ජනාධිපතිවරණය: "එදා මැතිවරණ සමයේ අලියා සිසිල් බීම දැන්වීම පවා තහනම් කළා, අද අපි කොතන ද?"

Image copyright Getty Images

"වාහනවල අලවලා තියෙන අපේක්ෂකයන්ගේ පින්තුර වහා ම ගැලව්වේ නැත්නම් දැඩි පියවර ගන්නව ලු, හැබැයි අමු අමුවේ නීති උල්ලංඝණය කරන මාධ්‍ය ගැන මොකුත් කරන්නේ නැහැ."

මේ සමාජ ජාලා පිටුවක තිබූ සටහනකි. ඉතා සුළු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපයක් හැරුණු විට මේ වන විට ඉතා සාමකාමීව පැවැත්වෙන 2019 ජනාධිපතිවරණයේ වැඩි ම කතාබහට ලක්ව ඇති කාරණයක් ලෙස ජනමාධ්‍යවල හැසිරීම හැඳින්විය හැකිය.

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් අංක 2141 /53 / 2019 /09/12 දරන ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කාලසීමාවේ මාධ්‍යය හැසිරිය යුතු ආකාරය පිළිබඳ මාධ්‍ය උපමාන 32ක් ප්‍රකාශයට පත් කරන ලදී.

එහෙත් විශේෂයෙන් රූපවාහිනි නාලිකා එම මාධ්‍ය උපමාන "ඉතාමත් නිර්ලජ්ජිත ලෙස උල්ලංඝණය කරමින් සිටින" බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය මේ වන විට පවසා තිබේ.

රාජ්‍යය හා පෞද්ගලික රූපවාහිනී නාලිකා ඉතාමත් පැහැදිලිව නිශ්චිත දේශපාලන පක්ෂයක් ප‍්‍රවර්ධනය කිරීමට කාලය වෙන්කර ප‍්‍රචාරක කටයුතු කරමින් සිටින බවට එම සංවිධානය චෝදනා කරයි.

ශ‍්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති මැතිවරණ උපමාන 32ට අනුව මාධ්‍ය සිය ප්‍රවෘත්ති විකාශනවලදීත් දේශපාලන වැඩසටහන්වලදීත් ඒ හා සමාන වෙනත් වැඩසටහන් විකාශය කිරීමේදීත් නිවැරදි, සමතුලිත, අපක්ෂපාතී තොරතුරු මහජනතාවට ලබා දීමට වගබලා ගත යුතුය.

එහිදී කිසිදු අපේක්ෂකයකුට අසාධාරණයක් නොවන මෙන්ම තවත් අපේක්ෂකයකුට විශේෂ වාසියක් ඇතිවන පරිදි එම වැඩසටහන් විකාශය නොකළ යුතු මෙන්ම පුවත්පත්වල වාර්තා සකස් නොකළ යුතු බව පැහැදිලිවම සඳහන් කර තිබේ. කෙසේ වෙතත් මෙම උපමාන දැඩි ලෙස උල්ලංඝනය කරමින් විශේෂයෙන්ම විද්‍යුත් නාළිකා හැසිරෙන බවට මේවන විට මැතිවරණ කොමිසමට පැමිණිලි ඉදිරිපත්ව තිබේ.

Image caption මාධ්‍ය උපමාන

අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සහ මාධ්‍ය ප්‍රධානීන් අතර සාකච්ඡා පැවැත්වුණු නමුත් මාධ්‍යයේ හැසිරීමේ වෙනසක් දක්නට නොලැබෙන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වල මතය වී තිබේ. අපේක්ෂකයන්ට පක්ෂපාති වාර්තා පළකිරීම මෙන්ම අසත්‍ය සහ විකෘති කළ පුවත් පළකිරීම සම්බන්ධයෙන් මෙම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලට චෝදනා එල්ලවී තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මේ පිළිබඳව බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ රාජ්‍ය මාධ්‍ය පාලනය කිරීම සඳහා තමන්ට බලය ඇතත් පුද්ගලික මාධ්‍ය පාලනය සඳහා නීතිමය හැකියාවක් නොමැති බවයි. රාජ්‍ය මාධ්‍ය දැනටමත් පාලනය කිරීමට කටයුතු යොදා ඇති බව පැවසූ ඔහු මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් පුරවැසියන් අධිකරණය ඉදිරියට යාමට කටයුතු කළ යුතු බව පවසයි. එවන් අවස්ථාවක එම උල්ලංඝනය කිරීම් ගැන අධිකරණය ඉදිරියේ කරුණු වාර්තාකිරීමට තමන් සූදානම් බව ඔහු සඳහන් කළේය.

"ඉස්සර 1970-80 ජන්ද කාලේදී අලියා සිසිල් බීම දැන්වීම ප්‍රසිද්ධ කරන්න දෙන්නේ නැහැ. අද අපි කොතනද ඉන්නේ. අපි නිව්ස් මැද්දේ කියනවා පක්ෂයේ විස්තර. නිව්ස් එක විනාඩි 30යි ඒකෙන් 21ක් එක අපේක්ෂකයෙක්ට පුද්ගලික විතරක් නෙවෙයි රාජ්‍ය මාධ්‍යවලත් සමහර වෙලාවට." පසුගියදා කොළඹදී මාධ්‍ය උපමාන ගැන පැවති සාකච්ඡාවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

"රාජ්‍ය මාධ්‍ය අපි පාලනය කරනවා. පුද්ගලික මාධ්‍ය ගැන අපිට එකක් කරන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් මේ රුපවාහිනී ආයතන මෙම ජන්ද විමසීමේදී මේ අපේක්ෂකයා වෙනුවෙන් ක්‍රියාකරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි කියලා ගැසට් එකක් පළකරන්න. අපි වෙන මොනවා කරන්නද ?" ඔහු කියා සිටියේය.

මෙම සාකච්ඡාවට එක්ව සිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය, ආචාර්ය දීපිකා උඩුගම කියා සිටියේ මාධ්‍ය උපමාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දඬුවම් කළ හැක්කේ රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පමණක් බවය. පෞද්ගලික මාධ්‍ය ආයතනවලට එරෙහිව එවැනි දඬුවමක් පැණවීමට බලයක් නොමැති බව ඇය සඳහන් කළාය.

Image caption මාධ්‍ය ආයතනවල හැසිරීමට එරෙහිව මේ වසර මුලදී ඇතිවූ විරෝධතාවයක්

"දැනට තියෙන තත්වය අනුව කරන්න පුළුවන් හොඳම දේ මැතිවරණ කොමිෂන් සභාවට මේ උපමාන මොන ආකාරයෙන්ද එක් එක් ආයතන මගින් උල්ලංඝනය වෙන්නේ කියලා අධ්‍යයනය කරලා ඒවා නම් කරන එක. මෙන්න මේ ආයතන මෙන්න මේ ආකාරයට අපි දකින විදිහට මේ උපමාන උල්ලංඝනය කරලා තියෙනවා කියලා. අපි name and shame කියන්නේ ඒ වගේ දෙයක් කරන්න තියෙන්නේ. ජනතාවට පැහැදිලිවම පෙනෙනවා මොන නාළිකාව මොන පක්ෂෙට පක්ෂපාතීද කියන එක," ඇය කියා සිටියාය.

එසේ නොමැතිනම් ඉන්දියාවේ දැනට ඇති ක්‍රමය මෙන් නාළිකා තමන් සහය දෙන අපේක්ෂකයා ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනියගේ අදහස වී තිබේ.

"මේ වෙලාවේ පුද්ගලික අංශයේ මාධ්‍යයේ බලපෑමක් වෙනවනම් වැඩිපුර ඒ ජනතාවගේ තෝරාගැනීම. ජනතාව ඒ මාධ්‍ය බලන්නේ ඒගොල්ලෝ කැමති පුවත් ඒකෙ තියෙන නිසා," මෙම සාකච්ඡාවට එක්ව සිටි දෙරණ මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය සභාපති ලක්සිරි වික්‍රමගේ කියා සිටියේය.

"අපිට ලේබල් ගහගෙන අපි මේ පැත්තේ කියලා ඉන්න එකත් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මම දන්න තරමින් අපක්ෂපාතී මාධ්‍ය ලෝකේ නැහැ." සහය දෙන අපේක්ෂකයා කවුදැයි මාධ්‍ය ආයතන ප්‍රකාශ කළ යුතු බවට නැගුණු අදහසට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ The Morning පුවත්පතේ කතුවරිය, මන්දනා අබේවික්‍රම කියා සිටියේ මාධ්‍යවේදීන් සැමවිටම මාධ්‍ය සදාචාරය රැකගෙන තම හිතට එකඟව තම රාජකාරිය සිදුකළ යුතු බවය.

"මාධ්‍ය කියන්නේ දැන් ව්‍යාපාරයක්. ප්‍රාග්ධනය යොදවන කෙනාගේ හැටියට තමයි සමහර වෙලාවට අපිට යන්න වෙන්නේ. ඒක එහෙම වුනත් සදාචාරාත්මක මාධ්‍ය භාවිතය සහ තමුන්ගේ ඒ හිතට එකඟව වෘත්තීයමය භාවයකින් අපි කටයුතු කළොත් මේ ප්‍රශ්න අඩු වෙනවා," ඇය කියා සිටියාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර