා රංග කලාව හදාරා ඇති ඇය පසුව කොළඹ සිංහල සංස්කෘති ආයතනය එනම් ''සුදර්ශි'' හා සම්බන්ධව තිබේ. එහිදී තමන් ඇතුළු 28 දෙනෙකුට ඉන්දියාවට ගොස් වැඩිදුරටත් නාට්‍ය හා රංග කලාව ගැන අධ්‍යයනයක යෙදීමේ අවස්ථාව උදා වූ බව සකුන්තලා ප්‍රකාශ කළාය.

පසුගිය කාලයේ ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුව ද ඊට වඩා ක්‍රියාකාරීව රටට යමක් කිරීම සඳහා මේ තීරණය ගත් අතර, තමන්ටම කියා කුඹුරක් නැති හෙයින් වසර දෙකක් පුරා ඊට අවස්ථාව සෙවූ බවත් ඇය සිහිපත් කළාය.

''මට ආසාව තිබුණට කුඹුරක් නැති නිසා අපේ ගමේ වලව්වේ, සුනිල් තෙන්නකෝන් හාමු මහත්තයා හමුවෙලා එතුමාට අයිති මේ කුඹුර වැඩ කරන්න ඉල්ල ගත්තා. එතුමා කිසිදු මුදලක් ගන්නේ නැතුව අවුරුදු දෙකකට මට මේ කුඹුර කර ගන්න දුන්නට මම හැම දා ම පිං දෙනවා. වැඩේ පටන් ගන්නකොට අතේ සතයක්වත් තිබුණේ නෑ.''

ආශාවක් පැවතිය ද, සකුන්තලාට කුඹුරු වැඩ පිළිබද අවබෝධයක් නොවිණි. එබැවින් ඇය කුලී පදනම මත කෙනෙකුගේ සහය ලබාගෙන කුඹුර අස්වැද්දීමට සිතා සිටිය ද මවගෙන් ඊට ලැබුණේ "කුලී කාරයන්ට ගෙවන්න මුදල් අපිට නෑ" යන පිළිතුරය. පියා රැකියාවක් නොකරන අතර මව සමෘධි නිලධාරිනියකි. සකුන්තලාට ද රැකියාවක් නොමැති නිසා වෙනත් ස්ථිර ආදායම් මාර්ගයක් ද නොමැත.

''කුලියට මිනිස්සු දාන්න සල්ලි නැහැ කිව්වා වගේ ම අම්මා මට වැඩේ කර ගන්න පාර පෙන්නුවා. ඒ අපේ ගමේ ගොවි නියාමක මහත්තයට මාව හඳුන්වල දීලා. මම ඔහුගෙන් තමයි නියරවල් රහින හැටි, වේලි බඳින හැටි, කුඹුරු කොටන හැටි ඉගෙන ගත්තේ. මගේ හිත හයියයි. මේ අක්කර දෙකයි කාල දැන් මට තනියම වපුරන්න පුළුවන්,'' යනුවෙන් සකුන්තලා ප්‍රකාශ කළේ දැඩි ආත්ම විශ්වාසයකිනි.

පවුලේ එක ම දරුවා වූ සකුන්තලා, ජීවිතයේ පළමු වරට කුඹුරක් අස්වද්දනු ලබන්නේ මෙවර මහ කන්නය සඳහාය.

කුඹුරු වැඩ සඳහා සහය ලබා ගැනීමට මිතුරන්ට ආරාධනා කළ ද ඇගේ සහයට කිසිවෙකු පැමිණ නැත.

''මම උදව්වට ආවේ නෑ කියල කාත් එක්කවත් තරහ නෑ. ඒ අයටත් වැඩ ඇති නේ. නියරවල් ඇස්සේ, කුඹුර කෙටුවේ හැම දේ ම කළේ තනියෙන්. කලාතුරකින් මේ කොහිල වළේ කොහිල ටිකක් කඩන්න එන කිරි අම්ම කෙනෙක් විතරයි තනියට ඉතුරු වෙන්නේ. සැරින් සැරේ තාත්තා ඇවිත් බලල යනවා,'' යනුවෙන් සකුන්තලා පැවසුවේ අව්වට වියළි ගිය මඩ පිසදමමිනි.

සුනඛ සහ ගව අනාථාගාරය

Image caption ''දැන් ගෙදර බල්ලෝ 33ක් ඉන්නවා"

යොවුන් වියේ සිටින සකුන්තලා ඉදිරියේදී විහාරස්ථානයක් ගොඩ නැගීමට සහ අනුරාධපුරයේ පොලිතින් නිසා විනාශ වූ වැවක් පිරිසිදු කිරීමේ අදහසක් ගැන ද සිහිපත් කළාය. එමෙන් ම ඇය මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා අසරණ වූ සුනඛයන් සහ ගවයන් රැකබලා ගන්නා බව ද පැවසුවාය.

''ඒ සත්තු කොහෙ ද ඉන්නේ?'' මම විමසුවෙමි.

''එන්න පුළුවන් නම් යමු අපේ ගෙදර. හැබැයි මෙතන ඉඳලා ටිකක් දුරයි,'' යනුවෙන් පිළිතුරු ලැබුණ විට ඒ ගැනත් නිවසට ගොස් දැක ගැනීමට මට සිත් විය.

ඇය කුඹුරේ වැඩ නවතා මා සමග නිවසට යන්නට පිටත් වන මොහොතේ අපූරු දෙයක් දක්නට ලැබිණි. ඒ, ඇය දණගසා කුඹුරට වැඳ ආචාර කරන ආකාරයයි.

''මම මේ වැඩේ කරන්නේ හරි ම භක්තියෙන්'' කියා සිනාසුණු ඇය උදැල්ල කරට ගත්තාය.

කුඹුරට යාමට ඇති ප්‍රවේශ මාර්ගය ද මේ දිනවල එක ම මඩ ගොහොරුවකි. එබැවින් අප මඩ පිටින් ම මාර්ගයට පිවිසි අතර''ස්කූටි'' යතුරු පැදියෙන් ඇය යන මග පසුපස මම ද සකුන්තලාගේ නිවස කරා ගියෙමි.

ඇය නිවසට ඇතුළු වන විට සුනඛයන් හඬ නගමින් සතුට පළ කරනු දුටුවෙමි.

නිවසට ඇතුළු වන දොරටුව ළඟ කුඩා සුනඛ පැටවුන් සිවු දෙනෙකි. '' මේ අයව මම ගෙනාවේ මඩ වළක වැටිලා ඉන්නකොට''යනුවෙන් පවසා ඇය සාලයේ දොර විවර කළා ය.

දැන් සුනඛයින් බුරන හඬ පමණක් මට ඇසේ. පාදයක් අහිමි සුනඛයෙකු පැන පැන විත් සකුන්තලා වටා කැරකෙන්නට විය.

''දැන් ගෙදර බල්ලෝ 33ක් ඉන්නවා. මම දුවට කිව්ව තව නම් ගේන්න එපා කියල,'' යනුවෙන් සකුන්තලාගේ පියා පැවසුවේය.

''මේ හැම සතාගේ ම දුක හිතෙන කතාවක් තියෙනවා. බලන්න, මෙයාගේ කකුලක් කඩල. මේ බල්ලට ඇසිඩ් ගහලා. සේරම පිච්චිලා. මම යනකොට මීරිගම වැටිලා හිටියේ. කිලෝමීටර් එක හමාරක් මම මෙයාව කරේ තියාගෙන ආවා. මේ ඉන්නේ''අහිංසා''. එයාගේ ඇස් දෙක ම පෙන්නේ නෑ,'' යනුවෙන් ඇය විස්තර කළේ මිනිසුන් විසින් සතුන්ට කරනු ලබන අමානුෂික පීඩා සාක්ෂි සහිතව පෙන්වමිනි.

නිවස තුළ මෙන් ම නිවස වටා ඇති කූඩුවල ද සුනඛයෝ සිටිති. ඒ අතරින් සකුන්තලා අසරණ වූ ගවයන් සිටින තැනට මා කැඳවා ගෙන ගියාය. ඒ ගවයන් අතර සිටි ඇවිදීමට අපහසු වසු පැටවෙකු මම දුටුවෙමි.

''මේ වහු පැටියාගේ කකුලක දණහිසෙන් පහළ කොටස නෑ. මම කොහොමහරි එයාට කෘත්‍රිම කකුලක් දාන්නයි ඉන්නේ. මේ සත්තුන්ට කන්න දෙන එක ලේසි නෑ. බල්ලන්ට දවසකට හාල් කිලෝ පහක් විතර ඕන. සමහර වෙලාවට මගේ බත් එකත් දීල මම බලන් ඉන්නවා. කන්න දෙන්න විදියක් නැති ම වුණොත් ලාල් කොඩිසිංහ මහත්තයා, අජන්ත හිදුරංගල සර්, ජගත් රවී අයියා වගේ ම මල්කි, චම්පි සහ ඉෂාරා අක්කලාට කියල හාල් ටිකක් ඉල්ල ගන්නවා,'' යනුවෙන් කී සකුන්තලා වැඩිදුරත් පැවසුවේ තමන් රාජ්‍ය නොවන සංවිධානවලින් උදව් නොගන්නා අතර මෙය සත්භාවයෙන් කරන ක්‍රියාවක් බවය.

මස් කඩයකට රැගෙන යෑම සඳහා ලොරියකට පැටවීමට යාමේදී මාර්ගයට ඇද වැටී පාදයක් බිඳුණු ගවයෙකු ද ඇය රැක බලා ගනී.

''නාට්‍යවලට ගිහිල්ලා සම්මානයක් ගත්තා වගේ තමයි උදේ ම කුඹුරට යද්දී. ඒ වගේ ම මට මොන ප්‍රශ්න තිබුණත් මේ සතුන්ට පිහිටක් වෙන්න ලැබීමත් සතුටක්. මම ස්ථාවරයකට ඇවිත් තමයි ආදරයක් ගැන හිතන්නේ,'' සකුන්තලා පැවසුවාය.

ඇගෙන් සමුගෙන පැමිණ දින කිහිපයක් ගත වුව ද ඇය නිතර කළ ප්‍රකාශයක් මගේ සිහියට නැගේ.

ඒ, "අපි ඉපදුණු රටට බරක් නොවී මිය යා යුතු" බව ය.

තවදුරටත් කියවන්න.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර